වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නුවන්ගි ලියනගේ යුග දිවියට

නුවන්ගි ලියනගේ යුග දිවියට

මනාලයා ප්‍රසන්න ජයවීර

නුවන්ගි ලියනගේ පසුගිය දිනෙක සරසවියට පැමිණියා. ඇගේ අතෙහි ආරාධනා පත්‍රයක් තිබුණා.

මං බඳීනවා. සරසවියට ඇරැයුම් කරන්නයි ආවේ.

ඇවිත් සිටි කාරණාව ඇය කිව්වේ හදපිරි සතුටින්.

ඉතිං කවුද ඔයාගේ මනමාලයා. කියන්නකෝ ඔහු ගැන විස්තර. මං තවත් තොරතරු ටිකක් ඇහැව්වා.

එයාගේ නම ප්‍රසන්න ජයවීර. වෘත්තියෙන් ක්‍රීඩා උපදේශකවරයෙක්. ඔහු තමයි ලංකාවට වුෂූ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ.

කොහොමද ප්‍රසන්න සහ ඔබේ මුණ ගැසීම සිද්ධ වුණේ?

බත්තරමුල්ලේ තිබුණු ඔහුගේ වුෂූ පංතියට මං ගියා. එතන්දියි දැන හඳුනගන්නට ලැබුණේ. හැබැයි මං එතන ඉගෙන ගන්න කාලයේදී ඔහු මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි. එතැනින් එහා ගිය කිසිදු දෙයක් අඩුම තරමේ වෙනස් ආකාරයෙන් මා දිහා බැලුවේවත් නැහැ. එතැනින් මං ඉවත් වූ පසුයි මේ සම්බන්ධය ඇති වුණේ.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

ප්‍රසන්න අයියාම තමයි. මං හා කියපු ගමන් ඔහු අපේ ගෙදර ඇවිත් අහලා ගෙදර අයගෙත් කැමැත්ත ගත්තා.

මොකක්ද ඔහුගෙන් ඔබ දුටු විශේෂත්වය?

කෙලින් වැඩ කිරීම, ඔහු හරිම අවංකයි. මගේ තාත්තා වගේම ඔහු මාව ආරක්ෂා කරනවා. ඒ වගේම මට පණ මෙන් ආදරෙයි. මං බලාපොරොත්තු වුණ ආදරය ඔහු ළඟ නොඅඩුව තියනවා.

කොහෙද, කවදද විවාහය සිද්ද වෙන්නේ?

දහ අට. ඒ කියන්නේ හෙට. රාජගිරිය සෝලිස් උත්සව ශාලාවේදියි විවාහය සිදුවන්නේ. හෙට ඒවි කියලා මගේ යාළුවෝ නෑදෑයෝ ගොඩක් මං බලාපොරොත්තුවෙන් සිටිනවා.

විවාහයෙන් පසුව කොහෙද ඔබ දෙපළ පදිංචි වන්නේ?

හෝකන්දර අලුත් ගෙයක් හැදුවා. එහෙට යනවා.

පසුගිය කාලේ විකාශය වූ තරු පිරි අහස නාට්‍යයේ ඔබ දර්ශන කිහිපයකදී කැමරාව ඉදිරියේ විවාහ වුණා. ඒක ප්‍රසන්න දැක්කද?

නැත්තං. එයා මුකුත්ම කිව්වේ නැහැ. ක්ෂේත්‍රය ගැන ඔහුට හොඳ අවබෝධයක් තියනවා. ඒක විතරක් නෙවෙයි මං රඟපාපු නාට්‍ය ගොඩක් ඔහු නරඹලා තියනවා.

හෙටින් පසුව ඔබේ ජීවිතයේ වැඩි ඉඩකඩක් පවුල් ජීවිතයට වෙන්වේවි?

ඔව්. රංගනය කරනවා. පවුල් ජීවිතයට මූලිකත්වය දෙනවා.

කොච්චර ආදරේ කළත් ප්‍රසන්න ඔබට එක් දෙයක් නිසා බනිනවා. ඒක ගැන කියන්න කැමතිද?

මං වැඩක ඉන්න කොට හරි එළියට ගියාම හරි ඔහුට කෝල් කරන්න අමතක වෙනවා. අන්න ඒකට තමයි ඔහු බනින්නේ. දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා මං.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

ප්‍රසන්න මට හොද මහත්මයෙක්. එ වාගේම මගේ අම්මට පුතෙක්. එවන් කෙනෙකු ලබන්න මං පින් කරලා තියනවා. මැරෙනකම්ම අපි දෙන්නා එකට ඉන්නවා.

එහෙම පවසමින් නුවන්ගි තවත් කාර්යන් රැසකට යන්න තියෙන හෙයින් සරසවියෙන් නික්ම ගියා. හෙට දිනයේ යුග දිවියකට පා තබන ප්‍රසන්න – නුවන්ගි යුවලට සරසවිය අපි උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරනවා.

නුවන්ගි දායක වී ඇති නිර්මාණ

ටෙලි නාට්‍ය :

කන්දෙ හන්දිය

නිල් අහස

අළුපාට හීන

රන් කෙණ්ඩිය

තරුපිරි අහස

සේපාලිකා, එක්ටැම්ගේ

චිත්‍රපට:

වෑකන්ද වලව්ව

මෑතකාලිනව වඩාත්ම ජනප්‍රිය වූ

චරිත – අළුපාට හීන නාට්‍යයේ

සුරංගි සේපාලිකා නාට්‍යයේ සරෝජනී

තරුපිරි අහස නාට්‍යයේ මයු