වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




බිත්තියේ ඔළුව වැදිලා රූගත කිරීම් කල් ගියා

ඉනියවන් හි පිච්ච මල් කුමාරි හමුවෙමු

බිත්තියේ ඔළුව වැදිලා රූගත කිරීම් කල් ගියා

රිදී තිරයේ අලුත්ම කතා නායිකාව සුභාෂිනී බාලසුබ‍්‍රමනියම්

ඇය අපේ සිනාමාවට එක් වූ අලුත්ම කතා නායිකාවයි. අශෝක හඳගමයන්ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු ඉනියවන් චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය වර්තමානය වන විට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අතරෙ කතාබහට ලක්වන්නියක් බවට පත්ව ඇත.

විවිධ වූ අභියෝගතාවලට සාර්ථකව මුහුණ දෙමින් පළමු සිනමා කෘතියෙන්ම සුවිශේෂ වූ රංගන වපසරියක් තුළ සැරිසැරූ ඇය සුභාෂිනී බාලසුබ්‍රමනියම් ලෙස මම ඔබට හඳුන්වා දෙමි.

සුභා, ඉනියවන් හී රඟපානුයේ පිච්ච මල් කුමාරි හැටියටය. තමා ඇතුළු සියලු දේ අතහැර යුද වදින්නට ගිය පෙම්වතා නැවත පැමිණීමෙන් පසු මුහුණ දෙන ගැටලු දෝත දරා ජීවත්වන පිච්චමල් කුමාරී මේ වන විට සිංහල සිනමා නිම්නයට පිච්න මල් සුවඳ වපුරන්නියක් වී ඇති වග නොඅනුමානය.

ඉතින් තවත් බොහෝ දේ කතා කොට හඳුනා ගනිමු ඇයව.

සුභා, කොහොමද ඔබට ඉනියවන් හි පිච්ච මල් කුමාරි නිරූපණයට අවස්ථාව හිමි වන්නේ? මෙය ඔබගේ රංගන චාරිකාවේ ඇරැඹුම නේද?

ඔව්. මීට කලින් මං කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා නැහැ. මගේ හීනය වුණේ නිවේදිකාවක් වන්න. පුංචි කාලේ මගේ කේන්දරය බලා කෙනෙකු කියලා තිබුණලු කටහඬින් මං ලංකාවේ ජනප්‍රිය වන බවට. අම්මයි තාත්තයි හිතුවලු මං සිංදු කියයි කියලා.

කොහොම හරි මගේ හීනය මං සැබෑ කර ගත්තා. මේ වන විට වසන්තම් ටී. වී, සී. එස්. එන්, නේත්‍රා ටී. වී. සහ සී. සී. එෆ්. ටී. වී. (වෙබ් චැනල්) යන චැනල්වල නිදහස් නිවේදිකාවක් සහ හඬකැවීම් ශිල්පිණියක් විදිහට වැඩ කරනවා.

යා ටී. වී. ආයතනයට දිනක් මං ගියා ‘කන්නගිපුරම්’ නම් වූ ගුවන් විදුලි නාට්‍යයක හඬ කැවීම් කරන්න. එතෙන්දි මට වතීෂ් වරුනන් නම් වූ සහාය අධ්‍යක්ෂවරයකු මුණ ගැසුණා. ඔහු තමයි ඉනියවන් හී වැඩ කරන්න ඉඳලා තියෙන්නේ. ඔහු මට කතා කළා රඟපාන්න. මං ඇහැව්වා කාගෙද කියලා. අශෝක හඳගමගෙ කිව්වා. මාව එකපාරටම ගැස්සුනා.

ඒ මොකද?

ඔහුගේ චිත්‍රපට හරිම අමුතු ඒවනේ. සමහර ඒවා සුදුසු වැඩිහිටයන්ට පමණයිනේ. ඒකයි මං වතීෂ්ට මගේ තීරණය පස්සේ කියන්නම් කියලා ඔහුත් එක්ක ආයතනයෙන් එළියට ගියා. මෙන්න එතකොට අශෝක මහතාත් එතන.

ඊට පස්සේ මොකද වුණේ?

