වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා උළෙලේදී මා ගැයූ වෙර කෙටි චිත්‍රපට තේමා ගායනය අගැයීමට ලක් වුණා

කාන් සිනමා උළෙලේදී මා ගැයූ වෙර කෙටි චිත්‍රපට තේමා ගායනය අගැයීමට ලක් වුණා

සිරිල් හියුමන්
කළ කී දේ විස්තර කරයි

බලන්න ලස්සන ආකාසේ
කුරුල්ලො පියඹා යති සුවසේ
ගහ කොළ නැළවේ මල් පිපී තියේ
හෝ නෑ කිසි බාධක මේවායේ

චිත්‍රපටයේ නාමාවලිය අවසන් විය. පා පැදියක නැඟි තරුණයකු මෙම ගීතය මුමුනමින් රංගන චාරිකාවක යෙදෙයි. ඔහු ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු නළුවකු වුවත් පසුබිම් ගායනය නුහුරු නුපුරුදු මියුරු කට හඬකි. එම ගීතය එක රැයකින් ජනප්‍රිය වූවා යැයි කීවොත් එය පැරැණි ප්‍රේක්ෂකයන් එකහෙළා පිළිගනු ඇත.

සුහද දිවි පිදුම නම් චිත්‍රපටයට බලන්න ලස්සන ආකාසේ ගීතය ගැයූ මේ ගායකයා රුක්මණී දේවි අනුස්රණ සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයකදී පසුගිය දවසක මට අහම්බෙන් මුණ ගැසිණ. සිරිල් හියුමන් නම් ඔහු ලබාදුන් අංක 243/15, කොන්දගම්මුල්ල, දෙමන්ගහ හන්දිය යන ලිපිනැති නිවස සොයා ගියේ එබැවිනි. මාර්ග අංක 242 මීගමුව - දිවුලපිටිය බස් පාරට නුදුරු එම සොඳුරු නිවස්නේ සිටි ඔහු කාලයකට පසු පැවසූ දේ බොහෝය. ඇතැම් ඒවා සැඟවුණු විත්තිය.

* ඔබ ගායන ක්ෂේත්‍රය තෝරා ගන්න, නැත්නම් ඇලුම් කරන්න විශේෂ හේතුවක් තිබෙනවාද?

මගේ පියා බී. ඩී. විලියම් සිංඤෝ ටවර් හෝල් නාට්‍යකරුවෙක්. ඔහු ගහළ කොල්ලා, වීරභා, රොඩී කුමාරයා වැනි නාටක 1950 ගණන්වල රඟ දැක් වූවා. පියාගේ නාට්‍යවල මගේ මව පැට්රීෂියා ප්‍රනාන්දු ගීත ගායනය කළා. සංගීතය සැපයුවේ වැඩිමහල් සොහොයුරා. නම ඊබට් ලයනල්. ඔහු දක්ෂ සර්පිනා වාදකයෙක්. මම නාට්‍යවල පිළිගැනීමේ ගායනය කළ ළමා ශිල්පියෙක්. මේ අනුව බලන විට සංගීතය හා ගායනය දෙවියන් වහන්සේ මට උපතින්ම දායාද කළ වරප්‍රසාදයක් විය හැකියි.

* උපතින් ලැබුණු දායාදය ගැන කියූ ඔබට කුඩා අවදිය මතකද?

ඉපදිලා තියෙන්නේ 1942 ජූනි 16 වැනිදාවක දෙවලපොල නමැති ග්‍රාමීය ප්‍රදේශයේ. බියන්විලගේ දොන් සිරිල් හියුමන් මගේ සම්පූර්ණ නම. සිරිල් යනු උත්කෘෂ්ට කියා අර්ථ ගන්වන නමක්. හියුමන් යන්නෙන් පොදුවේ මනුෂ්‍යා කියන තේරුමද දක්වනවා. මේ වගේ පිවිතුරු නමක් හිමි අපේ පවුලේ මාත් එක්ක තුන් දෙනයි. මට බාල එකම සහෝදරියක් සිටියා. ඉගෙන ගත්තේ දෙවලපොල රෝමානු කතෝලික විද්‍යාලය හා නාත්තන්ඩිය ධර්මේශ්වර විද්‍යාලයෙන්.

* ඔබේ හාපුරා කියා චිත්‍රපට පසුබිම් ගායනය ඇසෙන්නේ සුහද දිවි පිදුමෙන්ද?

එහෙම පැවසුවොත් සත්‍ය යටපත් කිරීමක් වෙනවා. 1959 පමණ පානදුරේ පැත්තේ කෝඩ්රින්ටන් ජේ. කුරේ නම් පාසැල් ගුරුවරයෙක් ගැමි කොල්ලෝ නමින් මිලි මීටර් 8 ප්‍රමාණයෙන් වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කළා. මීට ඇතුළත් ගීත ගායනය කෙරුවේ මම. තරුණ හිතක් ඉදිරියට යන අවදියේ එක් ගීතයක් පබැඳුවේ අපේ අයියා. සංගීත අධ්‍යක්ෂවරයා ප්‍රෑන්ක්ලින් දසනායක. 1960 ආදම්ජී – රුක්මන්ජී සංවිධානය කළ එයාර්ෂිප් සංගීත තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා මුදලින් රුපියල් 1000 ක් ලබා ගැනීම මගේ දිවියේ තවත් අමරණීය ජයග්‍රහණයක්.

