වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජපානයෙන් අපට ලැබුණු අපූරු තෑග්ග

ජපානයෙන් අපට ලැබුණු අපූරු තෑග්ග

සුජාත දියණිය, අභිත දියණිය ගෙන එන
රූපවාහිනී හඬකැවීම් අංශ ප්‍රධානි
අතුල රන්සිරිලාල්
අලුත්ම කාර්යය පිළිබඳ කතාබහක . . .

ජාතික රූපවාහිනිය කාටුන් කලාවේ නව ප්‍රවේශයකට ...

2D, 3D කාටුන් මඟින් ළමා පරපුරට විනෝදය, දැනුම, නව අධ්‍යාපනය

හරබර රසබර වූ විවිධ වැඩසටහන් ජනතාවට තිළිණ කරමින් අධ්‍යාපනය, දැනුම, විනෝදය නොඅඩුව ලබාදෙමින් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව කළා වූ ජාතික මෙහෙවරට දැන් තිස් එක් වසරකුත් ගත වෙලා. එදා මෙදාතුර සිය සම්ප්‍රදාය නොබිඳ කාලයට ගැළපෙන අයුරින් හැඩ ගැසෙමින් පැමිණි මේ ගමන් මඟේ පසුගියදා තවත් අලුත්ම පියවරක් තබන්නට රූපවාහිනී සංස්ථාවේ හඬකැවීම් ඒකකය සමත් වුණා. ඒ නම් නවීනතම තාක්ෂණයෙන් යුතු ද්විමාන හා ත්‍රිමාණ සජීවකරණ මැදිරියකින් අලුත්ම වැඩසටහන් පෙළක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීමයි. ඉතිං මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න අප හමුවුණේ මේ කර්තව්‍යයේ පුරෝගාමියා ලෙස කටයුතු කළ රූපවාහිනී සංස්ථාවේ හඬකැවීම් ඒකකයේ ප්‍රධානියාය. ඔහු අතුල රන්සිරිලාල්.

මුලින්ම මේ නව මැදිරිය ගැන දැනගන්න කැමැතියි?

වසර ගණනාවක් පුරා ජපන් රජය සමඟ පැවැති සංස්කෘතික සම්බන්ධතා වැඩසටහන් හරහා තමයි මේ ද්විමාන හා ත්‍රිමාණ සජීවකරණ මැදිරිය අපට ලැබුණේ. ලක්ෂ 750 ක වටිනාකමකින් යුතු උපකරණ සහිත මෙම මැදිරියේ ඉදිකිරීම් සිදු කෙරුණේ රූපවාහිනී සංස්ථාවෙන්. පසුගිය දෙසැම්බර් 28 වැනිදා මෙම නව මැදිරිය විවෘත කෙරුණා. මෙයින් මුලින්ම ඉදිරිපත් කළේ සෑම සෙනසුරාදාවකම විකාශය වුණු ටොමියා සහ කිටියා කාටුන් වැඩසටහන් මාලාවයි.

නවීන තාක්ෂණයෙන් යුතුව මෙවැනි සජීවකරණ මැදිරියක් ලැබෙන්නට හේතු වුණේ?

ජපන් රජය සමඟ පැවැති සංස්කෘතික සබඳතාව හරහා අපට විවිධ වැඩසටහන් ලැබුණා. ඔෂින්, සුසුරන් වැනි වැඩසටහන් ලැබුණෙත් ඒ හරහාම තමයි. මෙවර වැඩසටහනක් වෙනුවට සජීවකරණ මැදිරියක් ලබාදෙන ලෙස මම ඉල්ලීමක් කළා. එයට පිළිතුරු වශයෙන් මේ සම්බන්ධව ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැනුම්දීම කළා. මම ව්‍යාපෘති වාර්තා හදන්න දැනගෙන හිටියේ නැහැ. ඉංජිනේරු අංශයේ රොහාන් පෙරේරා සහ දසනායක මහත්වරුන්ගෙන් ව්‍යාපෘති වාර්තා දෙකක් ඉල්ලා ගෙන බලලා මම මෙයට අදාළව වාර්තාවක් සකස් කළා.

කාටුන් මාධ්‍ය තුළින් ලංකාවේ ළමුන්ට විනෝදය වගේම අධ්‍යාපනය, දැනුම ලබා දිය යුතුයි කියන කාරණය තමයි මම ඉදිරිපත් කළේ. ඉංජිනේරු අංශයේ පාලිත ප්‍රනාන්දු සහ සහකාර අධ්‍යක්ෂ අනුර ධර්මසේන මහත්වරුන් උපකරණවල අවශ්‍යතාව පෙන්වා දුන්නා. මෙහිදී විශේෂයෙන් ස්තුති කරන්න ඕනෑ සංගීත අංශයට. එහි ප්‍රධානි අජිත් ජයවීර සහ මහේෂ් නිශ්ශංක මහත්වරුන් අපට මෙම ස්ථානය ලබාදීලා වෙනත් තැනකට ගියා. මෙහි වැඩකටයුතු ලස්සනට නිම කරලා අපි වැඩ ආරම්භ කළා.

