|
|
‘නාට්‍ය මුදලාලි’ නිසා වේදිකාව නැති වෙලා
ප්‍රවීණ වේදිකා නිළි අනුලා බුලත්සිංහලගෙන් චෝදනාවක්
දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණදෙන දී කිරි පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි හොඳ හැටි උණුකොට හින්දා ගත් කිරි . . . කියමින් රතු හැට්ටකාරි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ජනාදරය ඉහළින් දිනාගත් ඈ රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන් ප්‍රේක්ෂක සිත්සතන් ප්‍රමුදිත කරනු ලැබුවාය. සිය රංගන ජීවිතයේ හතළිස් හතරවන කඩඉමට පැමිණ සිටින ඈ ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහලය. මේ ඈ සමඟ කෙරෙන සංවාදයකි. * වසර හතළිස් හතරක් නාට්‍ය කලාවේ නියැළී සිටින ශිල්පිනියක් ලෙසින් ඔබේ ගමන ගැන ඔබට ආඩම්බරයක් ඇති නේද? පෞද්ගලිකව මම මෙතෙක් කලක් නාට්‍ය කලාවේ නියැළීම ගැන නිහතමානී සතුටක් භුක්ති විඳිනවා. ඒත් අද නාට්‍ය කලාවට ඇති වෙලා තියෙන ඉරණම ගැන පේන කොට හිතට දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ. * ඒ කියන්නේ අද ඔබ නාට්‍ය කලාවේ නියැළී සිටින්නේ හිත් වේදනා ගොන්නක් සමඟ? 1968 ආර්. ආර්. සමරකෝන්ගේ ලෙඩක් නැති ලෙඩෙක් නාට්‍යය ඔස්සේ මා වේදිකාවට පැමිණියා. බර්ටි ගලහිටියාව, හෙන්රි ජයසේන, ප්‍රේම රංජිිත් තිලකරත්න, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ලූෂන් බුලත්සිංහල, දයානන්ද ගුණවර්ධන, සුනිල් චන්ද්‍රසිරි, කේ. බී. හේරත් ආදී බොහෝ නාට්‍යකරුවන්ගේ නිර්මාණ සඳහා මා රංගනයෙන් දායක වුණා. ඒත් අද ඒ උතුම් වේදිකාව නාට්‍ය සංවිධායකයෝ කියන පිළිලයක් විසින් විනාශය කරා දක්කාගෙන යනවා. මෑත භාගයේ මේ පිළිලය නාට්‍ය කලාවේ අප්‍රසන්නම යුගය ඇතිකර තිබෙනවා. * ඔබ ආදරය කරන නාට්‍ය කලාව කොහොමද නාට්‍ය සංවිධායකයෙක් විනාශය කරා තල්ලු කරගෙන යන්නේ? වේදිකාව කියන්නේ උතුම් ස්ථානයක්. අපි අද නමක් දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර රැඳිලා ඉන්නේ වේදිකාව නිසා. අද වෙලා තියෙන්නේ ඇත්ත හංගගෙන බොරුව වැජඹෙන්න පටන් අරන්. අපේම කලාකරුවන් කියාගන්න පිරිස් තමයි මේ ඛේදවාචකයට වගකියන්න ඕනේ. හිතවත්කම්වලට තමන්ගේ වාසියට මේ කලාව අද පාවිච්චි කරන ශෝචනීය තත්ත්වයක් ඇති වෙලා. රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට සිදු වූ දේම අද වේදිකාවටත් උදා වෙලා.
