වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි නැතත් වේදිකාව රටක් වටිනවා

සල්ලි නැතත් වේදිකාව රටක් වටිනවා

ෆර්නි රෝෂිණී සරසවියට ඇවිත්.

* කලා ජීවිතයෙන් වැඩි කොටසක් ගෙව්වේ වේදිකාවේ නේද?

මම ඇගෙන් පළමුව විමසුවෙමි. ‘ඔව්’ යනුවෙන් ඇය පිළිතුරු බැන්දාය.

* ෆර්නි රංගනයට පිවිසුණෙත් වේදිකාවෙන් යැයි මම අසා තිබෙනවා?

ඒකටත් මට කියන්න තියෙන්නේ ඔව් කියන පිළිතුර තමයි.

* එහෙනම් මම ඒ පිළිබඳ වැඩිපුර ප්‍රශ්න ටිකක් අහන්නම්.

O K  කිසි අවුලක් නැහැ..

ෆර්නි සමඟ මා කළ කතාබහ මෙතැන් පටන් සටහන් වනු ඇත.

* ඉතින් ෆර්නි මේ දවස්වල ඔබ රඟපාන වේදිකා නාට්‍ය ගැන කතා කළොත්?

තාරාවෝ ඉගිලෙති, බල්ලොත් එක්ක බැහැ, චරිතෙ හොරු අරන් සහ රූකඩ රාජ්ජේ යන වේදිකා නාට්‍ය හතරේ මම රඟපානවා. ඒවායේ පුහුණුවීම්වලට යන නිසා ටිකක් කාර්යබහුලයි. හැබැයි වේදිකාව මත ගෙවෙන ජීවිතය හරිම සුන්දරයි වගේම විනෝදජනකයි.

* මොකක්ද ෆර්නි හා හා පුරා කියලා රඟපාපු වේදිකා නාට්‍යය?

ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ ට්‍රෝජන් කාන්තාවෝ.

* කාල වකවානුව මතකද?

ම්ම්ම් . . . හරියට අවුරුදු පහළොවකට විතර කලින් අනූනවයේ දෙදාහෙ විතර.

* ඔබත් එක්ක වේදිකාවේ හිටපු සමකාලීනයෝ ටෙලි නාට්‍යවලට සහ සිනමාවට එකතු වෙද්දි ෆර්නි විතරක් වැඩිපුර වේදිකාවේ හිටියේ ඇයි?

ඒකට හේතු ගණනාවක් තියෙනවා. මටත් ටෙලි නාට්‍යවලට කතා කළා. ඒවායින් ඇතැම් චරිත මගේ උස නිසා අහිමි වුණා. අනික මම වැඩිපුර වේදිකා නාට්‍ය කරන හින්දා විදෙස් සංචාරයක් ආවොත් මාස එකහමාරක් විතර ඊට වැය වෙනවනෙ. එතකොට ඒ කාලය අතරතුර ටෙලි නාට්‍ය සිනමාපට බාර ගන්න අමාරුයි. හැබැයි වේදිකා නිර්මාණ පමණක් කරන මතයේ මම නැහැ.

* එය ඔබට අවාසියක් නොවෙයිද?

නැහැ. මට මේ ලැබෙන දේවල් ඇති.

* හැබැයි ඔබ ඒ කාලයේ ඉඳලා ටෙලි නාට්‍යවල හිටියා නම් මේ තියෙන ජනප්‍රියත්වය ඉහළ නංවා ගන්න තිබුණා?

ඇත්ත. ජනප්‍රියත්වයට වඩා මට ඕනෑ ආත්ම තෘප්තිය. වේදිකා නාට්‍යයක් කරලා ලබන වින්දනය අනෙක් නිර්මාණවලින් ලැබෙන්නේ නැහැ.

* නමුත් ඔබ ඉඳහිට ටෙලි නාට්‍යවල රංගනයේ යෙදෙනවා?

මේ දවස්වල මම ඉන්න නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ පොඩි මාමා, වීඕසී සහ සබඳ බබානිස්. මේ තුන එක කාලයේ දක්නට ලැබුණත් කාල තුනකදී රූගත කිරීම් සිද්ධ වුණේ. ඒ වගේ මට කරන්න පුළුවන් හොඳ ටෙලිවලට යනවා. අනෙක් ඒවා අතහරිනවා. ඒ මම කලින් කියපු ගැටළුව නිසා. වේදිකා නිර්මාණ නම් ලෝබ නැතුව බාර ගන්නවා.

* ටෙලි රංගනය වෙහෙස කරයිද?

