වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




විවාහයකට ජේ.ආර්. විජය අත්සන් කළ හැටි

විවාහයකට ජේ.ආර්. විජය අත්සන් කළ හැටි

පසුගිය සතියෙන්...
‘සරසවිය’ රසවත් කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා

ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහට නවදිල්ලි නුවරදී රජත මයුර සම්මානය හිමිවීමෙන් පසු ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් රීගල් සිනමා ශාලාවේ සංවිධානය කළේය.

ඇය සරසවිය සම්මානය දිනූ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය ද එහිදී තිරගත විය. එහිදී ලැබුණු කෙටි විවේකයේදී අනෝජාට ලැබූ මල් මාලාව මගේ කරේ පැලැන්ඳුවේ අප අතර තිබූ සහෝදර බැඳීම නිසාමය. එදා ඒ අවස්ථාව ඡායාරූප ශිල්පී රෝලන්ඩ් පෙරේරාගේ කැමරාවේ සටහන් වූයේ හරිම අපූරුවටය.

ගාමිණී ෆොන්සේකා ආඩම්බර නළුවෙක් කියා මිනිසුන් අතර මතයක් තිබිණි. මෙය ඔහුගේ ජනප්‍රියත්වයට ද බාධාවක් විය. ඔහුව මුණ ගැසී පිංතූර ගැනීමට මා සරසවිය වෙනුවෙන් ගියේ ඒ.ඩී.රංජිත් කුමාර සමඟය. ඒ ගිය හැම අවස්ථාවකම ඔහු අප හා ගත කළේ ඉතා සුහදශීලීවය. එය විනෝදබර විය. සැබැවින්ම ගාමිණී තුළ එවැනි ආඩම්බරකමක් තිබිය යුතුයි කියා මම පෞද්ගලිකවත් විශ්වාස කළෙමි.

සරසවියේ සිටින කාලයේ මට නළු නිළියන්ගේ විවාහ උත්සවයන් ද ඡායාරූපගත කරන්නට අවස්ථාව උදා විය. ජීවන් කුමාරතුංග - ෂෙරීන් විවාහයේදී ෂෙරීන්ගේ පැත්තෙන් අත්සන් කරනු ලැබුවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය.

ජීවන් වෙනුවෙන් අත්සන් කරනු ලැබුවේ විජය කුමාරතුංගය. දේශපාලන වශයෙන් අන්ත දෙකක ගමනක් ගිය නායක දෙපළක් එකට හමු වූ මොහොත එදා මගේ කැමරා කාචයේ සටහන් විය.

රණ දෙරණ චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේය. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ අගමැති ආර්. ප්‍රේමදාස මහතාය.

ටික වේලාවකින් විජය කුමාරතුංගයන් ද එම අවස්ථාවට පැමිණියේය. දේශපාලන වශයෙන් භේදභින්න වී සිටි නායකයෝ දෙදෙනෙක් මෙහිදී හිතවත් වූ ආකාරය මගේ කැමරා කාචයේ සටහන් විය.

එකල ගීතා කුමාරසිංහ සැලොන් එකක් ආරම්භ කළේය. එය විවෘත කිරීම සඳහා පැමිණියේ එවක ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතාගේ බිරිය මාලිනී බෝධිනාගොඩ මහත්මියයි. මෙම අවස්ථාව ඡායාරූප ගත කිරීමට මා හට පැවරිණි. එය ආයතනයේ ප්‍රවාහන අංශයේ ප්‍රමාදයක් හේතුවෙන් එහි ආරම්භක අවස්ථාවට මට සහභාගි වීමට නොහැකි විය.

මා යන විටත් එහි මුල් අදියර නිමා වී තිබිණ. මට හැකි අයුරින් අනෙක් අවස්ථාවන් මම ඡායාරූප ගත කළෙමි. එවක පැවැති තවත් සිනමා පත්තරයක් වූ සරසි පුවත්පතෙන් ද මෙය ආවරණය කිරීමට ඡායාරූප ශිල්පීන් පැමිණ තිබුණි. මම ඔවුන්ගේ උදව්වෙන් මට මඟහැරුණු පිංතූර සියල්ල ඉල්ලා ගතිමි.

පසුදා මට නීති අධ්‍යක්ෂ හා නීති උපදේශකවරයා වූ ඩී. කිව්. එම්. සිරිමාන්න මහතාගෙන් කැඳවීමක් ලැබිණි. ඒ කැඳවීම වූයේ නියමිත වේලාවට නොයාම පිළිබඳවය.

එහි ගත් සියලු ඡායාරූප මට රැගෙන එන ලෙස පැවසූ හෙයින්, මා ලබා ගත් ඡායාරූප ද, සරසි පත්තරයේ අයගෙන් ලබාගත් පිංතූර ද එකතු කොට එතුමන් අතට පත් කළෙමි. මට මඟහැරුණු පිංතූර සියල්ල හොඳින් නිරීක්ෂණය කළ සිරිමාන්න මහතාට මා සිදු වූ අතපසු වීම පිළිබඳ සියල්ල පැවසුවෙමි.

කෙසේ හෝ අවස්ථා සියල්ලේම පිංතූර තිබූ හෙයින් මට අවවාද කොට සමාවක් දුන්න ද ඒ වසරේ ප්‍රසාද දීමනාවලින් දඬුවමක් ලෙස මගෙන් රුපියල් පනහක් කපා ගැනීමට නියමව තිබිණි.

