වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගාලු පුරේ කළුවර, සඳ නැති රෑක

ගාලු පුරේ කළුවර, සඳ නැති රෑක

තාප්පය උඩ ඉඳන් ලිව් පදයකි මේක

සිනමාවේ රස පිරුණු අත්දැකීම් සපිරි අර්නස්ට් වඩුගේ

පත්තර නම් වඩුගේ, වඩුගේ නම් පත්තර කියන තරමට මගේ ජීවිතය පත්තර හා සම්බන්ධ විය. පත්තරවලින් තොර ජීවිතයක් මට නොතිබුණ තරම්ය. මගේ ජීවිත කාලයේ මට සරසවිය වූයේ සරසවිය පුවත්පතය. මේ පත්තර සරසවිය පාස් වී මා පසු කලෙක සුපතල පත්තර ආයතනයක හිමිකාරයෙක් මෙන්ම පත්තර දහයක ප්‍රධාන කර්තෘවරයකු ද වීමි. එහෙත් අදටත් මගේ ආදරය ගෞරවය දිනා ඇත්තේ සරසවිය පුවත්පතය.

මට පත්තර කර්තෘවරයකු වන්නට අවස්ථාව ලැබුණේ සරසවිය පුවත්පත නිසයි. ඒ නොබිඳෙන ගෞරවය, ආදරය අදත් නිබඳව සරසවියට මා තුළ ඇත්තේ ඒ නිසාමය. මා පත්තරකාරයෙක් වූ කතාව ද හරිම අපූරුය. මේ ගමන සුන්දරත්වයෙන් පිරී ගිය ගමනක් මෙන්ම සිත් වේදනා, හිත් බිඳීම් ඇතිව අසුන්දරත්වය ද කැටි වූ ගමනක් විය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ පටන් මගේ බලාපොරොත්තුව වූයේ පත්තර වාර්තාකරුවකු වීමටයි. මට දුරින් නෑදෑයකු වූ ගාමිණී වින්සන් පත්තර වාර්තාකරුවකු ලෙස කටයුතු කිරීම ද මේ ආශාව තව තවත් දෙගුණ තෙගුණ කිරීමට හේතු විය. සාහිත්‍ය විෂයයට ද මගේ ඇල්මක් විය. එඩ්වින් ආරියදාස මහතා මගේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා වූ අතර අරිසෙන් අහුබුදු ශූරීන් එදා මගේ පාසලේ සිංහල සාහිත්‍ය ගුරුවරයා විය. පසු කලෙක මා ලේක්හවුස් පැමිණෙන විට මාගේ ඉංග්‍රීසි ගුරුවරයා වූ එඩ්වින් ආරියදාස මහතා නවයුගය පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා විණි. අරිසෙන් අහුබුදු ශූරීන් පිළිබඳ මගේ පුවත්පත්වල ලිපි පළ වූ අතර එතුමන්ගේ රුව කවරයෙන් ද සැරසුණි. මේ සිදුවීම් අහඹු මෙන්ම දෛවෝපගත සිදුවීම් විය.

එවක උසස් පෙළ සමත්වීම රැකියාවකට යාමට හොඳටම ප්‍රමාණවත් විය. ඒ අනුව ලිපිකරු රැකියාවකට ලැබුණු පත්වීමද මා නොසලකා හැරියේ පත්තරකාරයෙක් වීමේ සිහිනය නිසාමය.

ඒ යුගය සිනමාවේ ආකර්ෂණීයම යුගයයි. නළු නිළියන් සැබවින් දැක ගැනීමට, චිත්‍රපට නැරඹීමට තිබුණේ පුදුම උද්‍යෝගයකි. මේ නිසාම කොතැනකට හෝ නළුවෙක් හෝ නිළියක් පැමිණියා යන ආරංචිය ලද සැනින් ඔවුන් සොයා ගොස් සමරු සටහන් ගැනීම කා අතරත් තිබුණු සුලබ දෙයක් විය. සමරු සටහන් පිස්සුව මට ද වැලඳී තිබුණි. කිසියම් හෝ ප්‍රසංගයකට නළුවෙක්, නිළියක්, ගායක ගායිකාවක් පැමිණියහොත් ප්‍රසංගය බලනවා පමණක් නොව සමරු සටහන් ගැනීම ද මගේ පුරුද්දක් විය.

දිනක් ගාල්ල නගර ශාලාවේ ‘ගීත මිහිර’ නමින් ප්‍රසංගයක් සංවිධානය කොට තිබිණි. ඒ සඳහා එවක ජනප්‍රිය රැල්ලේ සිටි ජෝතිපාල, මොරිස් දහනායක, මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, රුක්මණී දේවි වැනි විශාල පිරිසක් ගී ගැයීමට පැමිණියහ. 3.30 මුල් දර්ශනය පොරකමින් නරඹා මගේ මිතුරු ධර්මසිරි වේහැල්ලත් සමඟ යළි ඊළඟ දර්ශනයට රිංගුවේ සමරු සටහන් ලබා ගත යුතුª නිසාමය. එහෙත් ඒ අවස්ථාව මහ සෙනඟ නිසා මට අහිමි විය. බලාපොරොත්තු කඩ වී නිවස බලා යාමට ශාලාවෙන් එළියට ආ අපි දෙදෙනාට ඒ අසල තාප්පයක් උඩ වාඩි වී ඉන්නා පුද්ගලයන් දෙදෙනකු අඩ අඳුරේ දකින්නට ලැබිණි. මා මිත්‍ර ධර්මසිරි එයින් එක් අයෙක් ජෝතිපාල බැව් හඳුනා ගත්තේය. ජෝති අයියා තාප්පෙ උඩ ඉන්නවා කියා ඔහු කෑගැසුවේය. අඩ අඳුරේ සිටි අනෙක් තැනැත්තා කරුණාරත්න අබේසේකරයන්ය. මා සමරු සටහන් පොත මුලින්ම දුන්නේ කරු අයියා අතටය. ඔහු කදිම කවි පද දෙකක් ලියා සමරු සටහනක් තැබුවේය.
 

