ප්‍රතිචාර

අඩුව පුරවන්න,
ඉදිරියට යන්න
පසුගියදා දැයෙන් සමුගත් ප්‍රවීණ අංග රචනා ශිල්පී ඊබට් විජේසිංහයන්ගේ අඩි පාරේ යමින්
අංග රචනා ශිල්පියකු ලෙස සිංහල සිනමාවට එක් වූ රංජිත් මතඟවීර මහතාණෙනි, ඊබට්
විජේසිංහයන්ගේ නාමය රැකගෙන එම අඩුව පුරවන්න සිතට ගත යුතුයි.
දයාරත්න ගනේගොඩ
කැලණිය
පැරැණි, ජනප්‍රිය චිත්‍රපට
වනසන්න එපා
හැට හය වසරක් සපිරි සිංහල සිනමාව දෙස ආපසු හැරී බලන කල බාධක දුක් කම්කටුලු මැද මේ
දක්වා සාර්ථක ගමනක් ඒමට රංගනයෙන්, ගායනයෙන්, කාර්මික අංශයෙන් සිය දායකත්වය ලබා දුන්
ප්‍රවීණ කලාකරුවන්ගේ සිනමා සිත්තම් තුළ තිබෙන සුන්දරත්වය සහ ගීතවල තිබෙන රසය ටෙලි
සිත්තම්වලට නඟා කෙලසා දමන්න එපා. එසේ වීමෙන් සිදු වනුයේ එම නිර්මාණ සහ කලාකරුවන්
හෑල්ලුවට ලක්වීමයි. පැරැණි ජනප්‍රිය සිනමා සිත්තම් ඒ අයුරින්ම තිබෙන්නට හරින්න.
ටෙලි නාර්මාණකරුවෙනි, බංකොලොත්භාවයෙන් මිදී නවතම කථා සංකල්පයන්ගෙන් යුතු ටෙලි
නාට්‍ය නිර්මාණ කිරීමට උත්සාහ ගන්න.
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
බටහිර අධිකාරිමුල්ල
දූනගහ
සිනමාවේ දිරිය කත
ඔබයි
තනි තටුවෙන් පියඹා ගොස් තටු සිඳ නොගත් සිංහල සිනමා ඉතිහාසයේ සදාතනික නමක් සනිටුහන්
කළ අනෝමා ජනාදරී සිනමාවේ දිරිය කතයි.
සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ
‘බොරලු පාර’ අවසානය
මන්දගාමියි
ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘බොරළු පාර’ ටෙලි නාට්‍යය ඉතාම කාලෝචිත තේමාවකින්
යුක්ත විය. දේශපාලන බලවතුන්ගේ බඩ වඩා ගැනීමේ ක්‍රියා කලාපය නිසා රාජකාරිය හරි හැටි
ඉටු කිරීමට නොහැකි වන පොලිස් නිලධාරියකුගේ කතාව මැනවින් පෙන්වා තිබුණි. ඒත් එහි
අවසානය මන්දගාමීයි.
කුලසිරි ඕපනායක
හොරණ
කුරු දෙකකි
තරු පෙළකි
අකුරු දෙකේ නමින් දිදුළ
සිහල කලා ලොව තරු පෙළ
එඩී, ඩොමී, මාක්, ප්‍රේම් වොලී
ලැඩී, රොීයි, සොමී, පෝල්, විලී
ෆේරඩී, සිරී, රෙජී, ලාල් කෙළී
ලකී, ශෂී, දොන්, සේන චිලී
හැරී, වාස්, දයා, රංග ටෝනි
ටෙරී, ප්‍රාන්, නිනෝ, නීල් ඩැනී
රූබි, සංඛ, දේව්, රූපා විනී
මාජි, රාධා, රෝසි, නීලා ජෙනී
රීටා, ආශා, ගීතා, ලේඛා ප්‍රේමා
නීටා, ලතා, සීතා, ශ්‍රීයානි සෝමා
වීණා, ලංකා, මාලි, ප්‍රභා ශ්‍රීමා
රානි, නදී, මිලී, ශ්‍රියා අමා
මේ නම් පෙළ කවියකට එකතු කොට අප වෙත ලියා එව්වේ
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය
ඔව් ඔබට පුළුවන්
ටෂ්නි ජයවීරට,
ගායන හැකියාව ඔබට ආභරණයකි. නිහඬව නොඉඳ අපට ගයන්න. ගායන ලොවේ දුර ගමනක් යන්න ඔබට
පුළුවන්.
නීටා මාසලින්
කැලණිය
වරාගොඩ
මීනා දක්ෂයි
කලක් නිහඬව සිට ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ හොඳ චරිතයකින් නැවතත් අප වෙත එන මීනා කුමාරි
දක්ෂ නිළියකි.
