වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සාමයේ පණිවිඩය, ලොවට ගැයූ අපේ කෙවිලිය.....

සාමයේ පණිවිඩය, ලොවට ගැයූ අපේ කෙවිලිය.....

තිස් වසක් පුරාවට අපේ මේ පුංචි රට වෙළා ගෙන තිබූ වියරු යුද ගිනිදැල් දැන් නිවී ගොස් අවසන්. අද අපේ මේ පින් බිම ඒ උදා වූ සාමයේ රන් අරුණැල්ලෙන් නැහැවිලා. පොපියන හදවත්වලින් උතුරා ගලන්නේ ඒ සාමයේ මල් සුවඳ.

යුද්දෙන් විනාශ වුණ ගම් බිම්, ගොඩනැගිලි, මංමාවත් ආයෙත් හදන්න, එහෙමත් නැතිනම් පිළිසකර කරන්න පුළුවන්. ඒත් යුද්දෙන් පෑරුණු හදවත් එහෙම ලෙහෙසියෙන් සුවපත් කරන්න බැහැ. ඒ බිඳුණු හිත් පුනරුත්ථාපනය කිරීමේ මහා සංස්කෘතික, අධ්‍යාත්මික අරගලයට පෙරමුණ ගත යුත්තේ විශේෂයෙන්ම අපේ රටේ කලාකරුවන්.

1917 ශ්‍රේෂ්ඨ එක්තෝබර් විප්ලවයෙන් පස්සේ නව රුසියානු සාහිත්‍යය ගොඩ නැඟුණේ ඒ විදිහට. ඒ විප්ලවයේ කැඩපත ටෝල්ස්ටෝයි කියා පසු කලෙක වී. අයි. ලෙනින් ප්‍රකාශ කරන්න ඇත්තේ ඒ නිසා වෙන්නැති.

රටක් ජාතියක් ඉදිරියට යන්න නම් පළමුව සාමය, දෙවනුව සාමය, තෙවනුවත් සාමය. රටක විතරක් නොවේ ලෝකයේ පැවැත්මටත් සාමය කියන්නේ අවශ්‍යම සාධකයක්.

ලෝකයේ සුන්දරම වදන ‘ආදරය’ නම්, වටිනාම වදන ‘සාමය’ කියලා මට හිතෙනවා. ඒක හරියටම දන්නේ යුද්දෙන් බැටකාපු, ජීවිතවලින් වන්දි ගෙවපු අපි වගේ මිනිස්සු විතරයි. විතරමයි.

සාමය හා මානව හිතවාදය උදෙසා නන් අයුරින් කැපවී සිටින ක්‍රියාකාරීන් අගයමින් පිලිපීනයේ ගුසී සාම පදනම මඟින් පිරිනමන ‘ගුසී’ සාම ත්‍යාගයකින් පිදුම් ලබන්නට අපේ ප්‍රවීණ, සම්මානනීය ගායිකා දීපිකා පි‍්‍රයදර්ශනී හට පසුගිය දිනෙක අවස්ථාව උදා වුණා. ඒ අගැයුම දීපිකාට, අපේ සංගීත ක්‍ෂේත්‍රයට විතරක් නෙවේ ඇත්තටම මුළු රටටම ආඩම්බරයක්. අභිමානයක්. දීපිකා මේ සාම ත්‍යාගය හිමි කර ගත්තේ ප්‍රාසංගික කලාව හා මානුෂීය සුබ සාධනය නම් අංශය යටතේයි. ලොව පුරා රටවලින් විසි දෙනකුහට විවිධ අංශයන්ට මේ සාම ත්‍යාග හිමි වුණා.

බොරලු ඇනෙන, පය රිදවන කටු කොහොළින් පිරි මාවතක සුභාවිත ගීතයේ රන් සලකුණ සොයා පියමං කරන අපේ කාලයේ ප්‍රමුඛ ගායිකාව ඇයයි. සඳ පහන් රැයකත්, හිරු ගිනි ගත් මද්දහනකත්, කුරුලු කූජන පිරි හිමිදිරියකත් අපට ඇගේ සුගායනීය ගී රාවයේ මිහිරෙන් එකවගේ සැනහෙන්නට පුළුවන්. ඒ ඇය ගීතයෙන් අපේ හදවතට වගේම බුද්ධියටත් අමතන නිසා.

මානව දයාව දෝරේ ගලන දීපිකා ගේ හද මඬළින් උපදින ඒ ගී රාවය ඇත්තටම සඳ එළියක් වගේ සෞම්‍යයි. ඒ සෞම්‍ය සඳ එළිය දිගේ සාමයේ රන් පලස මත මනුෂ්‍යත්වය දෝත දරා සෙනෙහසින් අත්වැල් බැඳ යන්නට ඈ අපට ඇරැයුම් කරනවා.

සාමයේ පණිවුඩය ගීතයෙන් ලොවට ගෙනගිය, හෙළ ගී ලොව මල් මානවිකාවිය...

මේ උණුසුම් සුබාශිංසන
නුඹටයි....
ඔව්.... නුඹටමයි....

‘ගුසී’ සාම ත්‍යාගයෙන් පිදුම් ලද ගීතය

මා තොටින් එන උතුරු සුළඟේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගේ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි ඔබ
ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුන
කෝ නුඹේ පොඩි යාළුවන්
දායාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත්
අත වනනතුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්න ද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්

ගේය පද – මහින්ද චන්ද්‍රසේකර

තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය – විශාරද දීපිකා ප්‍රියදර්ශනී

රූප රචනය – උපාලි ආරියසිරි