වතීෂ මං ගැන ඔහුට කියලා තිබුණලු. ඔහුත් මං නිවේදනය කරනවා දැකලා තියනවා. ඒ නිසා මාත් එක්ක සුහද වෙලා කතාබහ කළා. චිත්‍රපටය ගැන පහදලා දීලා සිතේ තියෙන බය නැති කෙරුවා.

අශෝක හඳගම කියන්නේ අමුතුම චින්තන ආකෘතියකින් හෙබි තැනැත්තෙක්. ඔහුත් සමඟ දර්ශන තලයේදී ගනුදෙනු කිරීම ඔබට දැනුණේ කොහොමද?

මා ඔහුගේ නිර්මාණ ගැන අසා තිබුණත් නරඹලා තිබුණේ නැහැ. ඒ වගේම ඔහු ගැන වුණත් දැනගෙන හිටියේ වටපිටාවේ අය කියු කතාවලින්. පසුව ඔහු මට හමු වී චිත්‍රපටය ගැන පැහැදීමක් ඇති කළත් දර්ශන තලයට යනකම් යම් චකිතයකින් මං හිටියේ. වැඩ කරන්න පටන් ගත්තට පස්සෙයි ඔහු කෙරෙහි නියම පැහැදීමක් ඇති වුණේ. එතැන් සිට මා ඔහුට කතා කළේ අශෝක සර් කියලා. මටත් නොදැනීම මගේ රංගනය මගෙන් ඔහු ගත්තා.

ඔබ සිනමාවට මෙන්ම රංගනයට ද ආධුනිකයි. ඒ වගේම පළමු සිනමා කෘතියෙම වැඩ කරන්න ලැබුණේ අශෝක හඳගම එක්ක. ඉනියවන් රූගත කිරීම් ඉවර වෙද්දී මොන වගේ අත්දැකීම් සමුදායක් ද ඔබ ජීවිතයට එකතු කර ගත්තේ.

පළමුව ඉගෙන ගත්තේ වෙලාවට වැඩ කිරීම. අට කිව්වොත් අටම තමයි. ඊට පසුව කැමරාවට මුහුණ දීම. රූපවාහිනියේ වගේ නෙවෙයි සිනමාවේදී අපේ පොඩි අඩුපාඩුවක් වුව ද තදින් පෙනෙනවා. රංගනය කියන්නේ දෙබස් කියවීම නෙවෙයි. ඒක මං ඉනියවන් රූගත කරද්දී හොඳට දැක්ක දෙයක්. ඩයලොග් නැතිව රඟපාන්න මං එහිදී දැනගත්තා. දවස් දහයයි ඉනියවන් ෂූට් කළේ. වසර ගණනාවක අධ්‍යාපනයක් ඉන් මං ලැබුවා.

පසුගිය කාලයේ ලාංකේය සිනමාවට යුදමය පරිසරයක කතාවන් කේන්ද්‍ර කර ගනිමින් තිර පිටපත සකස් කෙරුණු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය වූවා. ඔබට සිතෙන පරිදි ඉනියවන් ඒවායින් වෙනස් වන්නේ කෙසේද?

ප්‍රධානම වෙනස්කම දෙබස් අඩුවෙනුත් හැඟීම් ප්‍රකාශන වැඩියෙනුත් තිබීම. එයට අමතරව යුදමය වාතාවරණයකදී වුණත් යුද්ධයක් මෙහි පෙන්වන්නේ නැහැ. ඒවයි මට දැනෙන්නේ.

ඉනියවන් දමිල ප්‍රේක්ෂකයන් ඉලක්ක කොට ගත් චිත්‍රපටයක්. නමුත් එහි අධ්‍යක්ෂ සිංහල. ඔහුට පුළුවන් වුණා ද චිත්‍රපටය හරහා ඔවුන්ව ආකර්ෂණය කර ගන්න. ඔබ වටා සිටින දමිල ප්‍රේක්ෂකයන් මොනවද ඒ ගැන ඛ්ව්වේ?