* එතකොට සුහද දිවි පිදුම ගීත ගායනයට මඟ පෑදෙන්නේ කොහොමද?

අලව්ව ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට ඒ දවස්වල නොවැරැදීම යනවා. වරක් මෙහිදී බොනිෆස් ප්‍රනාන්දු ඇතුළු ළමා ගායිකා ශිරෝමාලාගේ පියා කැමිලස් ප්‍රනාන්දු. ඔහුගේ සොහොයුරු ඇන්ටන් ප්‍රනාන්දු, බිරිඳ විජිත මල්ලිකා හමු වුණා. කලාකරුවකු හැටියට නොව මීගමු බැතිමතකු ලෙසින් ඔවුන්ගේ නඩයට එකතු වුණ මා ඔවුන් සමඟ ගීත ගායනය කළා. මෙයින් පැහැදුණු බොනිෆස් මාව රොබින් තම්පෝ වෙත යොමු කිරීමෙන් සුහද දිවි පිදුම චිත්‍රපටයේ ගීත ගැයීමේ අවස්ථාව උදා කර දුන්නා. මෙහි කේවල ගීතයක් හා ඇන්ජලින් ගුණතිලකගේ සහායෙන් ඔබේ ඇඳුම නිසා රූපෙ නිසා යුග ගීතය ගායනය කෙරුවා. ගීත රචකයා චිත්‍රානන්ද අබේසේකර. සංගීත අධ්‍යක්ෂවරයා ආර්. මුත්තුසාමි. චිත්‍රපටය පෙන්නුවේ 1962.

* මෙතැනින් පසු ඔබේ පසුබිම් ගීත ගායනා ඇසෙන්නේ කුමන චිත්‍රපට තුළින්ද?

රංජිත් ලාල් මා හොඳින් හඳුනන හිත හොඳ හිතවතෙක්. ඔහු නාලන්දා විදුහලේ ඉගෙන ගන්නා කාලේ මිලි මීටර් 16 වෙර කෙටි චිත්‍රපටය නිර්මාණය කෙරුවා. මෙහි එන තේමා ගීතය බලාපොරොත්තුවේ රුවන් විමානය ප්‍රබන්ධය කළේ ප්‍රේමකීර්ති ද අල්විස්. තනුව නිර්මාණය හා සංගීත සංයෝජනය රංජිත් ලාල්ගෙන්. ගීතය පටිගත කරද්දී වයලින් වාදනයෙන් දායක වුණේ වික්ටර් රත්නායක හා මර්වින් පෙරේරා. කාන් සිනමා උළෙලට ඉදිරිපත් කළ වෙර චිත්‍රපටයට මා ගැයූ එම තේමා ගීතය හොඳම ගායනයක් ලෙස අගැයීමට ලක් වූ බව දන්නේ ඉතා අතළොස්සයි.

වෙර නිපද වූ 1966 වර්ෂයේම තිරගත කළ මිලි මීටර් 16 සේයාවක් පසුපස වෘත්තාන්ත චිත්‍රපටයට මගෙයි, ඇන්ජලින්ගෙයි යුග ගායනයක් ඇතුළත්ව තිබුණා. පද රචකයා විමලදාස පෙරේරා. ගීතයේ තනුව නිර්මාණය කරමින් වාදක මණ්ඩලය මෙහෙය වූයේ තිලක් කරුණාතිලක. ගීතයේ මුල් පද පේළිය ඇරැඹෙන්නේ නයන පිනවන රමණී යනුවෙන්.

* ඔබේ චිත්‍රපට ගායන දිවිය මඟ නවත්වන්න මරණීය තර්ජන එල්ල කොට තිබෙන කතාව ඇත්තක්ද?

මෙරටේ සිටි චිත්‍රපට පසුබිම් ගායක ගායිකාවන් වැඩි දෙනෙක් සංගීත ඥානය නැති අය. තිබුණේ මිහිරි කටහඬක් පමණයි. සංගීත දැනුමින් පරිපූර්ණ ගායකයන් කිසිදා ක්ෂේත්‍රය තුළ මරන්න බැහැ. ඕවා කාගේ හෝ චරිත ඝාතන කට කතා. එහෙම දෙයක් සිදු වුණෙත් නැහැ. සිදු වෙන්න ආවත් එය ව්‍යර්ථ කර ගන්න තරම් ආත්ම ශක්තියක් හා පිරිස් බලයක් මටත් තිබුණා. චිත්‍රපට හතක පසුබිම් ගායනය කොට තිබෙන මම නොසැලකිලිමත්කම නිසා පටාචාරා හා හරිම බඩු තුනක් චිත්‍රපට අහිමි කරගත්තා. පටාචාරා නිෂ්පාදක නාරද ජයකොඩි මට ආරාධනා කොට තිබුණේ තන්හා ආශා ඔලගු කරේලා ගීතය ගායනය කරවා ගන්න.

