වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ නම පරිෂ්ථා නයනිදුලා

මගේ නම පරිෂ්ථා නයනිදුලා

‘අප්පච්චි’ ටෙලි නාට්‍යයේ ‘මේඝනා’ හඳුනා ගනිමු

අප්පච්චි ටෙලි සිතුවමේ මේඝනා . . .?

ඔව් ඒ මං තමයි.

මේඝනා හරිම හිතුවක්කාරයි මුරණ්ඩුයි නේද?

ඒක නම් එහෙම තමයි. නමුත් අප්පච්චිව වැඩිපුරම දැනෙන්නේ ඇයට. එතෙන්දි මේඝනා බොහාම සංවේදියි.

මොකක්ද මේඝනාගේ ඇත්ත නම?

පරිෂ්ථා නයනිදුලා ස්මිත්.

දැන් මට ඊළඟට අහන්න වෙන්නේ නමේ තේරුම මොකක්ද කියලා?

අභිමතාර්ථය ඉෂ්ට වූ දෙනෙත් ඇත්තී.

පරිෂ්ථා තවමත් ඉගෙන ගන්නවා නේද?

නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක්. ඊට කලින් තලවතුගොඩ අයිගේට් කොලේජ් එකේ හිටියේ.

පාසලෙන් බලපෑමක් නැතිද ඔබ රංගනයේ යෙදීම පිළිබඳ?

තාත්තා මගේ කලා කටයුතුවලට අවසර අරන් දුන්නා.

ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිවේදිකාවක විදිහට බව මට මතකයි?

ඔව් ‘පුංචි පැංචි’ වැඩසටහනේ අවුරුදු පහක් නිවේදන කටයුතු කළා.

කෝ දැන් ඒ නිවේදිකාව?

දැන් මං පුංචි ළමයෙක් නෙවෙයිනේ. ඒක නිසා ‘පුංචි පැංචි’ එකෙන් ඉවත් වුණා. දැන් රඟපානවා විතරයි.

කවුද පරිෂ්ථාව නිළියක කළේ?

සංජය නිර්මාල් අංකල්. ඔහුගේ ‘රෝස කැලේ’ චිත්‍රපටයෙයි මුලින්ම රඟපෑවේ. ඊට පසුව සිරසෙ විකාශය වූ ඒකාංගික නාට්‍යවල රඟපෑවා. අවසානයේ රඟපෑවේ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ. එහි මං ශිරෝෂි රොමේෂිකා අක්කගේ නංගි. ඒ චරිතයයි වඩාත් මිනිසුන් අතරට ගියේ.

ඉගෙන ගන්නේ වෛද්‍යවරියක් වෙන්න

ඒත් රඟපෑමෙන් ඈත් වෙන්නේ නෑ

එතකොට ඔබ අප්පච්චි නාට්‍යයට සම්බන්ධ වුණේ?

එහි අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහත්මා මාව දැකලා තාත්තා හරහා කතා කළා. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලා මගේ දක්ෂතාවන් බැලුවා. එහිදී මට අප්පච්චි පිටපත දීලා රඟපාලා පෙන්වන්න කිව්වා. අවසානයේදී මේඝනා සඳහා මාව තෝරා ගත්තා.

පරිෂ්ථා මීට කලින් යතුරු පැදි පැදලා තියනවද?

නැහැ.

එහෙනම් කොහොමද අප්පච්චි නාට්‍යයේදී මෙතරම් හොඳින් යතුරු පැදි ධාවනයේ යෙදෙන්නේ?

තාත්තගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා චමින්ද කළුපහන සහ අනුර දිසානායක කියලා. ඔවුන් මට යතුරු පැදි ධාවනය කියලා දුන්නා සෙට් එකේදී. ලසන්ත අයියයි දිසා අයියයි නාට්‍යයට ගෙනත් තිබුණු යතුරු පැදිය ධාවනය කරන්නට ඉගැන්නුවා. ඒකත් හරි ෂෝක්.

