වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දුප්පතාගේ දුක නැවතත් ‘ලේ මිසරාබ්ලේ’

දුප්පතාගේ දුක නැවතත් ‘ලේ මිසරාබ්ලේ’

පොල් ගෙඩි අටක් සොරකම් කළ වරදට උසාවි ගිය දැරියක් ගැන පුවතක් අපේ රටින් අසන්නට ලැබුණේ මේ නොබෝදායි. මෙයට සියවස් දෙකකට පමණ පෙර ප්‍රංශයේදීත් මෙවැනි සුප්‍රකට සොරකමක් සිදුවුණු අතර එදා උසාවියට ඉදිරිපත් කෙරුණු චූදිතයා වූයේ අසරණ කම්කරුවකු වන ‘ජෝන් වැල් ජෝන්’. ඔහු සොරකම් කර තිබුණේ පාන් ගෙඩියක්.

ඒ කුඩා දරුවකුගේ කුසගිනි නිවීම පිණිසයි. වරදට දඬුවම් ලෙස ටුලෝං ගැලියේ සිරගත වී අපා දුක් විඳි ජෝන් වැල් ජෝන් ගේ කතාව ප්‍රංශ මහා ගත්කතුවර වික්ටර් හියුගෝ විසින් ‘ලේ මිස්රාබ්ලේ’ නමින් රචනා කරන ලදුව මේ වන විට ලෝ වැසි බාල මහලු කොයි කාගේත් ප්‍රසාදය දිනාගත් පුරාවෘත්තයක් වී අවසානයි.

එදා මෙදාතුර විවිධ භාෂාවන්ට පරිවර්තනය වී විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ සිනමා කෘති ගණනාවක් ඒ ඇසුරින් නිර්මාණය වී ඇති අතර එහි නවතම නිෂ්පාදනය ‘ලේ මිසරාබ්ලේ’ නමින් දැන් ලෝපුරා සිනමාහල්වල අති සාර්ථක ලෙස තිරගත වෙයි.

1862 වසරේදී ලියැවුණු නවකතාව ඇසුරින් මෙවර බ්‍රිතාන්‍යයේ වර්කින් ටයිටල් ෆිල්ම්ස් සමාගම විසින් 2012 නිෂ්පාදනය කළ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම සංගීතමය කෘතියක් ලෙස හැඳින්විය හැක. විලියම් නිකල්සන්, බොබ්ලිල්, ෂොන්බර්ග් සහ හර්බට් ක්‍රෙට්ස්මර් ගේ සාමුහික තිර නාට්‍යයකට අනුව ටොම් හූපර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයේ බෙදා හැරීමේ අනුග්‍රහය යුනිවර්සල් චිත්‍රපට සමාගම විසිනි.

‘ලේ මිස්රාබ්ලේ’ හි ප්‍රධාන භූමිකාව වන ‘ජෝන් වැල් ජෝන්’ ගේ චරිතය සඳහා විධායක නිෂ්පාදක කැමරන් මැකින්ටොෂ් ගේ ඇරැයුම් ලැබුණේ 'x-men’ චිත්‍රපට මාලාවේ රඟපාමින් ප්‍රසිද්ධියට පත් ‘හියු ජැක්මන්’ වෙතයි. 2011 ජූනි මස නිව්යෝක් හි දී සිදු වූ මෙම හමුවීමෙන් පසු ජැක්මන් ‘වැල් ජෝන්’ ගේ චරිතය සඳහා ‘පේ වීම’ ආරම්භ කළා. මුලින් රාත්තල් 15 කින් සිරුරේ බර අඩු කර ගැනීමට ආහාර පාලනය කළ ඔහු චරිතයේ විකාශනය අනුව ක්‍රමානුකූලව රාත්තල් 30 ක් දක්වා බර වැඩිකර ගනු ලැබුවේ වැල් ජෝන් ගේ ස්වරූපයේ තාත්වික බව පවත්වා ගැනීමටයි.

