|
|
මං ටෙනීට බන්දුටත් සින්දු කියලා තියෙනවාබාචි අතීතාවර්ජනයක ඔහු අප හඳුනා ගන්නේ අපේ රටේ සංගීත කණ්ඩායම් අතර ප්රමුඛ නිත්‍ය ගායකයකු ලෙසටය. ප්‍රසංග වේදිකාව මත තමාගේ උපරිම ජවය යොදමින් කදිම ප්‍රාසාංගික චිත්‍රයක් මවන මේ තරුණයා උච්ච ස්වර පරාසයන් තමාට අවශ්‍ය පරිදි අවනත කර ගනිමින් ගැයූ ගී ඉමිහිරිය. බුදුනේ ජේසුනී ගීතය ඊට කදිම උදාහරණයකි. ප්‍රසංග වේදිකාවක සජීවීව තම හඬ මනාවට හසුරුවන මේ සුන්දර තරුණයා පසුගියදා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘අවසාන මොහොත මාගේ’ ගීතය සමඟිනි. දිනෙක ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනකදී නවකයකුට අදහස් දක්වමින් ඒ කතාබහට අපේ කතානායකයා ඈඳා ගත්තේ ඇෙඟන්ම සින්දු කියන කදිම ගායකයකු ලෙසට හඳුන්වා දෙමිනි. බාචි සුසාන් . . . ඔහු මේ දිනවල අප හමුවන්නේ චන්නකිනරාවී ගීතය සමඟිනි. තම දායකත්වය දක්වන නිර්මාණ එකිනෙකට වෙනස් රසයකින් ශ්රාවකයාට තිළිණ කරන්නට වෙහෙසෙන තාරුණ්‍යයේ ගී තරුව සමඟ කතාබහකි මේ. * බාචි . . . චන්නකින්නරාවී ළඟින්ම කතාබහ අරඹමු. මේ ගීතයට හොඳ ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය වසර හතරකට ඈතට දිව යනවා. කසුන් කල්හාරගේ ගීත අහන මට ඔහුගේ ගීතවල තිබෙන සංගීත රටාවන්වලට ආසාවක් ඇති වුණා. ඒ ගීතවල තිබුණු වෙනසට මං තදින්ම ඇලුම් කළා. ඒ ප්‍රියතාවය ඔහු ලවා ගීතයක් නිර්මාණය කරවා ගැනීම දක්වා මාව පොළඹවන්නට සමත් වුණා. මේ ආසාව හිතේ දරාගෙන දවසක් මං කසුන්ව හම්බ වෙන්න ගියා. මගේ කැමැත්ත ගැන මං කසුන්ට කිව්වා. අපි දැන හැඳිනගෙන තිබුණත් කසුන් සමඟ මෙවැනි කටයුත්තකට මුල පිරූ මුල්ම දවසේ ඔහු මගේ කැමැත්ත ඉටු කරන්න ඉතා ආසාවෙන් බාර ගත්තා. නිහතමානීව බාර ගත්ත ඒ කටයුත්ත පදවලින් අලංකරණය කළේ චරිත් සේනාධීර. ඔහුත් ඉතාමත් උවමනාවෙන් මේ කටයුත්තට එක් වුණා. කසුන් අතින් හරිම අලංකාර ඒ වගේම උච්ච ස්වර පරාසයක දිවෙන තනුවක් නිර්මාණය වුණා. ඒ වෙලාවේ මේ ගීතය මට කියන්න පුළුවන් වේවි ද කියලත් නොහිතුණා නෙවෙයි. ඉන් අනතුරුව සංගීත අධ්යක්ෂවරයාගේ මඟ පෙන්වීමට අවනත වෙමින් මා ගීතය ගැයුවා. මම ගැයුවේ කසුන්ගේ තනුවට මගේ ආරට. මගේ ආර්ට් එකට මං ගීතය ගයලා පටිගත කිරීම අහවර කරලා ඒ ගීතය මනාව රස විඳලා සුරක්ෂිතව තියා ගත්තා. මෙහෙමයි ඒ ගීතය බිහි වුණේ. හැමදාමත් මට උවමනා වෙලා තිබුණේ වෙනස් නිර්මාණ කරන්න මිසක් පෝලිමට ඒ නිර්මාණ එළි දක්වන්න නොවෙයි. ඒ නිසා වසර හතරක් ඒ ගීතය සුරක්ෂිතව තිබුණා. ඇත්තටම ඒ ගීතය හරහා වුණේ මගේ ආසාව ඉටු කර ගැනීම. කසුන් වගේම චරිත් නිහතමානීව මට ඒ ආසාව ඉටු කර ගන්නට අතදීම මට ඉමහත් සතුටක්. * හතර වසරකට පසුව කොහොමද මේ ගීතය එළි දුටුවේ? මගේ ‘අවසාන මොහොත’ ගීතය පසුගිය කාලේ ජනප්‍රියත්වයට පත් වුණා. ඒ ගීතය ජනතාව ඉතාමත් ආදරෙන් වැළඳ ගත්තා. ඉන් පසුව වෙනස්ම ආරක් ගත් මේ ගීතය රසිකයන්ට