වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




රත්තරන් දුවත් එක්ක නැවත රඟපාන්න එනවා

රත්තරන් දුවත් එක්ක නැවත රඟපාන්න එනවා

ශිරාණි නුගේරා යළි සරසවිය අමතයි

70 දශකය අවසන් මොහොතේ සිනමාවට අවතීර්ණ වන නිළියක් ඉතාමත් කෙටි කාල පරාසයක් තුළ සීඝ්‍ර ජනතා ප්‍රසාදයක් දිනා ගත්තාය. ඇය 1985 වසරේ 13 වැනි සරසවිය සම්මාන උළෙලේ දී ජනප්‍රිය නැගී එන නිළිය ලෙස සම්මානයට පවා බඳුන් වූවාය. එහෙත් මැය 80 දශකය අග භාගයේ සිනමාවෙන් සමු ගැනීමට ක්ෂණිකව පෙලඹුනාය. යළිත් නව සහස්‍රයේ තම දෙවන සිනමා ගමන ඇරඹීමට අපේක්ෂා කරන මෙකීී පැරණි නිළිය ගෙවුන සතියේ අංක 223/17, සරස්වතී ගාර්ඩන්, හෝකන්දර දකුණ, හෝකන්දර යන ලිපිනය ඇති දෙමහල් නිවසේදී මුණ ගැසිණි. ඇය මුලින්ම පැවසූ වදන්වලින් අප සම්මුඛ සාකච්ඡාව ඇරැඹීම කාලෝචිත විය හැකිය.

‘අද මා ලබා සිටින ජනප්‍රියත්වයට මම සරසවිය පුවත්පතට සදා ණය ගැතියි. කලා ක්ෂේත්‍රයේ කිසිවකුට සරසවිය සමඟ අත්වැල් බැඳ මිස රසිකයන් අතරට යන්න බැහැ. කලා ක්ෂේත්‍රයේ හැමටම එක සමාන සේවයක් කරන එහි අමිල කාර්යභාරය එදාටත් වඩා අද විශිෂ්ටයි. තව තවත් ඔපවෙන සරසවිය කුමරිය පැරැදවීමට සමත් කලා පතක් මතු බිහි නොවන බවත් සිකුරුයි.’

* බොහෝම ස්තුතියි ඔබේ කෘතගුණ වදන් කිහිපයට. අපිට පළමුවෙන් ඔබේ පවුල් පසුබිම පවසන්න සතුටුද?

මගේ පියා යුද හමුදාවේ සාජන්ට් මේජර්වරයෙක්. නම ඇල්බට් විලියම් නුගේරා. මව ගැමි කාන්තාවක්. නම සමාවතී හෙට්ටිආරච්චි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය මම. තව බාල නංගිලා තුන්දෙනෙක් ඉන්නවා.

* ඔබ ඔබේ සම්පූර්ණ නම, ගම, පාසල, උපන් දිනය හෙළි කරන්න අසතුටුද?

උපන් දිනය 1957 නොවැම්බර් 06 වැනිදා. ඉපදුණේ බණ්ඩාරවෙල. සම්පූර්ණ නම ශ්‍රියාණි අයිරාංගනී නුගේරා. ඒත් නංගිලා කතා කළේ ලොකූ කියලා. අපේ ඥාතීන් රාණි කියා ආදරේට ඇමතුවා. පහු කාලයක ශ්‍රියාණි – රාණි සම්මිශ්‍රණය වෙලා ශිරාණි වුණා. මම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියක්. එහි පාසල් නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිත නිරූපණය කළා. අවසන්වරට ඉගෙන ගත්තේ නුගේගොඩ සමුද්‍ර දේවි විදුහලේ.

* ඔබේ සිනමා ගමන ඇරැඹෙන්නේ කිනම් ආකාරයෙන්ද?

අපේ පවුලේ හිතවතකුගේ මාර්ගයෙන් හර්බට් රංජිත් පීරිස්ගේ සිල්වා චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාන්න ලැබුණා. ඊට අවුරුදු හතරකට පමණ පසු ඔහුගේම ඇර සොයිසා චිත්‍රපටයේ විකට චරිතයක් රඟපෑවත් තවම මතකයි. සිල්වා රඟපෑ කාලයේම වීරකුමාර් පතිරාජගේ මැද ගෙදර කෙටි චිත්‍රපටයේ සෝමසිරි දෙහිපිටිය හා දෙනවක හාමිනේ සමඟ ප්‍රධාන චරිතය රඟපෑවා. ඔය අතරවාරයේ 1979 පමණ සරත් කැල්ලපත චිත්‍රපටයක් කළා සිහින සිතුවම් නමින්. එහි උප ප්‍රධාන චරිතයකට මාවත් තෝරා ගත්තා. ප්‍රධාන නළු නිළියන් අතර සබීතා පෙරේරා, විමල් හලන්ගොඩ සිටියා මතකයි. නමුත් සිහින සිතුවම් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බවක් දැනගන්න නැහැ.