ගොඩක්ම සෘනාත්මක අදහස් දැක් වූයේ. ඔවුන් කියනවා, චිත්‍රපටයේ හැටියට දමිල මිනිස්සුන්ට එරෙහිව වැඩ කරන්නේ දමිල මිනිස්සුම නිසා ඒක හරි නැහැ, සැබෑ ජීවිතයේදී එහෙම නොවෙන බවට. සමහර අය ඒ ගැන දොස් කිව්වා. හැබැයි මං පැහැදිලි කර දුන්නා මේක චිත්‍රපටයක් පමණයි කියලා.

ඔබේ රංගන හැකියාව ගැන සිංහල ප්‍රෙක්ෂකයන් මොකද කිව්වේ?

ගොඩක් හොඳ කිව්වා.

රංගනය පිළිබඳ ඇල්මක් ඇති වුණා ද ඉනියවන්වලින් පස්සේ?

සත්තකින්ම. දැන් හරිම ආසයි රංගනනයට.

චිත්‍රපටයේ තියනවා ඔබ බිත්තියේ ඔළුව ගහගන්න දර්ශනයක්. ඇත්තටම ඒක හරිම තාත්ත්විකයි?

ඔය කියන අවස්ථාවේදී නියම වැඩක් වුණා. බිත්තියට රෙජිෆෝම් කෑල්ලක් සවි කරලා ඒකට ආයේ බිත්තියේ පාට ගාලා හැදුවා. එතනටයි මගේ ඔළුව ගහ ගත්තේ. ඒකයි තාත්ත්වික. නියම වැඩේ මේකයි. පළමු ටේක් එකේදී මං රෙජිෆෝම් කෑල්ල තියපු තැනට නෙවෙයි ඇත්තටම බිත්තියටයි ඔළුව ගහ ගත්තේ. නලල ඉදිමුණා. දවස් දෙකකට රූගත කිරීම කල් ගියා.

ඉනියවන් ඔබ අමාරුවෙන්ම කළ දර්ශනය කුමක්ද?

ගිනි ගන්න ගස් දෙකක් මැදින් දුවන්න තිබුණා. දුවද්දී පය පැටලිලා මාව වැටුණා. මං හිතුවේ අශෝක සර් මට බනියි කියලා. දර්ශනය නතර කොට ඔහු අණ කළා ආයෙත් ගනිද්දී ඒ වගේම වැටෙන්න. කොහොම හරි හතර පාරක් එහෙම වැටෙන්න වුණා. අතපය සේරම තුවාලයි.

සුභාගේ නෑදෑකමක් තියනවා නේද ඉන්දියාවට? ඒ ගැනත් කියමු?

මගේ අම්මගේ අම්මයි, තාත්තයි ඉන්දියන් ජාතිකයෝ. තාත්තා ලංකාවේ.

ඉන්දියාවේ හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

කොහෙත්ම නැහැ. එහෙ හිටියා නම් මං ගෙදරට වෙලා තියෙන වැඩක්පළක් කරගෙන ඉඳීවි. ලංකාවේ හිටිය නිසයි කලාවෙන් මෙතරම්ම ඉදිරියට යන්න ලැබුණේ?

සුභා මේ වන විට ආදරවන්තියක්ද?

අනේ නැහැ. අම්මලා මට බඳින්න කෙනෙකුව හොයනවා.

ලංකාවෙන්ද, ඉන්දියාවෙන්ද?

අනිවාර්යයෙන්ම ලංකාවෙන්.

මොන වගේ සහකරුවෙක් ද සුභා බලාපොරොත්තු වන්නේ?

ජනමාධ්‍ය ක්ෂේතයේ නියැලෙන කෙනෙකු වඩාත් හොඳයි. මොකද එතකොට එකම ක්ෂේත්‍රයේ නිසා ප්‍රශ්න අඩුවේවි.

මේතාක් පැමිණි ගමනට කාටද ඔබට තුති පුදන්න තියෙන්නේ?

මගේ පවුලේ අම්මට තාත්තට, අයියට, මල්ලිට, අශෝක සර්ට, වසන්තම් ටී. වී. එකේ හැමෝටම. මට හිතවත් රොහාන් විජේරත්න පවුලට.