වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඇකඩමි සම්මාන ‘ආර්ගෝ’ හොඳම චිත්‍රපටය වෙයි

ඇකඩමි සම්මාන ‘ආර්ගෝ’ හොඳම චිත්‍රපටය වෙයි

85 වැනි ඇකඩමි සම්මාන උළෙල
හොඳම නිළිය ඇද වැටෙයි

ලෝක සිනමාවේ සුපිරිතම සම්මාන රාත්‍රිය පසුගියදා නිමාවට පත්වුණා. අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර, ඩොල්බි චිත්‍රාගාරයේ (මීට පෙර එය හැඳින්වූයේ ‘කොඩැක්’ නමින්) සුපිරි රංගන ශිල්පින්, ශිල්පිනියන්, අධ්‍යක්ෂවරුන්, කාර්මික ශිල්පීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් පිරී ඉතිරුණා.

මෙවර හොඳම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවේ පෙන් එෆ්ලෙක් අධ්‍යක්ෂණය කළ ‘ආර්ගෝ’ චිත්‍රපටයයි. බෙන් එෆ්ලෙක් හොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පිියකු ද වේ. මීට පෙර පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ද ‘ආර්ගෝ’ චිත්‍රපටය සම්මානිත විය. සම්මනා රාත්‍රියේදි හොඳම චිත්‍රපටය නිවේදනය කළේ අමෙරිකානු ජනපති ආර්යා මිෂෙල් ඔබාමා වීම ද විශේෂ සිදුවීමකි.

85 වැනි ඔස්කා සම්මානලාභීන් මෙසේයි.

* හොඳම සහාය නිළිය – ඈන් හෙතවේ (ලේ මිස්රාබ්ලේ)

* හොඳම සහාය නළුවා - ක්‍රිස්ටොෆ් වෝල්ට්ස් (ජන්ගෝ අන්චේන්ඩ්)

* හොඳම පරිගණක සජීවිකරණ චිත්‍රපටය - ‘බ්‍රෙව්’

* හොදම සජීවිකරණ කෙටි චිත්‍රපටය – ‘පේපර්මෑන්’

* හොඳම කැමරාකරණය - ක්ලෝඩියෝ මිරැන්ඩා (ලයිෆ් ඔෆ් පායි)

* හොඳම දෘශ්‍යප්‍රයෝග - ‘ලයිෆ් ඔෆ් පායි’

* හොඳම වස්ත්‍රාභරණ නිර්මාණය – ‘ඇනා කැරනිනා’

හොඳම වෙස් ගැන්වීම – ‘ලේ මිස්රාබ්ලේ’

හොඳම කෙටි චිත්‍රපටය – ‘කර්ෆියු’ (සජීවීකරණ)

* හොඳම වාර්තා (කෙටි) චිත්‍රපටය – ‘ඉනොසන්ටි’

* හොඳම විශේෂාංග වාර්තා චිත්‍රපටය – ‘සර්චිං ෆෝ ෂුගර් මෑන්’

* හොඳම විදෙස් චිත්‍රපටය – ‘අමෝරේ’

* හොඳම සංස්කරණය - ‘ආර්ගෝ’ – විලියම් ගෝල්ඩන්බර්ග්

* හොඳම නිෂ්පාදක සැළසුම්කරණය - ‘ලින්කන්’ රික් කාටර් – නිෂ්පාදන සැළසුම්කරණයජිමි එරික්සන් – දර්ශන තල සැකසුම

* හොඳම ස්වීය සංගීතය – ‘ලයිෆ් ඔෆ් පායි’ වෙනුවෙන් මයිකල් ඩානා

* හොදම චිත්‍රපට ගීතය - ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන ‘ස්කයි ෆෝල්’ - සංගීතය හා පද රචනය – ඇඩෙල් ඇඩ්කින්ස් හා පොල් ඒප්වර්ත්

* ‘ආර්ගෝ’ වෙනුවෙන් ක්‍රිස් ටෙරියෝ කෘතියක් පාදක කර ගනිමින් රචිත හොඳම තිර නාටකය

* හොඳම ස්වීය තිර රචනය –‘ජන්ගෝ අන්චේන්ඩ්’ – ක්වෙන්ටින් ටැරන්ටිනෝ

* හොඳම අධ්‍යක්ෂණය – ආංග් ලී ‘ලයිෆ් ඔෆ් පායි’

* හොඳම නිළිය - ජෙනිෆර් ලෝරන්ස් (සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්)

* හොඳම නළුවා - ඩැනියෙල් ඩේ ලුවිස් (ලින්කන්)

* හොඳම චිත්‍රපටය – (ආර්ගෝ) බෙන් එෆ්ලෙක්, ග්‍රාන්ට් හෙස්ලොව්, ජෝර්ජ් ක්ලුනි

ඇකඩමි සම්මාන ඉතිහාසය අධ්‍යයනය කළ විට එහි රසවත් සිදුවීම්වලින් අනුන බව කිව හැකිය. සම්මාන රාත්‍රිය නැරැඹූ අමෙරිකානුවන් ගණන පමණක් මිලියන 40 ඉක්මවයි. අමෙරිකාවේ ABC රූපවාහිනී ආයතනය පවසන්නේ වසර 3 කින් ඔස්කා සම්මාන උළෙලක් නැරැඹූ වැඩිම ප්‍රේක්ෂක පිරිස මෙය බවයි. මේ සම්මාන උළෙල මෙවර ස්ටාර් ටීවී ග්‍රාහකයනට මෙරටදී ද සජීවීව නැරැඹිය හැකි විය.

