|
මගේ නිර්මාණවලදී ගැහැණියගේත් පිරිමියාගේත් ගෞරවය රකිනවා
හෝපලු අරණ හැදූ තුෂාරි අබේසේකර සමඟ කතාබහක්
ඇය යෞවනය ඇමතූ යොවුන් නවකතාකාරියක්. නවකතාවක් වගේම තිර පිටපත් රචනයෙනුත් ඇය අපූරු නිර්මාණ රැසක් කලා ලොවට දායාද කළා. දැන් ඇය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක් ලෙස කරළියට ඇවිත්. ‘හෝපලු අරණ’ ටෙලි සිත්තම ඇගේ අධ්‍යක්ෂණයෙන් දැන් පුංචි තිරයේ දිග හැරෙන්නේ ඔබට සුන්දර දසුන් පෙළක් පෙළ ගස්වමින්. ඇය තුෂාරි අබේසේකර.
තුෂාරි අබේසේකර මුලින්ම අප හඳුනා ගන්නේ නවකතාකාරියක් විදියට. ‘සඳ රේණු’ පුවත්පතේ පළ වූ ඔබ ලියු ‘මට ඉතිරි කඳුලමයි’ නවකතාව අතිශය ජනප්‍රියත්වයට පත් වුණා කිව්වොත් මා නිවැරැදියි. මුලින්ම ඒ කාලය ගැන කතා කරන්න කැමැතියි? මම මුලින්ම තිරනූර් කියල කතාවක් ලිව්වේ. ඒක මා ළඟ තියෙන කොට යාළුවෙක් කිව්වා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට නිර්මාණ භාර ගන්නවා කියලා. ඊට පස්සේ සුදු කපුරු පෙති කෘතිය ලිව්වා. ඒ වෙන කොට මගේ හිතේ ලොකු පීඩනයක් තිබුණා. එය එළියට දැම්මේ සුදු කපුරු පෙති කෘතියෙන්. ඒක ලියන්න මට දවස් විස්සක් ගත වුණා. ඒ කෘතිය 2003 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම යොවුන් කෘතිය ලෙස සම්මාන දිනා ගත්තා. එය තමයි මා මෙතනට ගෙන ආවේ. මම ලියන්න වගේම ගයන්නත් හරිම ආසයි. පුංචි කාලේ ගායනය මගේ ජීවිතය වෙලා තිබුණා. කාලය එක්ක එය මග හැරිල ගියත් දිගටම ලියන්න පටන් ගත්තා. යොවුන් පත්තරයක් ලෙස ‘සඳරේණු’ පත්තරය හොඳම ස්ථානයක තිබුණා. යෞවන යෞවනියන් නාස්ති නොවන තැනක එය තිබුණ නිසා එයට ලියන්න ඕන කියල හිතුණා. මම ලියපු දේවලුත් අරගෙන හලාවත ඉඳල කොළඹ ආවා. ඒ වෙන කොට මම අධ්‍යාපන කටයුතු වගේම විවාහ ජීවිතයටත් ඇතුළත් වෙලා හිටියේ. මගේ නිර්මාණ දැකපු අජිත් ගාල්ලගේ කිව්වේ අනිවාර්යයෙන් ඔයාට ලබන මාසේ ඉඳලා ‘සඳරේණු’ පත්තරේට ලියන්න පුළුවන් කියලා. එවකට එහි කර්තෘතුමා සමඟ කතා කරල 2002 වසරේදී පටන් මම සඳරේණු පුවත්පතට ලිව්වා. එතැනදි දැක්කා කෙනෙකුට ඉස්සරහට යන්න තියෙන්නේ මොන වගේ ගමනක්ද කියලා. මට මුලින්ම ලැබුණේ පුංචි තීරුවක්. පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඉඩ ලැබිලා මැද පිටු දෙකම මට ලැබුණා. එතකොට මට හිතුණා මට ලිියන්න පුළුවන් කියලා. ඒ කාලේ හිටපු කර්තෘතුමා මට ලබා දුන් අවස්ථාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉන් පසුව ඔබ තිර පිටපත් රචනයට යොමු වෙනවා. ඒ අතර ඔබ ලියූ ‘ලාබයි ඇපල්’ ප්‍රේක්ෂකයා ඉහළින්ම පිළිගන්නවා. මේ ගැනත් කතා කරමු? පුංචි කාලේ ඉඳලම මට මේ ගමන ඒමට ලොකු අරමුණක් තිබුණා. මගේ තාත්තා ඒ කාලේ කිව්වේ මට ලොකු ගැහැනියක් වෙන්න කියලා. මං හිතුවේ ඒ කසාද බැඳල, ළමයි හදල අම්මා කෙනෙක් වෙන එක තමයි කියලා. නමුත් කාලය සමඟ මට වැටහුණා නම ගිය ප්‍රසිද්ධ, රටට වැඩදායි දෙයක් කරන්න පුළුවන් පරමාදර්ශී චරිතයක් වෙන්න කියල තමයි එදා තාත්තා කිව්වේ කියලා. ඒ අනුව තමයි මට මේ ගමන එන්නට