දිය යුතුයි කියලා මං හිතුවා. එහෙම හිතලා ගීතයට ආයෙත් හඬ එකතු කරන්න හිතාගෙන අහද්දී මට හිතුණා වසර හතරකට පෙර හඬින්ම මේ ගීතය තිබුණොත් හොඳයි කියලා. ඒ අනුව හතර වසරකට පෙර උපන් ගීතයම ප්‍රේක්ෂකයන්ට තිළිණ කළා. මේ ගීත දෙකේම රූප රචනය සඳහා වෙහෙසුණේ චමිල්. ඒ වගේම රූගත කළේ ධම්මික. ඔවුන් මේ ගීත ද්විත්වයේම ජනප්‍රියත්වයට කළ මෙහෙය අති විශාලයි. බොහෝ විට ගීතයක් ජනප්‍රිය වුණාම කතාබහට ලක් වෙන්නේ, ප්‍රසිද්ධියට පත් වන්නේ ගායකයා හෝ ගායිකාව විතරයි. ඒත් ඒ නිර්මාණය තුළ බොහෝ දෙනකුගේ වටිනා ශ්‍රමය එක් තැන් වෙලා තිබෙනවා. ධම්මික කියන්නේ අති දක්ෂ කැමරා ශිල්පියෙක්. ඔහු මේ ගීතවල ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් එක් කළා. මේ ගීතය අපි රූගත කළේ සිලාවතුරෙ. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා මං දැනගත්තේ එදා. අවසාන මොහාත ගීතයට පස්සේ එළිදක්වපු චන්නකින්නරාවී සාර්ථකයි කියලා ලැබෙන ප්‍රතිචාරවලින් මට තේරෙනවා. මට අවශ්‍ය මගේ ශ්‍රාවකයන්ට හොඳම දෙයක් දෙන්න. මං ලෝකෙට ඇවිත් තියෙන්නේ ජනතාව පිනවන්න. ලෝකයේ දියුණුවත් එක්ක ජනතාව ඉන්නේ හිතේ තෙරපෙන පීඩනයෙන්. සංගීතය තුළින් ඊට සහනයක් වෙන්නට පුළුවන්. මගේ රාජකාරිය තමයි ඒ. මම ඒ රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්.
ජනප්‍රියත්වය කියන්නේ බාචි ඇති නැති වෙන දෙයක්? ඔව්. ඇතැම් අයට තවත් අයකු ජනප්‍රිය වෙනවා බලන් ඉන්න බැහැ. මං හැමදාමත් හැමෝටම සෙනෙහස වපුරන කෙනෙක්. ඒ නිසා බාධක තිබුණත් මං ඒවා ඉතාමත් සංයමයෙන් මැඬ පවත්වා ගන්න දන්නවා. කවදාවත් කිසිම කෙනෙකුගේ හිත රිද්දන කෙනෙක් නෙවෙයි මං. ඒක හැමෝම දන්නවා. ඒ වගේම මං සල්ලි පස්සේ දුවන කෙනෙකුත් නෙවෙයි. සල්ලිවලට වඩා මට වටින්නෙ වැඩේ. වැඩේ හොඳ නං මට සල්ලි නැති වුණත් කමක් නැහැ. ඒ කියන්නේ මං සල්ලිකාරයෙක්, සල්ලි මට උවමනා නෑ කියන එක නෙවෙයි. දැන් හැම දේටම මුලට එන්නේ මුදල්. ඒත් මගේ ලැයිස්තුවේ අංක එකට තියෙන්නේ නිර්මාණයේ ගුණාත්මක බව මිස ඉන් ලැබෙන ගාණ නෙවෙයි. මං පුංචි දේවල්වලින් හරියට සතුටු වෙනවා. ඒ නිසා ලොකු බලාපොරොත්තු, ඉලක්ක මට නැහැ. * සංගීත කණ්ඩායම ගැනත් කතා කරමු. බාචි සුසාන් ප්රමුඛ ෆයර් පසුගිය කාලයේ ජනප්‍රිය වුණා. මේ වසරේ ඉඳන් අපේ තාලය ටිකක් වෙනස් වේවි. ජිප්සීස් සංගීත කණ්ඩායම වයද්දී අපට කියන්නට පුළුවන් මේ ජිප්සීස් කියලා. සන්ෆ්ලවර්ස්ලාට වෙනම ආවේණික හඬක් තියෙනවා. මේරියන්ස්ලාත් එහෙමයි. මං මේ ගත්තේ උදාහරණ කිහිපයක්. සන්ෆ්ලවර්ස් ලංකාවේ අලුත් නාදයක් නිර්මාණය කළා. ගෙදර සෙටප් එකේදී, ත්‍රීවිල් එකේ සෙටප් එකේ වගේම යන තැනක ඒ සංගීත රටාව අහන්නට හැකි වුණා. ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් සන්ෆ්වර්ස්ලාගේ තාල නාද අනුකරණය කළා. මං කියන්නේ වරදක් නොවෙයි. මට උවමනා වෙලා තිබුණේ වෙනම හඬක් සමඟ ගමනක් යන සංගීත කණ්ඩායමක් හදන්න. ඒක ක්‍රමානුකූලව ඉටු වුණා. ඉටු වෙමින් පවතිනවා. * රින්ගින් ටෝන්වලට ඔබටත් හොඳ ඉල්ලුමක් තිබෙන්න ඇති? ඇත්තෙන්ම බොහෝ දෙනෙක් අපේ ගෙදර ඇවිත් රින්ගින් ටෝන්වලට ගීත නිර්මාණය කරන්න කියලත් ඉල්ලුවා. මං පෞද්ගලිකව ඊට එකඟ වුණේ නැහැ. එහෙම කියලා රින්ගින් ටෝන් වැරැදියි කියලා මං කියන්නෙත් නැහැ. හිතන්න . . . ඉස්සර ආවා කැසට් රැල්ලක්. වැඩිම කැසට් විකිණෙන කෙනා තමයි ජනප්‍රිය. ඊට පස්සේ සී. ඩී. මේ වගේ කොච්චර පෙරළි වුණාද? අද අපේ නිර්මාණ කරන්න සල්ලි අවශ්‍යයි. ඒ සඳහා වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. මේ ක්‍රමය ඊට හොඳ විසඳුමක් වේවි. * ගායන ශෛලින්ගෙන් ඔබව කොහොමද වර්ග කරන්න ඕනේ? කිසිම වර්ගයකට දානවට මං කැමැති නැහැ. මං විවිධ නිර්මාණ කරන කෙනෙක්. තවමත් අපේම කියලා නිර්මාණයක් එළි දක්වන්න බැරි වීම ගැන මං හිතනවා. අපේ ජන ගී, අපේ සංගීත භාණ්ඩ යොදාගෙන හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. සිංහල කියන්නේ ලෝකේ ප්‍රබලම භාෂාව කියලා මං කියනවා. මේ භාෂාව යොදාගෙන හොඳ නිර්මාණ කරන්න පුළුවනි. මං එක තැනකට කොටු වෙලා ඉන්න ආස නැහැ. ඔබ ගීත ගයද්දී බොහෝ ශ්‍රමයක් වැය කරනවා? ඔව් . . . මට ඒ ගීතය ඇඟෙන්ම ගයන්න ඕනෑ. පහුගිය කාලේ ජනප්‍රියත්වයත් එක්ක බොහෝ ප්‍රසංග වේදිකාවලට ඇරැයුම් ලැබුණා. ඒවට ගියහම ගීත අට, දහය ගැයුවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට මාව අසනීප වුණා. ඇතැම් වෙලාවට මගේ හදවතේ රිද්මය පවා වෙනස් වුණා. මගේ හදවත වෙනත් රිද්මයකට මාරු වෙන කොට මට ඒක දැනෙනවා. වෛද්‍යවරු උපදෙස් දුන්නා කාලයක් විවේක ගන්නා ලෙසට. මං මේ ලෝකෙට ආවේ ජනතාව පිනවන්න. ඒ නිසා හැකි හැම විටකදිම මං මගේ රාජකාරිය ඉටු කරනවා. * ඔබ ජූලියා සඳහා ගැයූ සරත් සඳේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. චිත්‍රපට පසුබිම් ගායකයකු වෙන්න සැලසුමක් නැද්ද? ඇත්තටම දැන් අපි කතා කරන්නේ මගේ ආසම විෂය. චරිත් සමඟ ගැයූ සරත් සඳේ අතිශය ජනප්‍රිය වුණා. ඒ ගෞරවය මං රංග දසනායකයන්ට පුදනවා. ඔහු තමයි ඒ ගීතය චිත්‍රපටයට ගෙනාවේ. ඊට පෙර මං සුනිල්සෝම පීරිස් මහත්මයාගේ චිත්‍රපටවලට ගීත ගයලා තියෙනවා. ටෙනිසන් කුරේ මහත්මයා, බන්දු සමරසිංහ මහත්මයා වගේ අය ඉන්න විකට ජවනිකාවලටත් මං ගයලා තියෙනවා. හැබැයි ඒ මං කියලා කවුරුවත් දන්නේ නෑ. චිත්‍රපටයක සංගීතය අධ්‍යක්ෂණය කරන්න, ගීත ගයන්න ආසයි. හැබැයි හොඳ නිර්මාණයක. ජූලියාට පසුව බොහෝ චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ වැඩේ කෙරන්නේ නැති බව මට දැනුණා. මං කරපු ගීත ඇතැම් විට ගේ මරණයෙන් පසුව එළි දකීවි. අපි හැමදාම ඉන්න ආපු අය නෙවෙයිනෙ. කාගෙවත් හිත රිද්දන්නේ නැතුව ජනතාව පිනවන්න තියෙනවනං මගේ රාජකාරිය අකුරටම ඉටු වුණා වගේ තමයි. කලාකරුවෝ කියන්නේ දෙවියෝ වගේ උදවිය. |
|