ඇකඩමි සම්මාන ඉතිහාසයේ අමෙරිකානු ජනපති ආර්යාවකගේ සපැමිණීම සිදු වූ ප්‍රථම උළෙල වන්නේ ද මෙම 85 වැනි ඇකඩමි සම්මාන උළෙලයි. ඔබාමා ආර්යාව උළෙලේ හොඳම චිත්‍රපටය නිවේදනය කළාය. ‘මේ සිනමා කෘති අපට පණිවුඩ රැසක් කියා දුන්නා.

අප එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අභියෝග ජය ගත හැකි බව ගැඹුරින් හා සිහි නුවණින් විමසා බලා ඒවා ඉටු කර ගත හැකි බව තරුණ පරම්පරාව නිතර කලාව හා නිරත වීම තුළ ඔවුන්ට තම පරිකල්පන ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්.’

ජනපති ආර්යාවගෙන් සම්මානය ලැබීම මහත් ‘ගෞරවයක්’ බව ‘ආර්ගෝ’ චිත්‍රපට අධ්‍යක්ෂ බෙන් එෆ්ලෙක් ප්‍රකාශ කළා. හොඳම චිත්‍රපටය සඳහා ‘ආර්ගෝ’ හා ‘ලින්කන්’ අතර පැවතියේ තියුණු තරගයක්. නමුත් අවසානයේ ජය හිමි වූයේ ‘ආර්ගෝ’ චිත්‍රපටයටයි.

සම්මාන උළෙලේ වැඩි ගෞරවය හිමි කරගත්තේ ‘ලයිෆ් ඔෆ් පායි’ චිත්‍රපටයයි. චිත්‍රපටයට හිමි වූ සම්මාන ගණන 4 ක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇන්ග් ලී තායිවාන ජාතිකයෙකි.

ඔහු ඇකඩමි සම්මානයක් දිනාගත් දෙවෙනි අවස්ථාව මෙයයි. මෙයට පෙර 2006 වසරේදී ‘බ්රෝක්බැක් මවුන්ටන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2000 වසරේදී ඔහු නිපැයූ චීන සිනමාපටය ‘කවුචින් ඩ්‍රැගන් හිඩන් ටයිගර්’ චිත්‍රපටය ද හොඳම විදේශීය චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මානයට පාත්‍ර විය.

සම්මාන උළෙලේ රැස්ව සිටි සියල්ලන්ගේත් සජීව ලෙසින් ඒ මොහොත නැරැඹූවන්ගේත් හද ගැස්ම නතර වූ මොහොතක් වේ නම් එය උදාවූයේ හොඳම නිළිය ප්‍රකාශයට පත් කරද්දීය.

ජෙනිෆර් ලෝරන්ස් එම සම්මානයට හිමිකම් කීවේ ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඇය නිරූපණය කළේ වැන්දඹුවකගේ චරිතයකි.

සම්මානය දිනාගැනීම සඳහා ඇයට ජෙසිකා චැස්ටේන්, අමෝරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ 86 හැවිරිදි එමෑනුවෙල් රීවා හා තරග කරන්නට සිදුවිය. තවමත් 22 හැවිරිදි ජෙනිෆර් ලෝරන්ස් ද ඔස්කා සම්මාන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන්නට සමත්ව ඇත.

ඒ හොඳම නිළිය ලෙසින් එම සම්මානයට හිමිකම් කී දෙවන ලාබාලම තැනැත්තිය වෙමිනි. මිට පෙර, එම අංශයේ පළමුවැන්නා බවට පත්වූයේ මාර්ලි මැට්ලික්. 1987 දී ‘චිල්ඩ්රන් ඔෆ් අ ලෙසර් ගෝඩ්’ චිත්‍රපටය වෙනුවෙන් ඇය එම සම්මානය හිමි කර ගත්තා. එවිට ඇය පසු වූයේ 21 හැවිරිදි වියේයි. 85 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ජෙනිෆර් ලෝරන්ස් වේදිකාවට පැමිණියේද බාධකයක් මතිනි.

සම්මානය භාර ගැනීමට වේදිකාවට පිවිසෙන තරප්පු පෙළ මත එක්වරම ඇය ඇද වැටුණාය. ඒ රැස්ව සිටි සියල්ලෝම හුනස්නෙන් නැගිටුවමින්. ‘මා සිටියේ දරාගත නොහැකි පීඩනයකින්. මට දැනුණේ මං ‘ෆාදර් ඔෆ් ද බ්‍රයිඩ්’ චිත්‍රපටයේ ස්ටීව් මාර්ටින් වගේ කියලයි. තමන්ගේ මුළු නිවෙසම එක පාරටම කඩා වැටෙන්නට පටන් ගත්තා වගේ ඔහුට දැනුණ හැඟීම මට ඒ වෙලාවේ ඇති වුණා.’

ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත් වූ මොහොතේ සිට සම්මානයක් දිනාගතු ඇතැයි මත පළ වූ ප්‍රබල නාමයක් ලෙස ඩැනියෙල් ඩේ ලුවිස්ගේ නම ද නිර්දේශ විය. ලින්කන් චිත්‍රපටයේ ලින්කන් චරිතය වෙනුවෙන් මෙවර ඩැනියෙල් ඩේ ලුවිස් ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබීය.

ඔස්කා සම්මාන උළෙලක හොඳම නළුවා ලෙස ඔහු සම්මානිත වූ තෙවන අවස්ථාව මෙයයි. (1989) ‘මයි ලෙෆ් ෆ‍්‍රට්’ හා (2007) දී ‘දෙයා විල් බී බ්ලඩ්’ චිත්‍රපට සඳහා ඔහු හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ද ඔහු හොඳම නළුවා ලෙසින් සම්මානිත වීම ද විශේෂත්වයකි.