ඇත්තටම ඔව්.

* නමුත් මම අසා තිබෙන්නේ වේදිකා නිර්මාණයන්හි රඟපෑම අමාරුයි කියලා?

මට දැන් වේදිකාව හුරු වෙලා. වේදිකාවේ රංගනය මට නම් හරිම නිදහස් කාර්යයක්. වේදිකා නිර්මාණයන්ට දායක වෙන කොට ගායනය නර්ථනය සහ රංගනය යන කුසලතාවයන් ප්‍රගුණ කර ගන්නම ඕනෑ. ඒවා බැරි අයට තමයි වේදිකා නාට්‍යවල රඟපාන්න අමාරුයි කියලා කියන්නේ. නමුත් ඕනෑ කෙනෙකුට කැමරාව ඉස්සරහ රඟපාන්න ලෙහෙසියි. ඉතාම සීමිත ඉඩකඩක් තියන්නේ. ඒ හින්දා කරන රංගනය ඉක්මනට කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ වුණත් යම් යම් කාරණා මත මට දැන් හැදෙන ටෙලි නාට්‍යවල රඟපෑම නම් ඉතාමත් වෙහෙස කර කටයුත්තක්.

* ඒ මොකද?

ඔන්න එක දවසක් මම බාර ගත්තු නාට්‍යයක රඟපාන්න ගියා. එදා දවසේ විතරක් මගේ සීන්ස් විසි අටක් ගත්තා. එකක් යන්න එකක් ගන්නවා. ඩයලොග් කටපාඩම් කරවනවා. කිසිම විවේකයක් නැහැ. ඔලුවත් අවුල් වෙලා මගේ. එදා නම් පිස්සු හැදුණේ නැති ටික විතරයි වුණේ. ඒකට මම ඒ නාට්‍ය කණ්ඩායමට බනින්නේ නැහැ. සමහර විට ඔවුන්ට එය විකාශය වන රූපවාහිනී නාලිකාවෙන් ටාගට් එකක් දෙන්න ඇති දවසකට මෙච්චර සීන් ප්‍රමාණයක් ගන්න කියලා. අන්න එදා නම් හිතුණා වේදිකා නාට්‍ය කරන එක කොච්චර පහසුද කියලා. මම හිතන්නේ මේ අන්දමින් නාට්‍යය හදන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති.

* වේදිකා නාට්‍යවලට වඩා ටෙලි නාට්‍ය රංගනයෙන් වැඩිපුර මුදලක් උපයන්න පුළුවන් නේද?

ඒ වුණාට මුදල්ම නෙවේ ජීවිතේ. ටෙලි කම්කරු ගාණට වැටෙන්න මම ආස නැහැ. සල්ලි නැතත් වේදිකාව රටක් වටිනවා මට.

* වේදිකාව ගැන කොච්චර ආදරෙන් කතා කළත් ඔබ වේදිකා නිර්මාණයක් අධ්‍යක්ෂණය කළේ නැහැනෙ?

වේදිකා නිර්මාණයකදී පෙර පුහුණුවේ ඉඳලා සංවිධායන කටයුතු නිසියාකාරව සිදු කිරීම කරන්න ඕනෑ. පෙර පුහුණුවීම්වලට පිරිස රැස් කරන තැන ඉඳලා එය වේදිකා ගත කරන තැන දක්වා කරන්න ඕනෑ කාර්යභාරයන් අති විශාලයි. මට තවම එවන් වූ සංවිධාන ශක්තියක් නැහැ. කවදා හරි මේකෙම ඉඳලා පදම් වෙලා අත්දැකීම් බහුල වුණ දවසකට වේදිකා නිර්මාණයකට අත ගසන්නම්.

* වේදිකා නළු නිළියේ කැමරාව ඉදිරියේ ඇතැම් අවස්ථාවලදී ෆේල් වෙනවා කියලා මතයක් තියෙනවා?

ඒක බොරු කතාවක්. එහෙනම් ඔය විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු වගේ අය කැමරාව ඉදිරියේ මරුවට රඟපාන්නේ. මම හිතන්නේ අපි මේ මාධ්‍යයන් දෙක නිවැරිදිව හඳුන ගන්න ඕනෑ. එතකොට අපට ෆේල් වෙන්නේ නැතුව රඟපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ වගේ දෙයකුත් කියන්නම්. බට්ටි ටෙලි නාට්‍යය මතකද. එය රොජර් සෙනෙවිරත්න අයියනෙ නිෂ්පාදනය කළේ. එහි රඟපාපු නළු නිළියන්ගෙන් වැඩි දෙනා වේදිකාවේ හරඹ කරපු අය. ඒ වගේ පිරිසක් රඟපාපු බට්ටි කොච්චර ජනප්‍රිය වුණාද?