ලැබුණේ. ඒ අතරතුර මා අතින් බිහි වූ තවත් නිර්මාණයක් තමයි ලාබයි ඇපල්. සඳරේණු පත්තරේට එන හැම දවසකම මම පිටකොටුවේ තියෙන ඇපල් තට්ටු දකිනවා. එකක් රුපියල් දහයයි. හැමදාම මෙය දකින විට එහි ලොකු කතාවක් තියෙනවා කියලා දැනුණා. ඇත්තටම ඇපල් ලස්සන රසවත් පළතුරක්. කොළඹට පැමිණෙන අයට හදිස්සියට වතුර තිබහට බඩගින්නට ගන්නෙත් මේ ඇපල්. එහෙම තිබුණත් මේ ඇපල් පරණ වෙන කොට ලෙල්ල රැළි ගැහිලා, වේලිලා කුණු වෙලා යනවා. ඒක හරියට ගැහැනියකට සමානයි කියලා දැනුණා. මේ ප්‍රස්තුතය තමයි ලාබයි ඇපල් වුණේ. කාන්තාවක් විධියට තිර පිටපත් රචනයේදී ඔබ ස්වයං වාරණයක් පනවාගෙන තියෙනවාද? කාන්තාවන් පිරිමින් ලෙස පුද්ගලයන් ලෙස වර්ග කළත් වැඩවලදී මේ දෙගොල්ලන්ගෙන් කවුද යන එක වැදගත් නැහැ. මම යම් වාරණයක් යොදන්නේ අත්‍යවශ්‍ය වන තැන්වලදී පමණයි. තිර පිටපත් රචනයේදී නිර්මාණයට උපරිම දායකත්වය ලබා දෙනවා. එවැනි තැන් සඳහා එය අදාළ වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ සුරම්‍ය පාරාදීසේ වැඩසටහන සඳහා පිටපත ලියන්නෙත් පිරිමියෙක් කියන විදියට. එතනදි මම හිතන්නේ පිරිමියෙක් විදියට. ගොඩක් අය මගෙන් ඒ ගැන අහනවා. මම නිර්මාණකාරියක්. නමුත් හැම වෙලේම මම මගේ ගැහැනුකම රැක ගන්න උත්සාහ කරනවා. ඔබ දැන් අධ්‍යක්ෂවරියක්. ඒ වගේම කාන්තාවක් ලෙස මෙතෙක් පැමිණි ඒ ගමනේ අතීතය ගැන ඔබ තෘප්තිමත් ද? මීට පෙර කෙටි චිත්‍රපට, වර්තාමය චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඒ හැම දේම බොහොම භක්තියෙන් කළේ. ඒ හැම දෙයක්ම පහසුවෙන් කළා. හැමෝගෙන්ම පුදුමාකාර සහයෝගයක් ලැබුණා. එය මට සුවිශේෂයි. ඒ වගේම කාන්තාවක් යම් දෙයක් කීමේදී එහි ආදරය, කරුණාව පෙරදැරි වූ ස්වභාවයක් තියෙනවා. මේ දක්වා පැමිණි ගමනේදී මගේ ජීවිතේ ගොඩක් හැල හැප්පීම් තියෙනවා. මගේ වයසේ වෙනත් කෙනෙක් විඳ නැති තරම් අත්දැකීම් ගොඩක් මා සතුයි. නමුත් අවබෝධය නිසා මම ජය ගත්තා කියලා කියන්න පුළුවන්. මගේ ජීවිතයට දැනුණ දුකක් වුණත් මම ආශිර්වාදයක් කර ගත්තා. ඇතැම් නවකතාකාරියන් කතා පබැඳීමේදී ස්ත්‍රී ගති ලක්ෂණ වැඩිපුර මතු කරන ගතියක් පෙනෙන්නට තියෙනවා. ඔබත් එවැනි කෙනෙක්ද? මම හැම විටම ගැහැනියගේ ගෞරවය රකින්න උත්සාහ කරනවා. නමුත් කිසි විටෙක මම පිරිමියා කේවල් කරන්නේ නැතුව ශක්තිමත් තැනක තියන්නට උත්සාහ කරනවා. මගේ සීයා, තාත්තා, සැමියා සහ පුතුන් දෙදෙනා යන පිරිමි හය දෙනෙක් මගේ ජීවිතයේ සුවිශේෂී ස්ථානවල ඉන්නවා. ඔවුන්ගේ අගය මම හොඳින් දන්නවා. මං මගේ නිර්මාණවලදීත් ගැහැනියගේ ගෞරවය වගේම පිරිමියාගේ පෞරුෂයත් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ‘හෝපලු අරණ’ ගැනත් සත්‍ය වශයෙන්ම තෘප්තිමත් වෙන්න පුළුවන්ද? මෙයට පාදක වුණේ මගේ ‘සිහින දූවිලි’ නවකතාවයි. ඒ ගැන මම තෘප්තිමත්. ‘හෝපලු අරණ’ කියන්නේ කොළ හැලිල දඬු පමණක් ඉතිරි වූ ගස් ඇති වනාන්තරයකට. මම අද කාලයේ දරුවො දකින්නෙත් ඒ විදියට. එහි පුංචි හරි කොළ පාට දල්ලක් තියෙනවා නම් ඒ තමයි ආදරය. මේ නාට්‍යයට එය තමයි තේමාව වුණේ. මේ සඳහා දායක වූ රංගන ශිල්පීන් වගේම තාක්ෂණික ශිල්පීන් පවා හැම දේම තේරුම් අරගෙන සාධාරණයක් ඉටු කළා. ඔබ ආධුනික අධ්‍යක්ෂවරියක්. නමුත් හෝපලු අරණේ සිටින්නේ දැවැන්ත පරිණත නළු නිළියන්. ඔවුන් හසුරුවා ගැනීමට අපහසු වුණේ නැද්ද? පුංචි කාලේ ඉඳලම මම තෝරා ගත්තේ හොඳම දේ. ඉතිං මම මේ නිර්මාණයටත් වටිනා චරිත තෝරා ගත්තා. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ වටිනා චරිත අතුරින් මගේ නිර්මාණයට ගැළපුණේ මේ පිරිස තමයි. ඒ අතර මම ඉපදෙන්නටත් කලින් ක්ෂේත්‍රයට පැමිණි අයත් ඉන්නවා. හැමෝම මාව හොඳට තේරුම් ගත්තා. මම මට අවශ්‍ය දේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ළෙංගතුකම නිසාම වෙන්න ඇති හැමෝම තුළ හොඳ සහයෝගය එය සාර්ථකත්වය කරා රැගෙන ගියා. රූගත කළ තණමල්විල රසබර අත්දැකීම් එහෙමත් ලබන්න ඇති නේද? දවසක් රූගත කිරීම්වලට යද්දී මම මඩවලක් උඩින් පනින්න ගිහින් වැටුණා. එදා මගේ අත ගොඩක් රිදෙන්න පටන් ගත්තා. දමයන්ති අක්කා ඇවිත් මට බැන බැන තෙල් වගයක් ගාලා අත පිරිමැදලා ඇහුවා ‘දැන් අඩුයි නේද?’ කියලා. මට මගේ අම්මා මතක් වුණා. එදා මට අම්මා වගේ දැනුණා. ඒ වගේමයි ඒ පළාත හරිම දුෂ්කරයි. අපේ කට්ටියත් ඕනෑම දේකට සූදානම්. ඔවුන් හැමෝම උලත් එකයි පිලත් එකයි කියල වගේ හිටියේ. දමයන්ති අක්කා, රෙබෙකා අක්කා, විශ්වජිත්, ධම්මික, උදය ප්‍රසන්න, ඉන්දික, වසන්ත, ඇතුළු හැමෝම සහෝදරත්වයෙන් කටයුතු කළා. අන්තිමට මේක පවුලක දෙයක් බවට පත් වුණා. හැමෝගෙන්ම ලැබුණු සහාය ගැන දන්න අකුරු එකතු කරල පොතක් ලියන්න මදි. හැම දෙනාගෙන්ම හෝපලු අරණට ලැබුණ දායකත්වයට මම ගරු කරනවා. ඒ වගේම මේ නිර්මාණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂණයට යොමු කළ ශාන් රත්නායකටත් විශේෂයෙන් ස්තුති කරනවා. හෝපලු අරණෙන් පසුව එළි දකින්ට නියමිත නිර්මාණ? මම මගේ හැම නිර්මාණයකින්ම කතා කරන්නේ මිනිසුන් ගැන. මිනිස් බැඳීම් තවත් අයෙකුට දැණෙන ආකාරය සහ කරුණාව පෙරදැරි කරගත් නිර්මාණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂිකාවක් වීම තුළ තිරපිටපත් රචනය මඟ හැරේවිද? නැහැ. ලබන පෙබරවාරි මාසයේදී විතර මීළඟ නවකතාව ‘ගංගා තොමෝ’ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ගැහැනියකට සෞම්‍ය වගේම ගංවතුරක් ලෙස ගලන්නටත් පුළුවන් කියල තමයි ඒ තුළින් කියන්නේ. ඊට අමතරව වේදිකා නාට්‍යයකුත් නිර්මාණය කළා. එය දස්කොන් ප්‍රමිලා ප්‍රේම කතාව පාදක කර ගත් ‘ශෘංගාර නගරය’ වේදිකා නාට්‍යය. අලුත් දක්ෂ පිරිසක් සමඟ එය පසුගියදා වේදිකා ගත කළා. ඔබේ ඊළඟ ඉලක්කය නිෂ්පාදිකාවක් වීමද? වේදිකා නාට්‍ය නිෂ්පාදනය මගේ. එහි තිර පිටපත, අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය සියල්ල කළේ මම. ටෙලි නාට්‍ය නිෂ්පාදනයට මුදල් වැය කරන්න අමාරුයි. නිෂ්පාදනයට යොමු විමේදී මා තුළ සිටින නිර්මාණකාරිය නැති වෙලා ව්‍යාපාරික කාන්තාවක් ඉස්මතු වේවි කියල බයයි. ඒකට මම කැමැති නැහැ.
|