අද නාට්‍ය නිෂ්පාදකයොත් නාට්‍ය අධ්‍යක්ෂවරුත් විහිළුකාරයන් බවට පත්වෙලා. ඔවුන් නාට්‍ය කරන්නේ ප්‍රේක්ෂකයන්ට නොවෙයි. මුදලාලිලාට ඕනෑ එක තමයි හදන්නේ. නාට්‍ය සංවිධායක කිව්වොත් මේ වගේ දෙයක් හොඳයි කියලා ඒ දේ තමයි අද නාට්‍ය නිෂ්පාදකයාත් ඉටු කරන්නේ. * නාට්‍ය සංවිධායක කෙනෙක් ගැන කියමින් ඔබ නඟන චෝදනා මොනවාද? අද මෙයා නැත්නම් නාට්‍යයත් නෑ කියලා තමයි කියන්නේ. ඒ තරමට මේ පුද්ගලයා වේදිකාව අරක්ගෙන. මෙයාට ඕනෑදාට තමයි නාට්‍ය නිෂ්පාදකයාට නාට්‍ය පෙන්වන්න වෙලා තියෙන්නේ. නාට්‍යයක් පෙන්වන්න තියෙන හෝල් ටික මේ පුද්ගලයා කලින්ම ග්‍රහණයට අරගෙන බුක්කරගෙන. ආයේ තව කෙනකුට ඕනෑදාට ගන්න එක බොරු. එයා කියන දාට නාට්‍ය නිෂ්පාදකයෝ බලන් ඉන්න ඕනෑ තමන්ගේ නාට්‍ය එයාට විකුණන්න. දුක්විඳලා, ලොකු කැප කිරීමක් කරලා නාට්‍යයක් කරන නිර්මාණකරුවා නිකම්ම ඉඳලා මඩිය තර කර ගන්න මුදලාලි කෙනකුට අද යටවෙන්න සිද්ධ වෙලා. * ඔබ කියන්නේ අද නාට්‍ය කලාව විකුණගෙන කනවා කියලද? පැහැදිලිවම ඔව්. ආයේ වචන දෙකක් නෑ. විකුණගෙන කන එකටත් වඩා දැන් කරන්නේ ඉහගෙන කන එක. නාට්‍ය කලාව වෙනුවෙන් කතා කරන්න පත්කරලා ඉන්න වගකිවයුතු නිලධාරීන් මේ මුදලාලිලාගේ ඔඩොක්කුවේ ඉන්න කොට තව කවර කතාද? * නාට්‍ය කලාව ඉහගෙන කන අපූරු ක්‍රම ගණනාවක් ගැන ඔබ පවසනවා? නාට්‍ය නිෂ්පාදකවරු රාජ්‍ය නොවන සංවිධාන හරහා නාට්‍ය පෙන්වන මුවාවෙන් සල්ලි යටි මඩි ගහනවා. පිටරට නාට්‍ය දර්ශන සංවිධානය කරන මුවාවෙන් තානාපති කාර්යාල හරහාත් මේ දේ කරනවා. වෙන නිර්මාණකරුවන්ගේ නාට්‍යවල තියෙන ගීත කොටස් අරගෙන තමන්ගේ දෙයක් ලෙස වෙන ආකාරයේ ගීත ප්‍රසංග සංවිධානය කරමින් මුදල් ගරන කොටසකුත් අද ඉන්නවා. * ඔබ රංගන ශිල්පිනියක් ලෙස ඔය ආකාරයේ චෝදනා එල්ල කළත් ඒ නාට්‍යයේ අයිතිය ඇත්තේ නිෂ්පාදකට නේද? ඒ නිෂ්පාදකට කැමැති දෙයක් කරන්න ඔහුට අයිතියක් තියෙනවා නේද? අද කලාකරුවා කියන පුද්ගලයා කම්කරුවෙක් ගාණට වැටිලා. සත්‍ය කලාකරුවට ලැබිය යුතු නිසි ගෞරවය අද ඒ අයට ලැබෙන්නේ නැහැ. නාට්‍ය නිෂ්පාදකවරුන් අද ලේසිය සොයා තැරැව්කරුවන්ට නතු වෙලා. ඉතා අඩු මුදලක් ප්‍රවේශ පත්‍රයකට ගෙවා නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයකුට තියෙන අවස්ථාව අද නැතිවෙලා. නාට්‍ය පෙන්වන සංවිධායක මුදලාලිලාට, තැරැව්කරුවන්ට යට වෙලා නිසා නොසෑහෙන මුදලක් ගෙවා නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන්ට සිදු වෙලා තියෙනවා.