එම කාලපරාසය තුළ කෝපි පානය කිරීම සම්පූර්ණයෙන්ම අත්හල ඔහු දිනකට විනාඩි 15 ක් පමණ ව්‍යායාමයෙහි යෙදීමත්, වතුර ලීටර් 7 ක් පානය කිරීමත් පුරුද්දක් කර ගත් අතර දිනකට තුන් වරක් හුමාල කුටියක රැඳී සිටීමටත් අමතක කළේ නැහැ. ඊට අමතරව අසීරු ස්වර අභ්‍යාසයන් හි යෙදුණේ කටහඬ පුහුණුකරු ජෝන් ලැඩර් යටතේයි.

වැල්ජෝන් පසුපස නිරන්තරයෙන් ලුහුබඳින ‘ජැවර්ට්’ නම් කෲර පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළේ ඇකඩමි සම්මානලාභී නළු රසල් ක්‍රෝ විසිනි.

මුලින්ම ඔහු මෙම චරිතය රඟපෑමට අකමැත්ත පළ කළ නමුදු අධ්‍යක්ෂක ටොම් හූපර් ගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු එම අභියෝගය භාර ගත්තා පමණක් නොව පැරිසියේ පිහිටි වික්ටර් හියුගෝ කතුවරයාගේ නිවස නැරැඹීමට යාමටත් අමතක කළේ නැහැ. ප්‍රංශයේ දුගී කම්කරු කුලී සේවිකාවකගේ ජීවන අරගලය පිළිබිඹු කරන ‘ෆැන්ටයින්’ ගේ චරිතය රඟපෑවේ ඈන් හැතවේ විසිනි. ඇගේ දියණිය ‘කොසෙට්’ ගේ කුඩා අවධිය ඉසබෙල් ඇලන් සහ තරුණ විය අමන්ඩා සීෆ‍්‍රිඩ් විසින් ද නිරූපණය කෙරුණා. කොසෙට්ගේ පෙම්වතා වූ මාරියස් පොන්ට්මර්සි නම් විප්ලවකාරී සරසවි සිසුවා ලෙස රඟපෑවේ එඩී රෙඩ්මෙයන් විසිනි. ඔහුගේ හිත මිතුරු ඇම්බැට්ට කොලුවා වූ ‘ගැව්රෝඩ්’ ලෙස ළමා නළු ඩැනියෙල් හට්ල්ස්ටෝන් රඟපෑ අතර තානායම් පාලක තෙනාඩියර්ස් යුවළ ලෙස හෙලේනා බොන්හැම් පාකර් සහ සචා බැරොන් කෝහන් රංගනයට එක් වුණා. ජැන්ගෝ අන්චේන්ජ්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ප්‍රතික්ෂේප කරමින් බැරොන් කෝහන් විසින් මෙම චරිතය භාර ගැනීම විශේෂත්වයකි. සමන්තා බාර්ක්ස් නිරූපණය කළේ තෙනාඩියර්ස්් යුවළගේ අසරණ දියණිය වූ ‘එපොනයින්’ ගේ චරිතයයි.

රූගත කිරීම් අතරතුර හියු ජැක්මන්ගේ රඟපෑම් අධ්‍යයනය කිරීමෙන් තමා බොහෝ දේ ඉගෙන ගත් බව සමන්තා වරෙක ප්‍රකාශ කළේ ඔහුගේ රඟපෑම් අගය කරමින්. එපොනයින්ගේ කුඩා අවධිය නිරූපණය කළේ ඒන්ජල් වොලස් නම් ළමා නිළියයි.

මුළුමනින්ම සංගීතමය චිත්‍රපටයක් වන ලේ මිසරාබ්ලේ හි නළු නිළි පිරිසට එහි රඟපෑම සුවිශේෂ අභියෝගයක් වූ අතර එම අභියෝගය ජය ගැනීමට ඔවුන් දැරූ උත්සාහය අතිශය සාර්ථක වී ඇති බව චිත්‍රපටය ලබා ඇති සම්මාන දෙස බැලූ විට වටහා ගැනීම දුෂ්කර නොවේ. චේන් ගැන්ග් විසින් ගයන ‘ලුක් ඩවුන්’ නම් ගීතයෙන් පටන්ගෙන අවසානයේ නළු නිළි සියලු දෙනා විසින් ගායනා කරන ‘ඩූ යූ හියර් ද පීපල් සිං’ නමැති ගීතය දක්වා ගීත 52 ක් චිත්‍රපටය පුරාවට අනර්තර්ගත වී ඇත. 2012 දෙසැම්බර් 21 දා යුනිවර්සල් ලේබලය යටතේ මෙම ගීත ඇල්බම ය DVD   සහ BLUE-RAY පිටපත් ලෙස වෙළඳපළට නිකුත්විය.

