වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මාර්තු 02 වැනිදා අමරණීය ගී පැදුරට එක්වෙමු

මාර්තු 02 වැනිදා අමරණීය ගී පැදුරට එක්වෙමු

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයෙන් රස මියුරු පිරුණු අමතක නොවන අත්දැකීමට මුල පිරීමක්

මෙරට ගායක ගායිකාවන්ට ශක්තියක් වන්නට පිහිටුවන ලද ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය විශේෂ ප්‍රසංගයක් පවත්වන්නට සූදානම්. එනම් ලබන මාර්තු 02 වැනිදා කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගනයේදී දිග හැරෙන්නට නියමිත ‘අමරණීය ගී පැදුර’ යි.

මේ විශේෂ ප්‍රසංගය ගැන ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති, මධුමාධව අරවින්ද සරසවියට විස්තර කළේ මේ අයුරින්. ‘අමරණීය ගී පැදුර’ අපේ ප්‍රථම ප්‍රසංගයයි. ලබන මාර්තු 02 වැනිදා මේ ප්‍රසංගය නවීන තාක්ෂණයෙන් LED ගත කළ පසුතලයක පැරැණි රසයෙන් ඉදිරිපත් කරන්න තමයි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. රෝහණ බෝගොඩ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයට සනත් නන්දසිරි, කසුන් කල්හාර, අමල් පෙරේරා, නිරෝෂා විරාජනී, සමිතා මුදුන්කොටුව, රෝහණ බෝගොඩ, චලක චමුපති, රජීව් සෙබස්තියන්, ප්‍රියා සූරියසේන, කීර්ති පැස්කුවල්, නෙලූ අධිකාරි ඇතුළු ගායක ගායිකාවන් තිස්පස් දෙනෙකුගේ හඬින් ගීතවත් වෙන්නට නියමිතයි. විනෝදාස්වාදයෙන් පිරි කලාවේ හෙට දිනයේ ශක්තිය වෙනුවෙන් වන මෙම විශේෂ ප්‍රසංගයට සහභාගිවන හිතවතුන්ට ආහාරපානයන්ගෙන් ද රසවත් කිරීමට සූදානම් බවත් කියන්න කැමැතියි. ‘අමරණීය ගී පැදුර’ ප්‍රසංගය සමස්ත ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් වූ කාර්යයේ එක් පියවරක්.

1991 වසරේ සිට ක්‍රියාත්මක ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය සනත් නන්දසිරි, එඩ්වඩ් ජයකොඩි, එම්. එස්. ප්‍රනාන්දු, සමන් ද සිල්වා යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකව වත්මන් සභාපතිත්වය මට හිමි වුණා. කලාකරුවන්ගේ ගීතමය ගැටලු සහ අනෙකුත් අවස්ථාවන්හිදී ශක්තියක් වීමට අප සංගමය වැඩ පිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර අරගෙන තියෙනවා. ඒ අතර වැඩිහිටි කලා සරණ ආධාර ව්‍යාපෘතිය, කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය වගේම අපේ සුබසාධක අරමුදල ලක්ෂ සියය දක්වා වැඩි කර ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කලාකරුවන්ට කොළඹ නගරයේ ලිපිනයක් සහ ශාලාවක් වෙනුවෙන් ඉඩමක් ඉදිරියේදී හිමිවෙන්න නියමිතයි. එය අප සංගමය ලැබූ විශාල ජයග්‍රහණයක්. අපේ කලාවේ හෙට දිනයට සවියක් වෙන විනෝදාශ්වාදයෙන් පිරි මේ සුවිශේෂ ප්‍රසංගයට සහභාගි වන ලෙස රසික ඔබට ආරාධනා කරනවා.


තුර්කි සිනමා උළෙලක් පළමුවැනිදා සිට

තුර්කි සංස්කෘතික ආයතනය මඟින් සංවිධානය කළ තුර්කි සිනමා උළෙලක් මෙම මස 01 – 03 දක්වා කොළඹ මරදානේ එක්සෙල් වර්ල්ඩ් හි එක්සෙල් සිනමා ශාලාවේදී පැවැත්වේ.

එහි චිත්‍රපට තිරගත කෙරෙන පිළිවෙළ මෙසේය.

මාර්තු 01 ට සවස 7.00 ට ලව් ජස්ට් අ කො ඉන්සිඩන්ට්

මාර්තු 02 – 4.15 ට රොමැන්ටික් කමඩි

එදිනම සවස 7.00 ට මයි ෆාදර් ඇන්ඩ් සන්

මාර්තු 03 – 4.15 , ෆිග් ජෑම්

මෙම උළෙල නොමිලයේ පවත්වනු ලබයි.


