වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




කිම්ගේ පවුල් - අවුල

කිම්ගේ පවුල් - අවුල

සුරූපී අමෙරිකානු රංගන ශිල්පිනී, නිරූපිකා කිම් කාර්ඩෂියන් හා ඇගේ පෙම්වතා කාන්යේ වෙස්ට් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් මේ දිනවල පසු වෙනවා. එහෙත් කිම්ගේ සිත නොසන්සුන් කරන ගැටලුවකට ඇය මේ මොහොතේ මැදි වී සිටින බවයි වාර්තා වන්නේ. කිම් කාර්ඩෂියන් විවාහක කාන්තාවක්. ඇය විවාහ වී සිටින්නේ අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක ක්‍රිස් හම්ප්ෆ‍්‍රිස් සමඟයි. හම්ප්ෆ‍්‍රිස් කිම්ගේ දෙවැනි සැමියාය.

හම්ප්ෆ්‍රිස්ගේ කාර්යබහුල ක්‍රීඩා කාල සටහන සමඟ කිම් හට සැමියාගෙන් බොහෝ දුරස්ව කාලය ගත කරන්නට සිදු වුණා. ඒ අතරවාරයේයි ඇගේ වත්මන් පෙම්වතා කාන්යේ වෙස්ට් හා කිම් අතර හමුව සිදු වුණේ. කිම් මෙන්ම කාන්යේ ද ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පියෙක්.

කාන්යේ සංවිධාන කළ විලාසිතා සංදර්ශනයකින් පසුව දෙදෙනා පෙම්වතුන් වී තිබෙනවා.

වත්මන් සැමියා ක්‍රිස්ගෙන් හැකි ඉක්මනින් දික්කසාදය ලබා ගැනීම කිම්ගේ ඒකායන පැතුමයි. ඒ සඳහා වන නීතිමය කටයුතු පෙබරවාරියේ ආරම්භ වන අතර නඩුවාරය ජූනි දක්වා ඇදෙනු ඇති බව වාර්තා වේ. මේ කාලය වන විට කාඩෂියන්ගේ දරුවා මෙලොව එළිය දැකීම මෙන්ම, නීතියට අනුව වත්මන් සැමියා දරුවාගේ පියා ලෙස සැලකීමට ඇති ඉඩ නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටිනවා.


මනෝජ් පීරිස්ගෙන් අලුත් වැඩක්

නව පරපුරේ කැපී පෙනෙන සංගීත නිර්මාණ ශිල්පියකු වන විශාරද මනෝජ් පීරිස් පසුගිය දා අලුත් නිර්මාණයකට අත ගැසුවේය. ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තේමා ගීතය සදහා සංගීතය නිර්මාණය කිරීමයි.මේ ගීතය රචනා කරන ලද්දේ චූලානන්ද පෙරේරා යි.ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක වරයා වීම විශේෂයකි.එම ගීතය ගායනා කරන ලද්දේ එම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් වීම විශේෂයකි.පසුගිය ජනවාරි පළමුවැනිදා මුල් වරට එම ගීතය ආයතන පරිශ්‍රයේදී ගායනා කෙරිණ.


ක්‍රිස් – රොබ්ගෙන් ලොවට පණිවුඩයක්

‘ට්වයිලයිට්’ සිනමා පෙළ මෙන්ම, ඊටත් වැඩියෙන් ක්‍රිස්ටන් ස්ටුවර්ට් - රොබර්ට් පැටින්සන් පෙම් පුවත ජනපි‍්‍රය බව ලොවම දන්නවා. දෙදෙනා වෙන් වී ඇති බව දැනගැනීමෙන් ඔවුන්ටත් වඩා මේ දෙපළ ගැන දුක් වූ අති විශාල ප්‍රේක්ෂක පිරිසම ඊට සාක්ෂියක්.

නමුත් අලුත්ම ආරංචිවලට අනුව, දෙදෙනාගේ ප්‍රේමය එලෙසම පවතින බවයි පැවසෙන්නේ. නව වසර උදාවෙන්නට ආසන්නව තිබියදී දෙදෙනා ලන්ඩනයේ ප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක එකට සිටිනු ඔවුන්ට බෙහෙවින් ආදරය කරන රසිකාවියක් දැක තිබෙනවා. ඒ විතරක්ම නෙවෙයි, ළඟදී ක්‍රිස්ටන් අමෙරිකානු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. ‘මාධ්‍යයේ මං ගැන පළවෙන, ඇහෙන පුවත් ගැන මම කළකිරීමෙන් ඉන්නේ.’

ක්‍රිස්ටන් මෙහෙම කියනවා කොහොම වුණත් හොලිවුඩ් පුරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය, 2013 අවුරුද්ද ලබල ටික දිනක් ගත වුණත් මේ දෙදෙනා තවමත් එකට සිටිනු දැක නෙමැතිවීමයි. දෙදෙනාගේ පෞද්ගලික ජීවිතය අප්‍රසිද්ධ කරන්න මේ නව වසරේ ක්‍රිස්ටන් - රොබ් යුවළ තීරණය කර ඇති බව හොලිවුඩයෙන් සැල වෙනවා.


රුක්මණී ස්වර්ණ ගී සරණිය සමඟ සුජාතා විජේසේකරට, සීතා කුමාරිට සම්මාන

රුක්මණී දේවියගේ ජන්ම දිනය කේන්ද්‍ර කරගනිමින් අනුස්මරණ උළෙලක් සහ ‘ස්වර්ණ ගී සරණිය’ නම් වූ ගී ප්‍රසංගයක් මෙම මස 19 වැනිදා සවස 6.00 ට පිළියන්දල නගර සභා රංග ශාලාවේදී පැවැත්වේ.