ශාන්ති බන්දුනාථ
මහනුවර
‘ගී අඩ හෝරාව’
අගය කළ යුතුයි
ගුවන් විදුලි සේවාවක කාර්යභාරය බිඳුවක්වත් අඩු නොකර අද වනතුරු ද තම රසික ප්‍රජාවගේ
පැසසුමට ලක්වෙමින් සුපැහැදිලි ගමනක යෙදෙන වෙළෙඳ සේවයේ සුසිල් ප්‍රේමරත්නයන්
වෙනුවෙන් ඔහුගේ මතකය අවදි කොට නිවේදක ධම්මික පී. රත්නායක මෙහෙය වූ ගී අඩ හෝරාව අගය
කළ යුතුයි.
සමන් ගාල්ලගේ
කැටපල
ඔබ ගැන මතකය
අමතක නැත
සරසවියේ විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කොට පසුව එහි කර්තෘ පදවිය ද දරමින් අනතුරුව
උපදේශක කර්තෘවරයකු වශයෙන් ද බොහෝ කලක් සුසිල් ගුණරත්නයන් ‘සරසවිය’ට ලබා දුන් සවිය
අමිලයි, අනර්ඝයි. කඩවසම් වූ සුසිල්, ටෙලි නාට්‍ය ඔස්සේ ද අප ආලින්දයට පැමිණියේය.
වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් ද රඟමින්ද රටේ සෑම පළාතකටම යමින් ප්‍රේක්ෂක සහ
විචාරක ආදරය ඔහු නොමඳව ලැබුවේය. 2007 පෙබරවාරි 26 දින අපෙන් සදහටම සමුගත් සුසිල්
සදා අනුස්මරණ චරිතයකි.
ඩඩ්ලි ගෝමස්
මොරටුව
කටුබැද්ද
ඇන්ජලින් හරිම අපූරුයි
රිදී තිරයේ පනස් වසරක් රිදී සීනු හඬින් ගී ගැයූ ඇන්ජලින් ගුණතිලක ඇගේ ප්‍රථම ඒක
පුද්ගල ගී ප්‍රසංගය ‘ඇන්ජලින් ලයිව් ඉන් කොන්සර්ට්’ සජීවීව ඉදිරිපත් කිරීම හරිම
අපූරුයි.
එම්. ඩී. විල්ෆ‍්‍රඩ්
මීගමුව
මේ SMS ප්‍රතිචාර තීරයයි
සේපාලිකා ටෙලි සිතුවමේ පහන් ලෙස රඟපෑ ගයාන් වික්‍රමතිලකට දුක හිතෙන චරිත රංගනයට
පුදුම හැකියාවක් තියෙන්නේ.
චතුරිකා නදීශානි
රත්නපුර
සීදූව සකුරා තමයි මං දැකපු හොඳම බැන්ඩ් එක. බොරුවට දඟලන සමහර සංගීත කණ්ඩායම්වල
සාමාජිතයන්ට ඔවුන් ආදර්ශයකි. එහි ගායක ජූඩි රොගැන්ස් නිසා සීදූව සකුරා තවත්
ලස්සනයි.
කේ. සුබසිංහ
එච්. සුබසිංහ
මීගමුව
ජෝති ගී ගයන නවකයන්ගේ පැවැත්මක් නැහැ. ඔවුන්ගේ ගමන ඉතාම කෙටිකාලීනයි.
පී. වයි. අනුලාවතී
කුඩාගම
සඳා ටෙලි නාට්‍යයේ පැතුම් රුක්ෂාන් හොඳට රඟපානවා. ඔහු තමයි මෑත කාලයේ ඉක්මනින් නැගී
ආ නවක රංගන ශිල්පියා.
නිලුක
කුඩාගම
රංගනය පිළිබඳව දැනුමක් නොමැති අය වෙනුවෙන් රංගන පාසලක් ඇරැඹීමට තීරණය කිරීම ගැන
කුමුදු නිශාන්තට ස්තුති ප්‍රශංසාව පිරිනමමි.
භාෂන
බත්තරමුල්ල
මොරීන් චාරුණීව අද දැක්කත් එදා වගේම රූපශ්‍රීයෙන් අනූනයි.
හෙන්රි
පෑලියගොඩ
තරු බිහි කරන තරගයකින් බිහි වූ නවක ගායකයකු ජෝතිපාලයන් ගැයුව ‘ආදරේ හිතෙනවා දැක්කම’
සිංදුව විනාශ කරලා. අනේ ඒ පාපකාරී දේ ජෝතිපාල වෙනුවෙන් කරන්න එපා.
ශමිත ප්‍රසන්න
එපිටවල
රොෂාන් රණවන කාලෙකින් රඟපෑවේ නැත්තේ ඇයි? පූජා එක්ක ආයේ රිදී තිරයට එන්න.