* එතකොට ඔබව තිරයෙන් දුටු මුල්ම චිත්‍රපටය කුමක්ද?

මැද ගෙදර ඇතැම් විට සිල්වාට කලින් පෙන්වන්න ඇති. වෘත්තාන්ත සිනමාවෙන් ප්‍රේක්ෂකයින් මා දුටුවේ සිල්වා චිත්‍රපටයෙන් බවයි මගේ හැඟීම. ඒ 1980. ඔය අවුරුද්දේම ගාමිණී ෆොන්සේකාගේ මයුරිගේ කතාව පෙන්නුවා. එහි මම ගාමිණීගේ පළමු පෙම්වතිය.

* සිල්වා හා මයුරිගේ කතාවට පසු ඔබව රිදී තිරයට කැඳවාගෙන ආ චිත්‍රපට මොනවාද?

මම සැලකිය යුතු චරිත රඟපෑ මිල්ටන් ජයවර්ධනගේ සමාවෙන්න, ගාමිණී හේවාවිතාරණගේ සාරංගා හා දූ දරුවෝ, ඇන්ටන් ග්‍රෙගරිගේ කිරි සුවඳ හා මිස් මල්ලිකා, දයා විමලවීරගේ මිහිඳුම් සිහින හා දෙව්දුව, ප්‍රේමවීර ගුණසේකරගේ සමනළ සිහින, එස්. ඒ. ප්‍රේමරත්නගේ පරසතුරෝ, ජෝ මයිකල්ගේ වීර මද්දුම බණ්ඩාර, සුමිත්‍රා පීරිස්ගේ මායා, දයානන්ද ජයවර්ධනගේ බිරිඳ, යසපාලිත නානායක්කාරගේ ජය සිකුරුයි, තිලක් වේහැල්ලගේ පුතුනි මට සමාවන්න, සේන සමරසිංහගේ යළි හමුවන්නයි, ලෙනින් මොරායස්ගේ යුගයෙන් යුගයට යන චිත්‍රපට 1981 සිට 1987 දක්වා තිරගත වුණා. මීට අමතරව මිහිඳුම් සිහින දෙමළ දෙබස් කැවූ පිටපත පනි මලර්ගර් නමින් 1981 ප්‍රදර්ශනය කළා.

* ඔබට මුල් වරට ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබෙන්නේ මොන චිත්‍රපටය සඳහාද?

එම අවස්ථාව උදාවෙන්නේ 1983 සෝමවීර බෝපිටියගේ නිවන් දක්නා ජාති දක්වා චිත්‍රපටයෙන්. මෙය සිළුමිණ පත්‍රයේ කොටස් වශයෙන් පළ කෙරුණු දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක්. ජෝ මයිකල්ගේ රත්මලීගේ වාසනාව හා ධිවර සම්පත්, ධර්ම ශ්‍රීී කල්දේරාගේ මුතු මැණිකේ හා ගිම්හානේ ගී නාදේ මම කතා නායිකාව වූ තවත් චිත්‍රපට කිහිපයක්. මින් මුතු මැණිිකේ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණයක යෙදුණා. ධීවර සම්පත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ නැහැ. ධීවර ගමක සිදුවන මිනීමැරුමක් වටා රචිත මෙහි විජය නන්දසිරි, මානෙල් වානගුරු, ඉන්ද්‍රජිත් නාවින්න, දෙනවක හාමිනේත් රංගනයට එකතුව සිටියා.

* සිහින සිතුවම් හා ධීවර සම්පත් වගේ ඔබේ රංගන දායකත්වය රැගෙන තිරයට නොපැමිණි තව චිත්‍රපට එහෙම තියෙනවද?

මම ඉතාමත් බලාපොරොත්තු තබා සිටි චිත්‍රපටයක් තිලක් වේහැල්ලගේ කතරගම රූමතිය. රටක් හැඬ වූ ප්‍රේමවතී මනම්පේරි අමානුෂික ඝාතනය පසුබිම් කොට ගත් මේ ආශ්‍රිත නාට්‍යයේ එම චරිතයට ජීවය දුන්නේත් මායි. දර්ශන වාර 999 ක් පෙන්නූ එහි නිරුවත් දර්ශන සඳහා විශේෂිත ඇඳුමක් ඇන්දා. චිත්‍රපටයේ නම් මගේ කැමැත්ත මත මෙකී දර්ශන වෙනුවෙන් වෙනත් නිළියක් ආදේශ කළා. මෙහි සොමී රත්නායක, මර්වින් ජයතුංග, ජීවන් කුමාරතුංග, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, බී. එස්. පෙෙරේරා, නිහාල් සිල්වා සෙසු චරිත නිරූපණය කෙරුවා.