2012 මාර්තු 8 දා ප්‍රංශයේ ගෝඩ්න් හිදී මූලික රූගත කිරීම් ආරම්භ විය. එංගලන්තයේ වින්චෙස්ටර් විද්‍යාලය සහ වින්චෙස්ටර් ආසන දෙව් මැදුර, රාජකීය නාවික කඳවුර, පෝට්ස්ටවුන්, ඔක්ස්ෆඩ් සහ පයින්වුඩ් චිත්‍රාගාරයේ පසුතලයන්හිදී ඉතිරි රූගත කිරීම් සිදු කරන ලදී. 2012 ඔක්තෝබර් මස සමර්සෙට් හි දී ‘ස්ටන්ට්’ ශිල්පියකු යොදා රූගත කෙරුණු ඉන්ස්පෙක්ටර් ‘ජැවර්ට්’ ගේ සිය දිවි නසා ගැනීමේ දර්ශනයෙන් සියලු රූගත කිරීම් හමාර කෙරිණි. බොහෝ සංගීතමය චිත්‍රපට රූගත කෙරද්දී කලින් පටිගත කළ ගීතවලට අනුව නළු නිළියන් තොල් චලනය කරමින් වචන උච්චාරණයෙහි යෙදෙන මුත් එය එතරම් තාත්වික බවක් නොපෙන්වන බැවින් මෙහි සජීවි ලෙස ගී ගයමින් රංගනයේ යෙදීමට නළු නිළි පිරිසට අධ්‍යක්ෂක විසින් උපදෙස් දෙන ලදී. නවීන තාක්ෂණයෙන් යුත් ඉයර් ෆෝන් සහ මයික් භාවිතයෙන් සිදු කරන ලද මෙය එම වර්ගයේ ප්‍රථම සිනමා රූගත කිරීම ලෙස නම් කළ හැක. එම කාර්යභාරය සාර්ථක කර ගැනීමේ ගෞරවය හිමි වන්නේ ශබ්ද පරිපාලන සහ සංයෝජන ශිල්පි සයිමන් හේස් වෙතයි.

2012 සැප්තැම්බර් 24 දා ‘කොසෙට්’ ගේ ළමා විය නිරූපණය කරන ඉසබෙල් ඇලන්ගේ රුවින් සැරැසුණු ලේ මිසරාබ්ලේ ප්‍රථම සිනමා පෝස්ටරය අන්තර් ජාලයට නිකුත් විය. චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය 2012 නොවැම්බර් 23 දා නිව්යෝක් නගරයේ ලින්කන් සිටි ශාලාවේදී මහජන ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ආරම්භ විය. ඉන් පසුවදා ලොස් ඇන්ජලීස් හිදී තවත් එවැනි දර්ශනයක් තිරගත කෙරිණි.

බ්‍රිතාන්‍යයේ පූර්ව දර්ශනය දෙසැම්බර් 5 දා ලන්ඩන් ලිසිස්ටර් චතුරස්‍රයේ එම්පයර් ශාලාවේදී පැවැත්විණි. ඉන් අනතුරුව නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, ටොරොන්ටෝ සහ මොන්ට්‍රියෙල් හි IMAX සිනමා ශාලාවන් හිදී පොදු සිනමා තිරගත කිරීම් ආරම්භ විය. 2013 මාර්තු 22 දා DVD සහ BLUE-RAY පිටපත් වෙළද පොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

2012 දෙසැම්බර් වන විට ආදායම් වර්තා ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානයට පැමිණි චිත්‍රපටය තෙවැනි වූයේ ‘ජැන්ගෝ අන්චේන්ජ්ඩ්’ සහ ‘හොබිට්’ යන චිත්‍රපටවලටයි. ආරම්භක සතියේ සිනමා ශාලා 2808 ක් තුළ ප්‍රදර්ශනයෙන් උපයා ගත් බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 18.1 කි. 2013 ජනවාරි වන විට බ්‍රිතාන්‍යයෙන් ලබාගත් ආදායම ඩොලර් මිලියන 13.1 ක් ඉක්මවා ගොස් ඇත.