‘ගාලු පුරේ කළුවර සඳ නැති රෑක

ත ාප්පය උඩ ඉඳන් ලිව් පදයකි මේක’

කරු අයියා ලියා දුන්නේය. ඉන් පසු මම සමරු පොත ජෝතිපාල අත තැබීමි.

‘මල්ලි තාම ඉගෙන ගන්නවද?’ ඔහු මගෙන් ඇසුවේය.

‘දැන් විභාගෙ ලියල ගෙදර ඉන්නේ’ මම පැවසීමි.

‘දැන් හොඳ ඉලන්දාරියෙක්නේ. රස්සාවක් කළොත් නරකද’ ජෝති අයියා ඇසුවේය.

‘මම පත්තරකාරයෙක් වෙන්න කැමැතියි ජෝති අයියා’ මම පැවසීමි.

‘මල්ලියො පත්තර කාරයෙක් නෙමේ. පත්තර කර්තෘ කෙනෙක් වෙන්න. එදාට මේ ජෝති අයියා ගැනත් ලියන්න හොඳේ’

ජෝතිපාල එසේ කියමින් මගේ පොතේ සමරු සටහනක් ලෙස ඔහුගේ අත්සන යෙදුවේය. දෛවය නම් ජෝති අයියා පැවසූ හැටියට එක පත්තරයක නොව පත්තර දහයක කර්තෘකම් දරන්නට මට ඉඩ සැලසුණි. එපමණක් නොව ජෝති අයියාග් ජීවිත කතාව ලියන්නට ද ලැබුණි.

සිනමා කලාකරුවන් කෙරෙහි මා සිත ඇදී ගියේ මටත් නොදැනීය. මේ අවධියේ දිනමිණ පත්තරයේ රඟමඬල කලා පිටුව චිත්‍රපට විචාර කලාවේ සුපතල නමක් දිනූ ජයවිලාල් විලේගොඩ මහතා අතින් සංස්කරණය විය. ලංකාදීප පත්තරයේ කලා පිටුව කරුණාසේන ජයලත් මහතා අතින් සංස්කරණය විය. මේ පත්තර දෙක සඳහා මා සිනමා පැනයන් යොමු කළේ ගිංතොට අර්නස්ට් කුමාර වඩුගේ නමිනි. විලේගොඩ හා ජයලත් ඒවාට උත්තර දුන්නේ හරි අපූරුවටය. මා මුල් වරට පත්තරවලට ලිව්වේ එහෙමයි.

විලේගොඩගේ රඟමඬල කොතරම් පාඨක ප්‍රසාදයක් දිනා තිබුණා ද කිවහොත් එය පළ වන සෑම බදාදාවකම දිනමිණ පත්තරය මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාවට වඩා වැඩිපුර පිටපත් තිස්පන්දහසක් පමණ මුද්‍රණය කරනු ලැබිණි. මගේ විනෝදාංශය වූයේ මේ පත්තරවලට තැපැල්පත් මඟින් ප්‍රශ්න ලියා එවීමය. ඒවාට පිළිතුරු ලැබුණු විට මා ලැබුවේ ඉමහත් ආශ්වාදයකි. ඇතැම් විටෙක මේ තැපැල්පත් තැපැල් නොකර කොළඹට පැමිණ ලේක්හවුස් ආයතනයට හා ටයිම්ස් ආයතනයට ද ගෙනවිත් බාරදීමට මම උත්සුක වීමි.

එවක කලා සඟරාවේ කර්කෘවරයා වූයේ ආරියරත්න කහවිටය. මා ෆිල්ම් ෆෙයාර් සඟරාව කියවා එහි ඇති නළු නිළියන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි කලා සඟරාවට ලියන්නට යොමුවීමි. මේ ලිපි පළ වූ පසු මා දිනක් කොළඹ පැමිණ කහවිට මහතා හමුවීමි. කලා සඟරාවට කුඩා ලිපි ලියන්නට කහවිට මහතාගෙන් මට අවසර ලැබිණි. මගේ මුල්ම ලිපි මාලාව වූයේ නළු - නිළි විනෝදාංශ පිළිබඳවය.

එහි මුල්ම ලිපිය ගාමිණී ෆොන්සේකා ගැනය. මේ ලිපිය කලා සඟරාවේ පළ වූයේ ගිංතොට අර්නස්ට් වඩුගේ නමිනි. පත්තරය නිකුත් වී වෙළෙඳ පොළට පැමිණි දවස මට අද වගේ මතකය. මම කලා පත්තර දහයක්ම මිලදී ගෙන ගෙදර ගෙනවිත් ඒවා බිම අතුරා රස වින්ද අයුරු අදත් මට මැවී පෙනෙන දෙයකි. මම එක එක පත්තරය මා හිතවත් කාට කාටත් ගෙන ගොස් දුන්නේ බලෙන්මය.

කොළඹ අවට පදිංචිව සිටි නළු නිළියන් හඳුනා නොගෙන මේ කටයුත්ත කිරීම අපහසු වූ හෙයින් මම මරදානේ ක්‍රවුන් සිනමාහල අසල ගරාජයක ලෑලි කාමරයක නතර වීමි. එය මට සොයා දුන්නේ මිතුරෙකි.