* කොහොමද ඔබේ හඬකැවීම් කටයුතු?

ඒවත් ෂේප් එකේ කරගෙන යනවා. මේ දවස්වල දෙරණ ශ්‍රී ගෞතම් හි ප්‍රජාපති දේවියටත් සිරස ස්වප්නා හි මීනාටත් හඬ කවනවා.

* මීට අමතරව ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක්. ඒ ගැනත් කියමු?

දහවල් දොළහට ප්‍රචාරය වන සුභාවිත ගීතය වැඩ සටහන තමයි මා නිෂ්පාදනය කරන්නේ. එය අසන්නේ වෙනමම කණ්ඩායමක්. මෙම වැඩසටහන හරහා හරවත් ගීත සමාජ ගත කරන්නයි මම උත්සාහ කරන්නේ. ඊට අමතරව මෙරට විශිෂ්ට කුසලතා නැංවූ ගායක ගායිකාවන් ගෙන්වලා ඔවුන්ගේ අත්දැකීමේ කතා කිරීම ද සිදු වෙනවා. මේ වන විට සුභාවිත ගීත කලාව ගැන පාසල් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් සංවිධානය කරමින් පවතිනවා. නිර්මාණකරණයේ යෙදෙන්නන්ට ඉතාම සුදුසු තැනක් වන ගුවන් විදුලි සංස්ථාවේ මම වැඩ කරන්නේ ඉතාමත් සතුටින්.

* ඔබද ලංකාවේ දෙවන උසම නිළිය?

ඒක නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. විශාකා සිරිවර්ධන තමයි උසම නිළිය. ඊට පස්සේ වෙන කෙනෙක් නැත්නම් මම වෙන්න ඇති දෙවන උසම නිළිය.

* කොතරම් කලා කටයුතුවල නියැලුණත් ඔබ සෙනෙහෙබර බිරියක් මෙන්ම මවක්?

පවුලේ අය ලබා දෙන සහාය නිසයි මම නිදහසේ කලා කටයුතු කරගෙන යන්නේ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ සැමියා, පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරනවා. හැකි සෑම අවස්ථාවකදීම පවුලේ වගකීම් ඉටු කරන්නට මම කැප වෙනවා.

* රංගනයේදී ඔබ විසින් ඔබට පනවාගන්නා වාරණ මොනවාද?

ඇත්තම කිව්වොත් රංගනයේදී මට සීමා මායිම් නැහැ. මට සුදුසු නම් කාලය තියෙනවා නම් මට ගැටලුවක් නැති චරිත බාර ගන්නවා.

* ඔබ ද්විත්ව චරිත රඟපෑ එක්තරා වේදිකා නාට්‍යයකදී ඔබ චරිත දෙකට අදාල ඇඳුම් පැළඳුම් මාරු කරගෙන රඟපෑවා කියන්නේ ඇත්තද?

ඒ සිද්ධිය වුණේ සිසිල් ගුණසේකරගේ ඔටුනු නාට්‍යයේ. එහි පිලේමිනා සහ කත්‍රිනා කියන චරිත දෙක රඟපෑවේ තත්පර ගණනක් ඇතුළත. චරිතවල ඇඳුම් මාරු කරමින් රඟපානවා. පිලෝමිනා කණ්ණාඩි දානවා. නමුත් කත්‍රිනා එහෙම නැහැ. ඒත් එක්තරා අවස්ථාවකදී මට පිලෝමිනාගේ කණ්ණාඩිය පිටින්ම වේදිකාවේ ඇනෙක් පැත්තෙන් මතු වුණා කත්‍රිනා ලෙසින්. මම එදා පුදුම විදිහට අපහසුතාවයට පත් වුණා. නමුත් වේදිකාවේ රඟපාන කොට තැනට සුදුසු නුවන පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේ වෙලාවල්වලට ඉතින් මම කාටවත් නොදැනෙන්න හිමින් සිරුවේ රඟපාන අතරතුරදී කණ්ණාඩිය ගැලෙව්වා.

* මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

මම රඟපාපු පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතයි. දුවන මුවන්. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. වේදිකා නිර්මාණ කිහිපයකටම ඇරැයුම් ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒවටත් සම්බන්ධවීමේ අපේක්ෂාවෙන් කාලය ගත කරනවා.