චිත්‍රපටය නැරැඹූ බොහෝ විචාරකයින්ගේ මතය වූයේ මෙය වසරේ හොඳම චිත්‍රපටය බවට කිසිදු විවාදයක් නැති බවයි. ඇතැම් විචාරකයින් ඈන් හැතවේ ගේ රංග ප්‍රතිභාව ප්‍රශංසාවට ලක් කළ අතර වසරේ හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය අනිවාර්යයෙන්ම ඇයට ලැබිය යුතුª බවට අනාවැකි පළ කළා. නළු නිළියන් මෙහෙයවීමේදී අධ්‍යක්ෂක ටොම් හූපර් දැක් වූ දක්ෂතාවය ඇතැමුන්ගේ පැසසුමට ලක්වුණා. හියු ජැක්මන්, වැල් ජෝන්ගේ චරිතයට සංවේදී ගැඹුරක් ලබා දෙමින් කළ රඟපෑම බොහෝ විචාරකයින්ගේ ප්‍රශංසාව දිනා ගත්තා. අමන්ඩා සීෆ්‍රියිඩ් ‘කොසෙට්’ ලෙස දැක් වූ කෙටි රංගනයේදී 1832 වසරේ පැරිසියේ සිටි සුකොමළ තරුණ යෞවනියකගේ විලාසය ප්‍රකට කළ ප්‍රශස්ත රඟපෑම බොහෝ විචාරකයින්ගේ ප්‍රශංසාවට ලක්වුණා. චිත්‍රපටයේ භාවිත කර තිබුණු විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සඳහා ඇතැම් විචාරකයින් දක්වා තිබුණේ ධනාත්මක ප්‍රතිචාරයක්.

මේ සියලු විචාරක ප්‍රතිචාර මැද, 2013 ජනවාරි 10 දා වසරේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම සහාය නිළිය ඇතුලු තවත් සම්මාන 8 ක් සඳහා වූ ඇකඩමි සම්මාන සඳහා ලේ මිසරාබ්ලේ චිත්‍රපටය නිර්දේශ වුණු අතර 2013 වසරේ අමෙරිකානු චිත්‍රපට ආයතනයෙන් පැවැත්වුණු සම්මාන උළෙලේ දී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සහ හොඳම සහාය නිළියට හිමි සම්මානය ඈන් හැතවේ, හොඳම වෙස් ගැන්වීමට හිමි සම්මානය ලීසා වෙස්ට් කොට්, හොඳම ශබ්ද සංයෝජනය සඳහා සයිමන් හේස් සහ ඇනා ලින්ච් යන ශිල්ප ශිල්පිනියන් විසින් දිනා ගනු ලැබුවා.

2013 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ප්‍රදානයේදී හොඳම නළුවා ලෙස හියු ජැක්මන් ද, හොඳම සහාය නිළිය ලෙස ඈන් හැතවේ ද, හොඳම චිත්‍රපටය සඳහා ද සම්මාන දිනා ගැනීමෙන්ම ‘ලේ මිස්රාබ්ලේ’ අති සාර්ථක සංගීතමය චිත්‍රපටයක් ලෙස හොලිවුඩ් සිනමා වංශ කතාවට එක්වන බව මෙහිලා සඳහන් කළ හැකියි. පොදුවේ බාල තරුණ මහලු කොයි කාටත් එකට සිට නැරැඹිය හැකි සුන්දර චිත්‍රපටයක් ලෙස ලේ මිසරාබ්ලේ හැඳින්විය හැක්කේ එහෙයිනි.