* ඔබ පසුබිම් ගායනය කරනු ලැබූ අනෙක් චිත්‍රපට ඇත්තෙන්ම මොනවාද?

1974 සරත් දසනායක සංගීතවත් කළ දිනුම් කණුව චිත්‍රපටයට ප්‍රේමකීර්ති ද අල්විස් සමූහ ගීතයක් රචනා කළා. දත් ටික පොල් මල් ඇට වගෙ ලස්සන කියන මේ ගීතය ගායනයට එච්. ආර්. ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා, කැමිලස් ඇන්ටන් පීරිස් හා මම එකතුව සිටියා. මම ගායනය කළ කොටස් සඳහා චිත්‍රපටයේ රඟපෑවෙත් මායි. රංජිත් ලාල්ගේ සොහොයුරු නිමල් සිල්වා 1975 නිෂ්පාදිත ලස්සන දවසක් චිත්‍රපටයේ එන ඔබ රූ රාජිනි මාගේ යුග ගීතය ඇන්ජලීන්ට ගයන්න සහාය වුණේ මම. පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ගීය ලියා තිබුණේ ප්‍රේමකීර්ති. නුවන් ගුණවර්ධන සමඟ මං ගැයූ ගීතය රැගත් සැබෑ මිතුරා චිත්‍රපටය 1996 ප්‍රදර්ශනය කරන කොට මම ලංකාවෙන් එපිට පිටරටක. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා සරත් ද අල්විස්, පද රචකයා ගැන නිනව්වක් නැහැ.

* එතකොට ඔබ කාලයක් ලංකාවේ නොසිටි බවක් කියනවාද?

මගේ අනාගත සහකාරිය ලෙස තෝරා ගත් ශීලා ද සිල්වාගේ ඇරැයුම පිට 1978 පාකිස්ථානයට ගියා. ඒ අවුරුද්දේම ජූනි 23 වැනිදා අපි එහිදී විවාහ වුණා. මම රක්ෂණ ආයතනයක රැකියාව කරන අතරතුරේ සංගීත පංති පවත්වා ගෙන ගියා. මට එරට කම්මාලි සංගීත ශෛලිය හොඳට පුළුවන්. ලංකවේ සිටි කාලයෙත් දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක මගේ සංගීත පංති තිබුණා. දැන් වුණත් ස්වයං වෘත්තියක් ලෙස මේ ගමේ සංගීත හා ඉංග්‍රීසි පංති පවත්වා ගෙන යනවා.

* එහෙනම් ඔබේ තරුණ කාලේ වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ පාකිස්ථානයේද?

අපේ එකම දුව විවේකා ඉපදුණෙත් ඒ රටේ. ඇය දැන් නම් පදිංචිය එංගලන්තයේ. නිර්මාණාත්මක චිත්‍ර ශිල්පයට හරිම දක්ෂයි. විවාහ ගිවිස ගෙන සිටින තරුණයාත් එංගලන්ත පුරවැසියෙක්. ලබන මාර්තු මස එම්. බී. ඒ. උපාධිය ලබන ඇගේ එම අමරණීය මොහොතට සහභාගිවීමට මායි බිරිඳයි නොවැරැදීම යනවා.

* ඔබ ගුවන් විදුලි ගායකයෙක් ලෙසත් ඉදිරියට ගියා නේද?

1965 ගුවන් විදුලි ගායන පරීක්ෂණයෙන් සාමාර්ථය ලැබුවේ ඒ ශ්‍රේණිගත ගායකයෙක් වශයෙන්. එහි 1977 දක්වා සරල ගීත ගායනය කළා. ගමේ සුකුමලී, අඹරේ අද නැත, රන් සමනලයෝ, මාගේ රන් කිරිල්ලී එදා මා වෙත ජනප්‍රියත්වය ළඟා කර දුන් ගුවන් විදුල ගීත අතරින් කිහිපයක්. සිරිල් ඒ. සීලවිමල රචිත මහින්දාගමනය ගුවන් විදුලි සංගීත වැඩ සටහනේ මම රුක්මණි දේවි, මිල්ටන් පෙරේරා සමඟත් ගීත ගායනය කොට තිබෙනවා. මේවා අතීතයක් එක්ක යටගිය පුවත්.

* ඔබ ගායනය කළ රසික හද බැඳ ගත් ගීත කැසට් පටයක් මඟින් අසන්න පුළුවන්ද?

මගේ ආශාවත් එයයි. දියණියගේ උපාධි උත්සවයට සහභාගි වී පැමිණි සැණෙන් මගේ චිත්‍රපට හා සරල ගී එකතුවක් සංයුක්ත තැටියකට නංවනවා. එවිට ඔබේ මතකයේ රැදුණු මගේ ජනප්‍රිය ගීත රසය යළිත් රසිකයන්ට විඳ ගන්න ලැබේවි. එතෙක් මට තව සුළු කාලයක් ඉඩ දෙන්න.