මේ සඳහා දායක වන නිෂ්පාදක කණ්ඩායම සහ නව නිර්මාණ ගැනත් සඳහන් කළොත්?

රත්මලාන ජාතික ආධුනිකත්ව අභ්‍යාස ආයතනයේ සිසුන් පිරිසක් රූපවාහිනී සංස්ථාවට පුහුණුව සඳහා යොමු කළා. පාඨමාලාවේ පුහුණු අදියර සඳහා තමයි මේ පිිරිස යොමු කළේ. අරෝෂා ගුණරත්න මේ කටයුත්ත වෙනුවෙන් ලොකුª සහයෝගයක් ලබා දුන්නා.

 අයේෂ් රුශන්ත, චරිත බණ්ඩාර රණසිංහ, පුබුද්ධි කෞෂාල්, රුවන් පෙරේරා, සුමුදු විජේවර්ධන, අනිල් සුසන් ද සිල්වා සහ සංජය ගුණරත්න මේ කණ්ඩායමට ඇතුළත් වුණා. මේ පිරිසත් එක්ක මම ‘සුනිල් ගී’ ඇතුළත් නිර්මාණ කළා. ලීලා සුනිල් ශාන්ත මහත්මියගේ අවසරය ඇතිව අපි සුනිල් ගී කාටුන් නිර්මාණය කළා. ‘අන්දරේගේ කතා’ සහ ‘පොඩි හාමුදුරුවෝ’ නමින් තවත් කාටුන් නිර්මාණය කළා.

එහිදී ‘පොඩි හාමුදුරුවෝ’ නම් කාටුන් වැඩසටහන විශේෂ එකක්. මේ සඳහා අපි කාටුන් චරිත සමඟ සජීව චරිතත් එකතු කරල තමයි නිර්මාණය කළේ. මේ කණ්ඩායමට මම අභියෝගයක් දුන්නා සතියකට එක කාටුන් එකක් නිර්මාණය කරන්න. ඇත්තෙන්ම එය අසීරු කාර්යයක්. නමුත් මේ කණ්ඩායම එය සාර්ථකව කළා. ඔවුන් සති පහළොවක් අඛණ්ඩව මෙය ඉටු කළා. මේ පිරිස මේ සඳහා දැක් වූ උනන්දුව ගැන ගොඩක් සතුටුයි.

ඉදිරියේදී එළිදකින්න නියමිත නව නිර්මාණ?

අරිසෙන් අහුබුදුගේ කථා පෙළක් කාටුන් නිර්මාණ තුළින් එළි දක්වන්නට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම චිත්‍රපටයකුත් නිර්මාණය කරන්නත් බලාපොරොත්තු වෙනවා. පුවත්පත්වල පළ වූ කාටුන් විද්‍යුත් මාධ්‍යයට ගෙන එන්න විශේෂ වැඩසටහන් පෙළක් සූදානම්.

ඒ අනුව ඉදිරියේදී ‘ගජමෑන්’, ‘බූ බම්බා’, ‘යෝධයා’ වැනි පුවත්පත් කාටුන් ඇසුරින් වගේම ‘හත්පණ’, ‘ලෝවැඩ සඟරාව’ වැනි නිර්මාණ ඇසුරිනුත් කාටුන් නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි නිර්මාණ අපේ රටේ ළමුන්ගේ යහපතට රුකුලක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි නිර්මාණ තුළින් තිරයේ සටහනක් ඇති කිරීම තමයි මගේ බලාපොරොත්තුව. මේ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.

ඒ වගේම ඉදිරියේදී මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරත් ක්‍රියාත්මක වන්නට නියමිතයි. මේ සඳහා වූ ගිවිසුමේ පරිදි කෙටිකාලීන වගේම දිගුකාලීන ඉලක්ක ද අන්තර්ගත වෙනවා. මේ තුළින් අප ලබන සාර්ථක ප්‍රතිඵල අනුව ඉදිරියේදී දෙවන අදියර යටතේ නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ සමඟින් තව තවත් දියුණු මට්ටමකට පත්කරන්න අවස්ථාව ලැබෙනවා.

අවසාන වශයෙන් ඔබ කියන්නේ?

ජාතික රූපවාහිනී සංස්ථාව සතු මේ සජීවකරණ මැදිරිය මෙරට පිහිටි නවීනතම තාක්ෂණයෙන් යුතු සජීවකරණ මැදිරියයි. මෙවැනි දෙයක් මාගේ සේවා කාලය තුළ රූපවාහිනී සංස්ථාවට ලබා දෙන්නට අවස්ථාව ලැබීම මට විශාල සතුටක්. ජපන් තානාපති නොබුකො හිතෝ මහතා ඇතුළු තානාපති කාර්යාලයේ සැමටත්, හිටපු සභාපති ආරියරත්න ඇතුගල, සරත් කෝන්ගහගේ, දේවප්‍රිය අබේසිංහ, වත්මන් සභාපති මොහාන් සමරනායක, ප්‍රධාන විධායක නිලධාරී රාසපුත්‍ර යන මහත්වරුන් මේ කාර්යය සඳහා අපට විශාල ශක්තියක් වුණා.