පරාක්‍රම පෙරේරා විශ්‍රාම යනදා නගර සභාවෙන් ගෞරව

මෙරට ජනප්‍රිය හා ප්‍රවීණතම හඬ කැවීම් ශිල්පියකු වන පරාක්‍රම පෙරේරා මහතා නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කර්මාන්ත පරිපාලක තනතුරේ සේවය කරමින් සිට ලබන මාර්තු පළමු වැනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

කොළඹ මහ නගර සභාව සෑම මාසයකම පළමුවන වැඩ කරන දිනය විශේෂ ආරාධිතයන් වෙනුවෙන් යොදා ගැනෙන අතර ලබන මාර්තු පළමු වැනිදා පරාක්‍රම පෙරේරා මහතාට ආරාධනා කර එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කරයි.

1965 දී පමණ ගුවන් විදුලි ‘ළමා රංග පීඨය’ ළමා වැඩසටහනට සහභාගි වෙමින් කලා ගමන ආරම්භ කළ පරාක්‍රම පෙරේරා මහතා ‘දොස්තර හොඳ හිත’ කාටුනයේ දොස්තර චව් චව්, ‘පිස්සු පූසා’ කාටුනයේ පූස් ලොක්කා, ‘ටිං ටිං ගේ වීර ක්‍රියා’ හි කැප්ටන් හැඩොක් වැනි චරිත ඇතුළුව ගුවන් විදුලියේ විකාශය වූ ‘මඩොල් දූව’ හි ජින්නා ‘අඹ යහළුවෝ’ හි නිමල්ගේ චරිතය ඇතුළු චරිත රාශියකටම තම හඬ දායකත්වය ලබා දී ඇත.


නීති ගරුක තිස්ස

පසුගිය දවසක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවට විශාල කලාකරුවන් පිිරිසක් පැමිණියා. ඒ අතර, කලක් රසික සිත් මෝහනයට පත්කළ තිස්ස විජේසුරේන්ද්‍ර පැමිණ සිටියා. ඒ නාලක විතානගේ ගේ රූපාන්තරණය චිත්‍රපටය නරඹන්න. එහි හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙස තිස්ස අපූරු චරිතයක් රඟපානවා.

චිත්‍රපටය නිමවීමෙන් පසු සෑම දෙනාම තරංගනී ශාලා එළිමහන් පරිශ්‍රයේ පැවැති පුංචි සාදයට එක් වී ආගිය කතා, රස කතා තෙපළමින් සතුටින් කාලය ගත කළා. හිටි හැටියේම තිස්ස විජේසුරේන්ද්‍රට මේ පුංචි සාදයෙන් සමුගන්න ඕනෑ වුණා. තිස්ස හෙමිහිට වාහන අංගනය වෙත ගියා. පුංචි ස්කූටි පෙප් බයික් එකක් ළඟ නැවතුණා.

නමුත් තිස්සට මේ යතුරු පැදිය පාරට ගැනීමට අපහසු බව පෙනුණ එතනට ගිය හිතවතෙක්, තිස්සගේ හුරුබුහුටි යතුරු පැදිය පාරට ගෙනවිත් දුන්නා.

‘තිස්ස මහත්තයා වයින් ටිකක්වත් බිව්වද?’ මිතුරා ඇසුවා.

‘නෑ මම දැන් බයික් එකේ තමයි වැඩිපුර යන්නේ. ඒ නිසා මත්පැන් පානය කරන්නේ නැහැ. අපි නීතිගරුක වෙන්න ඕනේ’ යි කියූ තිස්ස, කුරුල්ලෙක් වගේ තරුණයකුටත් වඩා ජවයෙන් පුංචි යතුරු පැදියේ නැගිලා ගියා.


ජිනදාස පෙරේරා උපහාර උළෙලින්

සිනමාව, ඡායාරූප ශිල්පය, වේදිකාව යන මාධ්‍ය ඔස්සේ පනස් වසරක් තුළ කළ මෙහෙය වෙනුවෙන් කලා ශිල්පී ජිනදාස පෙරේරාට උපහාර පිදීමේ උළෙලක් පසුගියදා පැවැත් විය.

මෙහිදී ඔහු සමඟ මල්කාන්ති නන්දසිිරි, අනුරාධා නන්දසිරි, මානෙල් වානගුරු, රත්නා සුමනපාල, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, සරත් පීරිස්, වික්ටර් බණ්ඩාර සේනාරත්න, සඳුන් විජේසිරි යන සහෘද කලාකරුවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.


අංජලීගේ සවීර්යා එළි දකී

යොවුන් රචිකාවියක් වන අංජලී සේනාරත්න ලියූ සවීර්යා නවකතාව මෙම මස 03 වැනිදා උදෑසන 10.00 ට නුවර ඊ. එල්. සේනානායක ළමා පුස්ථකාලයේදී එලිදැක්වෙයි. මෙය පැල්පත්වාසී තරුණියකගේ ජීවන අන්දරයකි.

අංජලී මේ වන විට නුවර හෙදි විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවකි.