|
|
ගිටාරයේ තතක් අතර ජීවිතයෙන් දෙමසක්මහ පාරක බොහොම වේගයෙන් ඇවිදගෙන යන මිනිස්සු අතරින් ඈ ඉතා හිමින් ඇවිදගෙන යනවා. ටික දුරක් ගියාම සියලුම මිනිසුන් ඈ පසු කරමින් විරුද්ධ දිශාවට ඇවිදිනනවා. ඈ කරන්නෙ නොනැවතීම,ඉතා හෙමින් ඉදිරියට යන එකයි. එතරම් පිළිවෙලක් නැතිව ගෙතූ කොණ්ඩය,ශරීරයේ හැඩය සඟවන විසාල සීත කබාය,කිසි ලස්සනක් නැති කළු පාට සපත්තු දෙක,කැපී පෙනෙන විලාසිතාවක් නැති අත් බෑගය මේ ඔක්කොම ඈ ගැන පූර්ව විනිශ්චයක් දෙනවා. හදිස්සියේම කලබලයෙන් ඇවිද යන පදිකයෙක් ඇඟේ හැප්පීම නිසා ඇගේ අතේ තිබුණු පාර්සලය බිම වැටෙනවා. නිශ්ශබ්දකම විසිරිලා යන්නෙ අන්න ඒ ශබ්දයෙන්. මේ 'ද ගිටාර්' සිනමාපටය පටන් ගන්න විදිහ. මෙලඩි වයිල්ඩර් යන්නෙ ඇගේ වෛද්‍යවරිය මුණ ගැහෙන්න. ඇගේ මුහුණෙන්,ශරීරයෙන් පෙන්වන කැළඹීම ගැන ප්‍රේක්ෂකයෝ ඒ හැටි සැලකිලිමත් නොවුණත් යමක් වෙයි කියන දෙගිඩියාවකට පෙරලවන්න සිනමාපටය සමත් වෙනවා. 'මට සමාවෙන්න. ඔයාට තියෙන්නේ පිළිකාවක්'
මේ ඈ අහන්න නොහිටියම වචන කිහිපය. හරියට හෙණ ගෙඩියක් වාගෙ ඔලුවටම කඩා පාත් වුණ භයානක වචන ගොනුව. මෙලඩිගෙ පිළිකාව තියෙන්නේ උගුර ආශ්‍රිතව. දැනටත් ඈ කතා කරන්නේ තරමක් අපහසුවෙන්. කටහඬ බිඳීලා. ඉතාමත් දුර්වල ශබ්දයක් පමණයි ඉන් නිකුත් වෙන්නේ. මේ කාන්තාව විනාඩි කිහිපයක් ඇතුළත තමන්ගෙ ඇතුළු හදට මේ වේදනාව පාර්සලයක් වාගෙ ඇතුළු කර ගන්නවා. ඒ පසුව එළියට ගන්න බලාපොරොත්තුවෙන්. ඈ වෛද්‍යවරියගෙන් අහන්නේ ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලයි. 'ඔයාගෙ උගුරෙන් ශබ්දය පිට වෙන එක අඩු වෙයි. ඊට පස්සෙ ඔයාට හුස්ම ගන්න අපහසු වෙයි. තදින් හුස්ම ගන්න මෙලඩි අහන ඊළඟ ප්රශ්නය වෙන්නෙ ඈට ජීවත් වෙන්න තව කොච්චර කාලයක් තියෙනවද කියලයි. මද නිහැඩියාවකින් පසුව ඈට ලැබෙන උත්තරය මාස දෙකක් කියන එකයි. මේ තරම් දරුණු සිද්ධියක් තනි ගැහැනියක් කොහොමද මෙපමණ සාමකාමීව බාර ගන්නේ කියන ප්‍රශ්නෙත් එක්ක ප්‍රේක්ෂකයා සිනමාපටයෙ ඉදිරියට යනවා. මෙලඩි කාර්යාලයට යනවා. ඇගේ ප්‍රධානියා කියන්නේ ඈව සේවයෙන් පහ කරපු බවයි. හරියට නිකන් ඉර පායනවා,වැස්ස වැටෙනවා වාගෙ සාමාන්‍ය දෙයක් විදිහටයි ඔහු මේ ආරංචිය මෙලඩිට කියන්නේ. සති හතරක වැටුපක් සමඟ මෙලඩි වසර හතරක රැකියාවකින් එළියට දමනවා. මේ තමයි සාමාන්‍ය ජීවිතය. ඒත් මෙලඩිට සිද්ධ වෙන මේ අසාධාරණය,ඇගේ පිළිකාව නිසා නරඹන්නෝ කම්පාවට පත් වෙනවා. ඒත් ඔවුන් දන්නෙ නෑ මේ ඔවුන්ගෙත් කතාව කියලා. තමන්ට නොපෙනුනාට මේකම තමයි තමන්ටත් සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඔවුන්ට පේන්නෙ නෑ. මෙලඩි වික්ෂිප්තව කාර්යාලයෙන් නික්මෙනවා. තමන්ගෙ පැරැණි