නාට්‍යයක් පෙන්වන්න තැරැව්කරුවෝ ඕනෑ නෑ නිෂ්පාදකයෝ තමන්ගේ තත්ත්වය තියාගෙන කටයුතු කරනවා නම්. අතට ලැබෙන මුදල ගැන හිතල මම කවදාවත් රඟපාලා නෑ. රඟපෑමෙන් ලබන තෘප්තිය සල්ලිවලට ගන්න බෑ. අපි ශ්‍රමය කාලය කැප කරලා අහක ඉඳන් සල්ලි ගරන මුදලාලිලාගේ මල්ල පුරවන එක තමයි කරන්නේ. මේ බඩගෝස්තරවාදී මුදලාලි පැලැන්තියට කලාකරුවා බිල්ලට ගන්න පුළුවන්වෙලා තියෙන්නේ අපේ අයගේම කැපිලි කෙටිලි, පාවාදීම් වාසිය තකා හෝයියා කියන නිසා. * ඔබ කියන්නේ අද වාත්තීය මට්ටමේ කලාකරුවෝ නෑ කියලද? අද නෑ. හිටියත් අතේ ඇඟිලි ගාණටවත් නෑ. අපේම ශිල්පීන් කරන පහත් වැඩ නිසා මේ වෘත්තීය අද පහත් තත්ත්වයට ඇද වැටිලා. * ඔබ නාට්‍ය සංවිධාකයකු ලෙස මේ චෝදනා කරනුයේ එකම පුද්ගලයෙක් ඉලක්ක කරගෙනයි. මෙය ප්‍රකාශ කරන්නේ වගකීමක් ඇතිවද?
ඔව්. ඔහු ප්‍රසිද්ධියේම කියා තිබෙනවා මම නිසා තමයි අද නාට්‍ය කරුවෝ ජීවත් වෙන්නේ
කියලා. ඔන්න තත්ත්වය. එයා නැති වුණොත් නාට්‍යත් නෑ කියන එකනෙ ඒ කියන්නේ.
අද මේ වේදිකා නාට්‍ය නළුවෝ නිළියෝ මේ වගේ කතා අහන එකත් ලැජ්ජා වෙන්න ඕනෑ නාට්‍යයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙක් මේ වගේ ප්‍රකාශ කරන එක ගැන. සමහරු හිතා ඉන්නවා කලාකාරයා කියන කෙනා පොළේ ගිහින් බඩු ගන්නවා වගේ ගන්න පුළුවන් කෙනෙක් කියලා. නාට්‍ය කලාව ගැන බොරුවට කිඹුල් කඳුළු හලන කොටසකුත් නාට්‍ය අනු මණ්ඩලවලත් ඉන්නවා. තමන් කරපු නාට්‍යයක් මෙවැනි තැරැව්කරුවන් හරහා පෙන්නගන්න, ඔවුන්ට පඬුරු පාක්කුඩම් දෙන කලාකරුවන් කියන කොටසකුත් මේ අතර සිටීම ගැන තමයි අපටත් පුදුම. නාට්‍ය කලාව විකුණගෙන කන නාට්‍ය මුදලාලිගෙන් අපි කරන්නෙත් දුක්ගැහැට විඳගෙන සල්ලි ටිකක් ඉල්ල ගන්න එක. මේ තැරැව්කාර නාට්‍ය මුදලාලි නිසා අසරණ වෙන්නෙ නාට්‍ය රස වින්දනයට ආශා කරන ප්‍රේක්ෂකයාත් රංග ශිල්පීනුත් විතරයි.
|




* කලාව වෙනුවෙන් කටයුතු කරන්න නිසි බලධාරීන් රජය මඟිනුත් පත් කරලා නේද තියෙන්නේ.
එවැනි තත්ත්වයක් තුළ පිරිහීමේ තත්ත්වයක් ගැන ඔබ චෝදනා කරනවා?
* තැරැව්කරුවන්ගෙන් තොර නාට්‍ය කලාවක් සොයා ගන්න අද ඉඩක් ඇත්තෙම නැද්ද?