රූපා ඉන්දුමතී, කාංචනා ප්‍රනාන්දු, සමන්ලතා හෙට්ටිආරච්චි, කුමුදුනී අධිකාරි, ලක්ෂිකා ෆොන්සේකා, හිරන්ති ඩයස්, දිමුතු නානායක්කාර, ලක්මිණි තිලකරත්න, කුමාරි සේනාරත්න, උර්සුලා උදුලාගම, නුවන් විජය ශ්‍රී, සිරිල් සුසන්ත, රමේෂ් උවයිස් සහ සූරියප්පෙරුම ප්‍රසංගයේ ගී ගයනු ඇත. සංගීතය සිතාරා සංගීත කණ්ඩායම මෙහෙයවයි. මෙහි කථනය මනුල සමරනායකගෙනි. නර්ථන වින්‍යාසය රුක්මණී දේවි කලා ආයතනයෙනි. මෙම උළෙලට සමගාමීව රුක්මණී දේවි අනුස්මරණ සම්මාන පිදීමක් ද සිදු කෙරේ. ඒ අනුව පැරැණි ජනප්‍රිය නිළියන් වූ සුජාතා විජේසේකර සහ සීතා කුමාරි එදින එම උපහාර සම්මානයෙන් පිදුම් ලබති.


කටුස්සා පාට වෙනස් කිරීම හා ලින්ඩ්සේ ලෝහාන්

ලින්ඩ්සේ ලෝහන්, ඇය වඩාත්ම ප්‍රසිද්ධ, මාධ්‍යයට හොඳ පුවත් මවන්නියක් නිසයි. මේ නිසාම ඇගේ ඇහිපිල්ලම් ගැසීමේ වෙනසක් පවා කොයි තරම් නම් අවධානයට ලක් වෙනවාදැයි අමුතුවෙන් කිව යුතුª නැහැ. ඇයගේ ඇඳුම – පැළඳුම, හැසිරීම, ජීවන රටාව ඇය වගේමයි, හරිම කලබලයි. මේ නිසා ලින්ඩ්සේගේ නම පුවත් මවන හැම වෙලාවකම පොලිස් කූඩුව, දඩ වගේ වචනත් ඇහෙන බව ඇය හොඳින්ම හඳුනන අය දන්නවා. මේ විදියට ඇය යළිත් වතාවක් හැමෝම පුදුම කළා.

අලුත් අවුරුද්දේ ලන්ඩනයේ ‘ෆැන්සි කොසෝමි’ අවන්හලට ගොඩ වැදුණු කවුරුත් වැඩිපුරම කතා කළේ එක දෙයක් ගැන. නැහැ නැහැ, 2013 අවුරුදු උදාවටත් වඩා එදා දවසේ කාගෙත් අවධානය තමන් වෙත යොමු කර ගන්න ලෝහන් මෙනෙවියට හැකි වුණා. වෙනදා වගේ නොවෙයි මෙයා හරිම චාම්, හැබෑවටම ලස්සනයි වැනි වදන් හැමෝගෙම මුවින් පිට වුණේ ලින්ඩ්සේගේ මේ අලුත්ම වෙනස ගැන ඒ තරම්ම පුදුම වී ඇති හින්දයි. ‘පෙරලුණු පිට හොඳයි’ කියමන මෙන් ලින්ඩ්සේගේ මේ පෙරළිය ඇයගේ යහපත පිණිස වේවා!


ටවර් සුබ සාධන අරමුදලට සක්කාය දිට්ඨි

ටවර් හෝල් රඟහල පදනමේ සේවක සුබ සාදක සංගමයට ආධාර පිණිස ‘සක්කාය දිට්ඨි’ වේදිකා නාට්‍යය හෙට මරදාන ටවර් රඟහලේ දී වේදිකාගත කෙරේ. එම්. එච්. ගුණතිලක විසින් රචිත ‘සක්කාය දිට්ඨි’ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ගේ අධ්‍යක්‍ෂණයකි.


නාට්‍ය ගීත ප්‍රසංගය ‘ගී රඟ සිරි’ 23 දා ලයනල් වෙන්ඩ්ට් හි

නාට්‍ය ගීතයේ හරසර පෙළහර ‘ගී රඟ සිරි’ නාට්‍ය ගීත ප්‍රසංගය ජනවාරි 23 වැනි දා ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්වේ.

1903 වසරේ දී වේදිකාගත වූ ජෝන් ද සිල්වා සූරීන් ගේ ‘සිරි සඟබෝ’ නාට්‍යයේ සිට ජයලත් මනෝරත්න ගේ ‘ගුරුතරුව‘ නාට්‍යය දක්වා සිංහල නාට්‍ය ඉතිහාසයේ වර්ෂ සියයකට අධික කාලයක් නියෝජනය කරන නාට්‍ය ගී ‘ගී රඟ සිරි’ ප්‍රසංගයට ඇතුලත් වේ.

ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, නිල්මිණි කෝට්ටේගොඩ, ෆර්නි රෝෂණී යන ශිල්පීන්ගේ හඬින් ගීතවත් වන මෙහි සංගීතය මෙහෙය වීම මහානාම වික්‍රමසිංහ විසිනි. සිරි සඟබෝ, වෙස්සන්තර, ශ්‍රී වික්‍රම, ධර්මාශෝක, පද්මාවතී, කාලගෝල, සිංහබාහු, නරි බෑනා, කුණ්ඩල කේශී, ගුරුතරුව, තාරාවෝ ඉගිලෙති, මනමේ, අන්දරේලා, හුනුවටයේ කතාව, රතු හැට්ටකාරී, සෙක්කුව, බෙර හඬ, ජසයා හා ලෙන්චිනා නාට්‍යවල ගීත සහ නාඩගම් ගී මෙහි ඇතුළත් වේ. යතේජා