අවිශ්ක
ඔරුගොඩවත්ත
මෙගා ටෙලි නාට්‍ය හදලා නරඹන්නන්ව මුලා කරන සමහර අධ්‍යක්ෂවරුන්ට සුජාත දියණිය වගේ
උසස් නිර්මාණයක් ආදර්ශයට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ශානිකා
වතුපිටිවල
ගීත ලොවට හරවත් යමක් එකතු කොට නොසිතූ මොහොතක අප අතැර ගිය මර්වින් පෙරේරා නම්
කලාකරුවාණෙනි, ඔබ ගැයූ සඳ මිදුලට එනවා, ඔබ දේදුන්න අකාසයේ වැනි ගීත අද ද තුඩ තුඩ
රැව්දේ.
සරත් මද්දුමආරච්චි
මතුගම
සේපාලිකා ටෙලි සිතුවමේ අවසානය හරිම ඛේදජනකයි.
සාරංග
රත්මලාන
ජීවිතය ලස්සනයි ගොඩක් ලස්සනයි. එහි ටෙනිසන් කුරේගේ රංගනය තවත් ලස්සනයි.
චාරිකා
රත්මලාන
සිංහල සිනමා වංශ කතාවේ තමාගේම වූ පරිච්ඡේදයක් සනිටුහන් කළ මිහිරි මතකයන් හදෙහි
පෝෂණය කොට රංගනයේ සාම්ප්‍රදායික සීමා මායිම් බිඳ හෙළමින් ස්වකීය රංගනයෙන්
ප්‍රේක්ෂකාගාරය කොක් හඬලා හිනැස්සු ෆේරඩී සිල්වා නම් සහෘද රංගන වේදියාණෙනි,
ඔබටයි මේ තුති මල් මිට.
චතුරංග සම්පත්
තැන්නැන
දිසාපාමොක් නම් වූ වේදිකා නාට්‍යයක් ම’විසින් පසුගිය දිනෙක නැරැඹුවෙමි. එහි තුළ ඇති
අන්තර්ගතය ගැන මම විමතියට පත්වීමි. මන්ද යත් එය ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ට
ආදර්ශවත් නාට්‍යක් වූ බැවිනි. එවන් වූ මාතෘකා යටතේ ඉතාම කලාතුරකින් නාට්‍ය නිර්මාණය
වන මෙරටෙහි දිසාපාමොක් වැනි නාට්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳ එහි අධ්‍යක්ෂ ජගත්
කරුණාසේනට තුති පුදමි.
සිතුමානි දිව්‍යා
කණ්ඩලම
සැඳෑ අඳුර ලොව ගලා නව දැලිහේන සිප ගත් විට මනමාල ගිරව් ඉහළින් ඉගිලෙන බව දැක එයට පද
ගලපා කුසුම් පිපුණු තුරු ගැන වර්ණනාව නුග සෙවණක් යටදී ලියා යාළු බාල සඳට අමතා
හැමදාමත් පාළුවේ ගී ලොව ගමනක් ගිය සෝමතිලක ජයමහ නම් ගී විරුවාණන්ටයි මේ වචන ගැලපුම.
ලක්මාලි
වරකපොළ
දුප්පත් කෙල්ලකි. පොහොසත් කොල්ලෙකි. කෙල්ලව බලාපොරොත්තුවෙන් සිටින තවත් දිළිඳු
තරුණයෙකි. පොහොසත් කොල්ලා ද කෙල්ලව බඳින්නට කැමැත්ත ප්‍රකාශ කළ ද එයට ඇය කැමැති
නැත. මේ අතර දුප්පත් කොල්ලා පොහොසත් කොල්ලා හා ගැටෙයි. ඔවුන් අතරට මැදි වූ
විකටයෙකි.
කෙටියෙන්ම කිව්වොත් මෙය පැළැන්ති දෙකක ගැටුමකි. මෙන්න අද ටෙලි නාට්‍යය කලාව. අනේ
අනිච්චං!
කරඳගොඩ විල්සන්
මිස්සක
ප්‍රතිචාර සැකසුම - ප්‍රසාද් සමරතුංග
මෙම තීරයේ ඔබ එවූ ඇතැම් ප්‍රතිචාර සටහන් නොවීමට හේතුවක් ඇත. එම අදහස් මාලාව අවසනදී
ඒවා එවන ලද්දේ කා විසින් ද යන්න සඳහන් නොවූ නිසාය. එබැවින් කුමන අන්දමේ
ප්‍රතිචාරයක් එව්ව ද ඒවා එවනුයේ කවුද සහ ඉන්නා ප්‍රදේශය ඊට ඇතුළත් කිරීමට මතක තබා
ගන්න.
0752805047 මේ දුරකතන අංකය ඔබේ කෙටි පණිවුඩ ප්‍රතිචාර වෙනුවෙනි.
ප්‍රතිචාර ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනයට ඔබේ සටහන් හෝ තැපැල්පත් එවිය
හැකිය.
|