පෙම්වතාට දුරකථන ඇමතුමක් දෙන්න ඈ යන්නෙ ජංගම දුරකථන කුටියකටයි. ඔහු කියන්නේ පසුව හමුවෙමු කියලයි. ඇගේ ජංගම දුරකථන අංකය ගැන අහන ඔහුට මෙලඩි කියන්නෙ තමන්ට ජංගමයෙක් නෑ කියලයි. ඒක අනවශ්‍ය වියදමක් කියලයි ඈ පෙම්වතාට කියන්නේ. අවසානයේදී පෙම්වතා මෙලඩිව මුණ ගැහෙන්න එනවා. ඒත් ඇගේ සැපදුක අහන්න නෙවෙයි. මෙලඩිගෙන් ඔහුට සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕන බව කියන්නයි ඔහු එන්නේ. තමන්ගෙ පිළිකාව ගැන කියන්න හිටපු අන්තිම කෙනත් ඈට අහිමි වෙන්නෙ මෙන්න මේ විදිහටයි. තමන්ගෙ කුඩා කුලී කාමරයේ නාන බේසමේ බැහැලා ඉන්න ඇගේ නෙත ගැටෙන්නෙ දැන්වීමක්. ඒ සුඛෝපභෝගී මහල් නිවාසයක් ගැනයි. දැන් ඈ යම් තීරණයකට එළැඹිලයි ඉන්නේ. පළමුව බැංකුවට ගිහින් ඈ තම සතු මුදලින් මහල් නිවාසයට ගෙවන්න අවශ්‍ය කරන මුදල ලබා ගන්නවා. ඈ කෙලින්ම යන්නෙ මහල් නිවාසය මාස දෙකක කුලී පදනමට මිලදී ගන්න. ඉතා දුක්ඛිතව උපයා ගත්ත සියලු මුදල වියදම් කරන්න ඈ හදිසි තීරණයකට එළැඹෙනවා. තමන්ගේ පැරැණි නිවසේ දොර ඇරලා දාලා යතුරත් බිමට වීසි කරමින් අත් බෑගය පමණක් ගෙන ඈ නික්මෙනවා. ඉතා විසාල අලුත් නිවහනේ බිම මත නිදගන්න මෙලඩි අවදි වෙන්නේ දුරකථන සමාගමේ සේවකයෙක් පැමිණුන නිසයි. බාහිර සමාජයත් එක්ක සම්බන්දකම් පවත්වන්න ලැබුණු කදිම භාණ්ඩය දුරකථනය. අනවශ්‍ය වියදමක් කියලා ජංගම දුරකථනයක් පාවිච්චි නොකරපු,වැඩි ගණන් දීලා ඇඳුම් නො ඇදපු,ලාබ සපත්තු පාවිච්චි කරපු,ගෙදරින්ම කෑම කාපු මෙලඩි මිල අධික ආපනශාලාවකින් කෑම ඇනවුම් කරනවා. මීට පෙර මස්,මාළු නොකාපු ඇය මාංශ ඇනවුම් කරනවා. මිල අධිකම,ඉතා සුවපහසු ඇදක් ඇනවුම් කරන ඇය කෝටිපතිනියක් වාගෙ මුදල් වියදම් කරනවා. මාස දෙකක ජීවත් වීමේ කාලයකට ඈ ළඟ තියෙන මුදල ඉහටත් උඩින් බව දන්න මෙලඩි කවදාක හරි මිලදී ගන්න හිටිය දේවල් එක දවසක් ඇතුළත මිලදී ගන්නවා. දැන් ඈ භාවිත කරන්නෙ සන්නම් නාම සහිත භාණ්ඩ විතරයි. තමන් පැරැණි කුලී නිවසින් එනකොට ඇදගෙන ආපු ඇඳුම් ගලවලා වීසි කරන්න ඈ පාවිච්චි කරන්නෙ ජනේල. දැන් ඈ ඉන්නෙ නිරුවතින්. ඒත් හදිසියේම නිවසට එන්නෙ ඈ ඇනවුම් කළ භාණ්ඩ රැගෙන එන සේවකයෙක්. මෙලඩි ඔහු ඉදිරියට යන්නෙ දුහුල් ජනෙල් රෙද්දක් ඇගේ ඔතාගෙනයි. කටහඬ අහිමි වෙන්න යන ඇය මේ සේවකයා එක්ක අපහසුවෙන් කතා කරනවා. ඔහු සමඟ මිත්‍ර වෙනවා. ඒ වගේම ඈ නිතර දකින සිහිනයකින් ඡේදනය වන අතීත කතාවක් ඇගේ ආශාවන් ගැන කියනවා. මේ සිනමාපටයේ නම 'ද ගිටාර්' මතක් වෙන්නෙ අන්න එතකොටයි. ඇගේ කුඩා කාලය ගිටාරයකට ආසාවෙන් ගෙවෙන එකක්. ඒත් මවුපියන්ට ඒ ආසාව ඉෂ්ට කරන්න වත්කමක් නෑ. මේ ආසාවෙන් ඈ මුළු ළමා කාලයම දුක් විඳීනවා. ඈ මෙන්න මේ ආසාව ඉෂ්ට