|
|
|||
අත්දැකීම් නිසාම ‘යේර්මා’ මට ලැබුණා නම් . . .
කෞෂල්‍යා ප්‍රනාන්දු
තරු කැමැති චරිත ගැන කතා කරන මේ විශේෂාංගය ඔබට දැන් සුපුරුදුයි. මේ එහි තෙවැනි දිගහැරුමයි. තමා කැමැතිම චරිත ආදරය කරන ඒ චරිත ගැන අද කතා කරන්න සැරසෙන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු. ඇයගේ සිතට වඩාත්ම ළං වූ චරිත ගැන ඇය පැවසූවේ මේ අයුරිනි. ගුණසේන ගලප්පත්තිගේ’මුහුදු පුත්තු’ නාට්‍යයේ සෝමලතා සුබසිංහ, මගේ අම්මා සරා ලෙස කළ චරිතයට මං ගොඩාක්ම කැමැතියි. එහි මගේ අම්මා සමඟ සමන් බොකලවල, නෙල්සන් කරුණාගම රංගනයෙන් එකතු වුණා. එය සුවිශේෂි නාට්‍යයක්. එහි සංගීතය හරිම වැදගත්. ඒ වගේම නාට්‍යයක් කියන්නේ මොකක්ද කියල අද කාලයේ ඉගෙන ගන්න අයට ආදර්ශමත් නාට්‍යයක් කියලා මම හිතනවා. ගාර්ෂියා ලෝකාගේ ‘යේර්මා’ නාට්‍යයේ යේර්මාගේ චරිතයත් එසේමයි. යේර්මා කියන්නෙත් බොහෝ දුක් වේදනා විඳීන කාන්තාවක්. විවාහ වෙලා කාලයක් ගත වුණත් දරුවන් නොමැතිව සිත් පීඩාවට පත්ව සිටින්නියක් තමයි යේර්මා. ඇත්තටම ඒ චරිතය පෞද්ගලිකව මගේ ජීවිතයටත් සමීප වුණා. මගේ මහත්තයා කථිකාචාර්යවරයෙක්. බොහෝ වෙලාවට ඉන්නේ විදේශගත වෙලා. මේ කාර්යබහුලත්වය නිසාම අපට ගොඩක් කල් යන තෙක්ම දරු සුරතල් බලන්න බැරි වුණා. ඒ කාලයේ මට විඳින්නට සිදු වුණ යම් යම් මානසික තත්ත්වයන් ඒ නාට්‍යය තුළින් මම දැක්කා. එහි එක දර්ශනයක් තියෙනවා ඇගේ මිතුරියකට දරුවෙක් ලැබෙනවා. ඇය දරුවා සමඟින් පාරේ යනවා, යේර්මා හමු නොවී.
‘දඩයම’ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවආරච්චි ඉදිරිපත් කළ චරිතයත් මට විශේෂයි. මේ චරිතය තුළ අධ්‍යක්ෂවරයා ගොඩ නැගූ චරිත විකාශය ඇය ඉතාම ලස්සනට නිරූපණය කරලා තියෙනවා. ‘දඩයම’ නරඹන විට මම ලාබාල වයසේ හිටියත් ඒ චරිතයට ඇති වුණේ පුදුම කෑදරකමක්. එම චරිතයේදී ඇය දඟකාර තරුණ වියේ සිට තලතුනා මට්ටමට ඇවිත් මුහුණ දෙනා නොසිතූ විරූ සිදුවීම් හමුවේ ක්‍රියා කරන ආකාරය ඇගේ රංගනයෙන් දැක් වූ ආකාරය ඉතාම විශිෂ්ටයි. ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාගේ චරිතයත් මා දුටු අනෙකුත් චරිත අතර සුවිශේෂ තැනක් හිමි වෙනවා. ඇය රඟපෑ ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සිරිමැදුර’ වැනි චිත්‍රපටවල චරිත සමඟ සැසඳීමේදී ලොකු වෙනසක් දකින්න පුළුවන්. මේ හැම චරිතයකින්ම අපට සුන්දර මාලිනී දකින්න ලැබුණත් ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ ඇය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙන් දුටුවා. ඇඳුම් පැලඳුම්, හැසිරීම වගේම රූපයෙනුත් මා ලොකු වෙනසක් දුටුවා. එහිදී ඇය සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහිදී මට සුවිශේෂ වුණේ මේ චරිතය සඳහා එතුමිය දරපු උත්සාහයයි. මම ගොඩක් අගය