මේ අතරවාරයේදී ත්‍රාසජනක අත්දැකීමකට ද මුහුණ පෑවා මතකද ඒක?

හප්පේ මොකද අමතක. එක සීන් එකකදී කැමරාව ගාවටම ඇවිත් බයිසිකලය නවත්වන්න තිබුණා. හරියටම ආනන්ද අංකල් හිටපු තැන. නවත්වන්නට ඕන හරියෙදි බයික් එක රේස් වුණානේ. කට්ටිය හොඳටම බය වුණා. ආනන්ද අංකලුත් එහාට පැන්නා. කොහොම හරි බයික් එක නවත්ව ගත්තා. කවුරු බය වුණත් මම නම් බය වුණේ නැහැ ඒ වෙලාවේ.

කඩියෝ කද්දීත් රඟපෑවා

මේඝනා නිතරම ගහක් ළඟට යනවා. එතැන තිබුණු දර්ශන ඔබ බොහොම අමාරුවෙන් රඟපෑවයි කියලා දැනගන්නට ලැබුණා?

ඒ ගහ වටේට ලොකුම ලොකු කඩියෝ ඉන්නවා. කොච්චර එලෙව්වත් යන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී කඩියෙක් දෙන්නෙක් විද්දා. ඒත් මං ඒ වගක් නොපෙන්වා රඟපෑවා. පසුව ඉතින් බාම්වල පිහිට තමයි පැතුවේ.

පරිෂ්ථාගේ පදිංචිය කොහෙද?

පන්නිපිටියේ.

පවුලේ විස්තර මොනවාද?

මමයි, මල්ලියි අම්මයි.

මෙච්චර උදව් කළ ඔබේ සැබෑ අප්පච්චි ගැන නොකියාම බැහැ?

ඔහු සුමිත් ප්‍රසන්නලාල්. වෘත්තියෙන් සිරස නාලිකාවේ විධායක කැමරා අධ්‍යක්ෂවරයෙක්. ඔහු නිසයි මට මෙතුවක් අවස්ථා ලැබුණේ.

ආස ද දිගටම කලාවේ නියැලෙන්න?

මගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක වීම. නමුත් රංගනයෙන් ඈත් වන්නේ නැහැ. විනෝදාංශයක් විදිහට රඟපානවා.

රඟපෑම ඉගෙන ගන්නට අදහසක් ඇති?

සත්තකින්ම රංගනය හදාරන්න ඕන ළඟදීම.

රංගනයට, නිවේදනයට අමතරව පරිෂ්ථාට ඇති වෙනත් හැකියාවන් මොනවාද?

ගායනය ඒ වගේම ක්‍රීඩාවට හුඟක් දක්ෂයි. මං එයට ලබා ගත්තු පදක්කම් ගොඩායි.

ඔබේ කලා දිවියට උදව් කළ අයව මතක් කරන්නට වෙලාව?

ආනන්ද අබේනායක අංකල්, චාන්දනී සෙනෙවිරත්න ඇන්ටි, ජැක්සන් අංකල්, උමයංගන අයියා, චාමින් ඩික්මන් මගේ ඥාති සහෝදරයා ඇතුළු අප්පච්චි ටීම් එක.

පරිෂ්ථාව කෙටියෙන් හැඳින්නුවොත්?

හරිම හොඳ කෙනෙක්. දුකක් දැනුනොත් අම්මත් එක්ක කියනවා. මේඝනා වගේ හැඟීම් හිතේ හංගගෙන ඉන්නෙ නැහැ මං.

ඔබට ආමන්ත්‍රණය කරන්නට කැමැත්තෙන් පසුවන රසික රසිකාවන් ඇති?

ලියන්න කියන්න මේ ලිපිනයට.

නොම්මර 173/3,

වීර මාවත, දෙපානම, පන්නිපිටිය.

ඒ වගේම මං අප්පච්චිගේ දුරකථන අංකයත් දෙන්නම්. 0714811193.