කරගන්නෙ මරණයට මාස දෙකක් තියෙද්දියි. ජීවිත කාලයක් පුරා තමන්ට අහිමි වෙලා තිබුණ එකම ආසාව හිමි වුණාට පස්සෙ ඈ තැති ගන්නවා. මෙලඩි දන්නෙ නෑ ගිටාරය වාදනය කරන්න. ඉතිං ඈ වීඩියෝ නැරඹීම මඟින් ගිටාරය වයන්න ඉගෙන ගන්නවා. මේ කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයක් බව ආයෙත් අමතක කරන ප්‍රේක්ෂකයා ඈට අනුකම්පා කරන්න හිතනවා. ඒත් මුළුමහත් සමාජයම ගිලිලා ඉන්නෙ මෙන්න මේ වාගෙ ලබා ගන්න බැරි ආසාවන්වල කියනෙක අමතක කරනවා. මේ ලොකු,පොඩි ආසාවන් ඉෂ්ට කරගන්න ඔවුන්ට මෙලඩිට වගේ කුළුගෙඩි පහරක් ලැබෙන්නෙ නෑ. දවසින්,දවස සිහින කල් දමන මිනිසුන් හෙට වෙනුවෙන් අද දුක්ඛිතව ගත කරනවා. කටහඬ අහිමි වෙන්න යන ඇයට දීලා තියෙන නමත් හරිම උත්ප්රාසාත්මකයි. සිනමාපටය අතරතුර මතු කරන යම්,යම් රූපත් ඒ වගේම උත්ප්රාසාත්මකයි. එමි රෙඩ්ෆෝඩ් අධ්‍යක්ෂණය කරපු 'ද ගිටාර්' නිෂ්පාදනය කරලා තියෙන්නේ හේවර්ඩ් කොලින්ස් විසින්. තිර පිටපත ආමෝස් පෝ සහ ගිලන් හොවාර්ට් දෙදෙනා විසිනුයි. මේ සිනමාපටය තිරගත වුණේ 2008 නොවැම්බර් 07 වෙනිදායි. මෙලඩි වයිල්ඩර් ලෙස රඟන්නේ සැෆ් රෝන් බුරෝව්ස්. රොස්කෝ ලෙස රඟන්නේ අයිසැක් ඩි.බැන්කෝලේ. කුකී ගේ චරිතය රගපාන්නේ පැස් ඩි.ලා.හුරේටා යි. මේ සියල්ල අතරතුර මෙලඩි නිවෙස්වලට භාණ්ඩ රැගෙන එන්නෙක් වන රොස්කෝ සමඟ සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඒ වගේම පීසා රැගෙන එන කෙල්ලක වන කුකී සමඟත් ඈ සබදතාවයක පැටලෙනවා. මේ සම්බන්ධකම් දෙකම ඇගේ සාමාන්‍ය ජීවිතයේදී හිතන්නෙවත් නැති තරම් දේවල්. නමුත් මිය යන්න සුළු කාලයක් තියෙන ඈ ඒ ගැන හිතන්නෑ. මෙතෙක් ඈ විසින්ම දාගෙන හිටපු සීමා,මායිම් සියල්ලම සුණු,විසුණු කරමින් ඈ ජීවිතයේ තමන් ආසා කළ බොහෝ දේ කරන්න පටන් ගන්නවා. ඇගේ පෙනුමත් අලංකාර වෙනවා. කලින් හිටපු අපිළිවෙල මෙලඩි ලස්සන කාන්තාවක් බවට පත් වෙනවා. ඒ බොහෝ කාලයක් මුළුල්ලේ ඈ උපයාගත් මුදල් නිසයි. ඇගේ පිළිකාව නිසයි. ඇත්තටම සතුටින් ඉන්න,ආසාවක් ඇත්තක් කරගන්න මරණීය කැදවීමක්වත් අද කාලෙ මනුස්සයෙකුට වුවමනා වෙන බව යාන්තමින් මතු වෙමින් පවතිනවා. නමුත් හදිස්සියේම ඇගේ මුදල් අහවර වෙනවා. ඈ මරණයට වඩා තැති ගැනීමකට පත් වෙන්නෙ අන්න ඒ මොහොතෙයි. කාලය පිළිබද හැඟීමක් නිසා මෙලඩි කලබල වෙනවා. දැන් මොකක්ද වෙන්නේ? කුතුහලය පිරි යම් තැනකට මම ඔබව හිතාමතාම ඇදලා දානවා. මේ කියන්නේ වර්තමාන පාරිභෝගික සමාජෙ ආසාවන් යටපත් කරගෙන කොහොමින් හරි ජිවත් වෙන්න දගලන ඔබ ගැනයි. මෙලඩි කියන්නේ තවත් සංඥාවක් පමණයි. ඈ පාර පෙන්වන ඊතලයක් වගෙයි. ඔබට වෙන්න යන්නෙත් මේ වගේම දෙයක් කියලා නිකමට හරි හිතලා බලන්න කාලය ඇවිල්ලා. |
|