කරන මේ චරිතය ඇගේ රංගන දිවියේ විශේෂ වෙනසක් දක්වන චරිතයක් කියල කියන්න කැමැතියි. එහිදී අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයත් විශේෂයි. ඔහු එවැනි චරිත සඳහා පසුබිම සකස් කරල ඇයට එවැනි චරිතයකට අවතීර්ණ වෙන්න අවශ්‍ය පසුබිම සකසාදීමත් වැදගත්. එංගලන්තයේදී මම නැරැඹූ ‘Deth of a Selesman’වේදිකා නාට්‍යයේ ලින්ඩා ලෝමන්ගේ චරිතයටත් දැඩි කැමැත්තක් දක්වනවා. මෙය ලංකාවේදී ‘වෙළෙන්දාගේ මරණය’ නමින් සිංහලයටත් පරිවර්තනය කරලා තිබුණා. අමෙරිකා සමාජය ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අරමුණැතිව පාරිභෝගික සමාජයක් බවට පත්වීමේදී විලී ලෝමන් නම් පුද්ගලයාට අත්වන ඉරණම ගැන තමයි මෙයින් කියවෙන්නේ. එහිදී ඔහුගේ බිරිය වන ලින්ඩා ලෝමන් සියලු දේ විඳ දරා ගනිමින් ජීවිතයට මුහුණ දෙන ආකාරය තමයි මෙතන විශේෂ වුණේ. මම උසස් පෙළ කරන කාලයේ දී සාහිත්‍ය විෂයට ආතර් මිලර් ගේ ‘Deth of a Salesman කෘතිය බැලුවා. කොපමණ සංකීර්ණ තත්ත්වයක් වුණත් හැමදේම දරාගෙන ආදරයෙන් ජීවත්වන ඒ චරිතය රඟපාන්න මට අවස්ථාවක් ලැබෙනවා නම් ගොඩාක් ආසයි. ගැමි සමාජයේ තරුණ කාන්තාවක් මුහුණ දෙන අභාග්‍යසම්පන්න කතා පුවතක් ගෙන එන ‘Piano’ චිත්‍රපටයේ හෝලි හන්ටර්, ඇඩා මැක්ග්‍රාත් ලෙස කළ රංගනයත් මා කැමැතිම චරිත අතර විශේෂ වෙනවා. එහිදී පියානෝව වාදනයට දැඩි ඇල්මක් දක්ෂතාවයක් දක්වන ඇයට මුහුණ දෙන්න සිදුවන අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇයට සිය ඇඟිලි අහිමි වෙනවා. ඒ රංගනය දැකීමෙන් ඇඟ හිරි වැටුණා. ඒ සිදුවීම් සමුදාය ඇය අපූරුවට නිරූපණය කළා. ක්රිස්ටොෆ් කිසලොව්ස්කි ගේ ‘බ්ලූ’ චිත්‍රපටයේ ජුලියට් බිනෝෂේ ජූලි ලෙස කළ රංගනයත් මම හරිම සියුම් රංගනයක් ලෙස දකිනවා. එහිදී ඇය විශාල පරිවර්තනවලට මුහුණ දුන්නත් සියුම් සාමකාමී ආකාරයෙන් ඇගේ රංගනය ඉදිරිපත් කිරීමයි වැදගත්. ඇත්තටම එවැනි රංගනයක යෙදීම ලෙහෙසි නැහැ. ඒ වගේම මම තවත් ගොඩක්ම කැමැති චරිතයක් තමයි ‘පවුරු වළලු’ චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු නිරූපණය කළ චරිතය. එහිදී ඇය මුහුණ දෙන සිදුවීම් හමුවේ ඒවාට ඇය මුහුණ දෙන ආකාරය ගොඩක් විශේෂයි. ඒ චරිතයට ඇය කළ කැප කිරීමෙන් එහි තාත්වික බව ඉස්මතු වන්නටත් හේතු වුණා. ඒ චරිතයටත් මං බොහෝ සේ ඇලුම් කරනවා.
|
|||



නොලැබුණු චරිත පිළිබඳ කතා කරයි
එහෙම කරන්නේ ඇයට දුක හිතෙන නිසා. ඇත්තටම මටත් ඒ විදියට
දුක හිතුණ අවස්ථා තිබුණා. මට හිතුණ බොහෝ දේවල් දෙබස් ලෙස එහි අන්තර්ගත වෙලා තිබුණා.
මගේ අම්මා පණ දුන් ‘මුහුදු පුත්තු’ නාට්‍යයේ සරාගේ චරිතය මට කරන්න අමාරු එකක්.
නමුත් ‘යේර්මා’ නාට්‍යයේ යේර්මාගේ චරිතය මට ලැබුණා නම් තාත්වික අන්දමෙන් ඉදිරිපත්
කරන්න පුළුවන් කියලා හොඳටම විශ්වාසයි.