තවත් සත්‍ය සිදුවීමක් සහිත ධර්මසේන පතිරාජගේ සිර කඳවුර චිත්‍රපටයේ මාත්, ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, උපාලි අත්තනායක, අමරසිරි කලංසූරිය, විමල් කුමාර් ද කොස්තා රංගනයෙන් එක්ව සිටියා. ආදර චාරිකා අතරමඟ නැවතුන චිත්‍රපටයක්. අනෝජා වීරසිංහ, ඩග්ලස් රණසිංහ, රිත්මා තරංගනී, ශ්‍රීනාත් බස්නායක හා මම රඟපෑ මෙය ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ නවතම චිත්‍රපටයෙන් මගේ දෙවන සිනමා සම්ප්‍ර‍්‍රාප්තිය නුදුරු දිනක සිදු වෙයි. එල්. එම්. ජී. චිත්‍රපට සමාගම ඉදිරිපත් කරන මෙම චිත්‍රපටය දැනට රත්තරන් දුවේ කියා නම් කොට තිබෙනවා. මෙහි මට රඟපාන්න සිදු වන්නේ සනත් ගුණතිලක, සමාධි ලක්සිරි, මැණිකේ අත්තනායක, උද්දික ප්‍රේමරත්න එක්ක.

* ඔබේ පළමු සිනමා ගමනේ අවසන් රංගනය සිනමා තිරයේ සටහන් වන්නේ කුමන චිතුපටයෙන් ද?

1994 ප්‍රදර්ශනය කරන සුනිල් ආරියරත්නගේ අහස් මාලිගා චිත්‍රපටයෙන් වුවත් මෙය නිම කොට බොහෝ කාලයක් වෙනවා. මොන යම් හේතුවක් නිසා ප්‍රදර්ශනය ප්‍රමාද වෙමින් තිබුණා. මෙහි අයිතිය රෙක්ස් කොඩිප්පිලිගේ පුතා ප්‍රසන්න කොඩිප්පිලි මිලදී ගෙන පෙන්නුවා. සරසවිය සම්මාන උළෙලේ දී සුමිත්ත අමරසිංහට හොඳම කළු සුදු කැමරා ශිල්පි සම්මානය හිමි වුණා. ද ක්ලෙක්ටර් නම් ඉංග්‍රීසී චිත්‍රපට කතාව ඇසුරෙන් නිර්මාණය කළ අහස් මාලිගා කතාවම මීට කලින් 1985 ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ රැජින චිත්‍රපටයෙන් ද ඉදිරිපත් කොට තිබුණා. පුදුමය එකම කතාව රැගත් චිත්‍රපට දෙකේම ප්‍රධාන නිළිය මම. නළුවා අමරසිරි කලංසූරිය. මේක සිනමාවේ සිදුවුණ දුර්ලභ ගණයේ සිදුවීමක් වෙන්න පුළුවන්.

* සමු ගැනීමෙන් පසු ඔබ නැවත සිනමා රංගනයට පිවිසෙන්න විශේෂිත හේතුවක් තිබෙනවාද?

අපි කොයි කවුරුත් ජීවිත කාලය තුළ බොහෝ අනුවන තිරණ ගන්නවා. මම මගේ රංගන දිවියේ උච්චම ස්වර්ණමය සමයේ අතිශය පෞද්ගලික කරුණක් මූලික කර ගෙන සිනමාවෙන් ඉවත්වීමේ ක්ෂණික තීරණයක් ගත්තා. එවිටත් වාණිජ හා කලාත්මක චිත්‍රපට දහයකට පමණ ආරාධනා ලැබිලා තිබුණා. නමුත් එම පරිත්‍යාගයෙන් නිසි ඵල මට අත් වුණේ නැහැ. දැන් මට තේරුම් යනවා එදා මා ගත් තීරණය නිවැරැදි නැති බව. ඒ හින්දා මට ජනප්‍රියත්වයක් ළඟා කර දුන් සිනමා ලොවට යළිත් මා එනවා. මගේ උගත්, බුද්ධිමත් රජිව් පුතා පවා අද එය එක හෙලා අනුමත කරනවා. ඔහු තේ විධායක නිලධාරියෙක්.