වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ම ත ක පො ත

ම ත ක පො ත

ඒ. වී. එම්. ගේ සිංහල දොස්තර

මේ ඡායාරූපය සිංහල සිනමාවේ තිරගත වූ දොස්තර චිත්‍රපටයේ අවස්ථාවක්. මෙහි විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ චෙන්නායි හි අදටත් ප්‍රධානම චිත්‍රපට සමාගමක් වන ඒ. වී. එම්. සමාගමයි. එහි වයසත් අපේ සිංහල සිනමාවේ වයසටම සමානයි.

සිංහල සිනමාවට වසර 66 ක් සේම ඒ. වී. එම්. සමාගමත් වසර 66 සපිරුවා. ඒ. වී මෙයියප්පන් චෙට්ටියාර් විසින් තමයි මෙම චිත්‍රපට සමාගම බිහි කළේ. ඒ. වී. එම්. සමාගම විසින් දෙමළ, හින්දි, තෙළිඟු, මලයාලම් බසින් චිත්‍රපට රැසක් නිපදවූවා.

ඒ වාගේම ඔවුන් නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටයක් තමයි දොස්තර. මේ ඡායාරූපයේ සිටින්නේ එඩී ජයමාන්න සමඟින් සුරූපී නිළි කාන්ති ගුණතුංග. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ශංකර්. පසු කාලෙක ගාමිණී ෆොන්සේකා රංගනයෙන් එක් වූ නීල කඩලින් ඕරත්තිලෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් ශංකර් විසින්. අද එඩී ජයමාන්නයන් අප අතර නැහැ. කාන්ති ගුණතුංගත් විදේශයක. හැබැයි දොස්තර චිත්‍රපටයේ එන වාසනාවන්ත කල ලබා වැනි ගීතය අදටත් ජනප්‍රියයි.

විවාහයේ මල් නෙලා පළඳිමුකෝ

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ දෛව විපාකය චිත්‍රපටයේ අවස්ථාවක් තමයි මේ. එහිදී සේනාධීර කුරුප්පු සමඟින් ෂර්ලි බ්ලයිත් දෛව විපාකය චිත්‍රපටය අලංකාර කළේ මේ අයුරින්. සේනාධීර කුරුප්පු අද අප අතර නැතත් ෂර්ලි බ්ලයිත් යුරෝපා රටක පදිංචි වෙලා සිටින බව ආරංචියි. අද වන විට දෛව විපාකය චිත්‍රපටයේ පිටපතක්වත් ඉතිරි වෙලා නැති වුණත් එහි තිබෙන ‘සුරතලියේ සුකොමලියේ’ ගීතය නම් අදටත් හරිම ජනප්‍රියයි.

පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.