උපාලි ෆොන්සේකා නම නිසා බොහෝ දෙනකු සිතා සිටියේ මම මාලිනී ෆොන්සේකාගේ සොහොයුරකු හැටියටය. එයට හේතුª වූයේ මාලිනී අක්කාටත් උපාලි යනුවෙන් සොහොයුරකු සිටි බැවිනි. ඇයගේ බාල සොහොයුරන් වූ ආනන්ද හා නිමල් ඡායාරූප ශිල්පීන් වුව ද උපාලි ඡායාරූප ශිල්පියකු නොවීය.

සමහර නළු නිළියන් ද සිතා සිටියේ මා මාලිනීගේ සහෝදරයෙක් කියාය. මාලිනීගේ මවගෙන්ද ඒ ගැන විමසා තිබිණි. ඒ කතාබහ නිසාම මට අප්‍රසිද්ධියේම ප්‍රසිද්ධියක් ද ලැබිණි. විටෙක සරසවිය පත්තරයේ පාඨක ප්‍රශ්න පිටුවේ ප්‍රශ්නයක් ලෙසින් පළ කරනු ලැබුවේ මා මාලිනීගේ මල්ලී කෙනෙක් නොවන බව කියාය.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මට හමු වූ හරි අපූරු පුද්ගලයෙක් විය. ඔහු හෝ ඔහුගේ සංගීත කණ්ඩායම විවේචනය කොට ලිපි ලියන කාට හෝ තෑගි පාර්සලයක් යැවීම ඔහු කළ අමුතු ආකාරයේ වැඩක් විය.

ඔහුත් සමඟ පත්තරයට විශේෂාංගයක් සඳහා ගිය ද, පිංතූර ගැනීමට ගිය ද, ඔහු පවසන රස කතා බොහෝය. එවැනි දවසක වරුවක් හෝ ඔහුත් සමඟ ගත කොට ඇඟේ ලේ පිරිසුදු කර ගැනීම සාමාන්‍ය දෙයක් විය.

දිනක් මා රාජකාරී අවසන් කර මධ්‍යම රාත්‍රියේ නිවස බලා යන අතරේ රත්මලානේදී මගේ කාරය නතර වූයේ ග්ලූකෝරස ආයතනය සමීපයේය. මා හනික උදව් ඉල්ලා සුනිල්ට ඇමතුමක් දුන්නෙමි. විනාඩි ගණනක් ඇතුළත තව කිහිප දෙනකු සමඟ වාහනයක් මගේ ළඟට එවීමට තරම් එදා සුනිල් මට කාරුණික විය.

අද සරසවියට පනස් වසරකි. මම ලේක්හවුස් ආයතනයෙන් සමුගෙන ඇත්තෙමි. එදා මා සමඟ සරසවියේ සිටි සුසිල් ගුණරත්න, සුසිල් ජිනප්‍රිය, සුනිල් හොරේෂස් සදහටම අප හැර ගොසිනි.

වසර තිස් තුනක් වූ මගේ ලේක්හවුස් ජීවිතයේ සේවා කාලයෙන් වැඩිපුරම ගත කළේ සරසවිය සමඟය. අසූව දශකයේ ලේක්හවුස් නියෝජ්‍ය ඡායාරූප කර්තෘවරයා වීමේ භාග්‍ය ලැබූ මා එහි සම කර්තෘ ධූරය දක්වා පැමිණියෙමි.

මා හට ඡායාරූප ශිල්පියෙක් ලෙස දිගු ගමනක් යාමට රංජිත් විජයවර්ධන, ග්‍රැන්විල් සිල්වා, සුමනා සපරමාදු, ෂෙල්ටන් ධර්මරත්න, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, අනුල ද සිල්වා බොහෝ සෙයින් අත්වැලක් විය. සරසවිය නිසා මගේ ජීවිතය දිනෙන් දින බබළන්නට වූයේ දෙවියන් වහන්සේ මට ලබා දුන් ආශිර්වාදය නිසාමය. මගේ ජීවිතයට සරසවිය ආශිර්වාදයක් විය. සරසවිය නිසා මම තරු අතරේ බැබළුණෙමි.

විටෙක මා සරසවිය නිසාම නළුවකු ද විය. ඩී. බී. නිහාල්සිංහයන් ටෙලිසිනේ මුල් පුටුවේ කටයුතු කරන අවදියේ මා හට නළුවකුවීමේ භාග්‍යය උදා විය. ටෙලි සිනේ මඟින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හා රෙක්සෝනා සබන් වෙළෙඳ දැන්වීම් දෙකක රඟපෑමේ අවස්ථාව ද මට සරසවිය නිසා උදා විය.

එමෙන්ම මගේ ජීවන සහකාරිය වූ දීප්ති මට හිමි වූයේ ද සරසවිය නිසාය. ඇය පසුකලෙක සරසවිය කතු පදවියට පත් එකම කාන්තාව ලෙසද වාර්තාවක් තැබුවාය.

මගේ ජීවිතයට යම් සාර්ථකත්වයක් මා ලැබුවා නම් එහි සැබෑ ගෞරවය ලැබිය යුත්තේ සරසවියටය. පනස් වසක් සපුරන සරසවිය තවත් සියක් වසක් කලා ලොවේ වැජඹේවා. මගේ ජීවය පවතින තුරු මා සරසවියට ණයගැතිය.