වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අමෙරිකාවේදී වාරණයට ලක් වූ ත්‍රාසජනක ජවනිකා

අමෙරිකාවේදී වාරණයට ලක් වූ ත්‍රාසජනක ජවනිකා

‘කැසිනෝ රෝයල්’ - CASINO ROYALE

‘කැසිමෝ රෝයල්’ ජේම්ස් බොන්ඩ් චරිතයේ නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් විසින් රචිත ප්‍රථම බොන්ඩ් නවකතාවයි. 1954 දී ඒ අනුසාරයෙන් සී. බී. එස්. සමාගම විසින් ටෙලි වෘත්තාන්තයක් ද 1967 දී කොලොම්බියා චිත්‍රපට සමාගම විසින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කරන ලදී. 2006 දී තුන්වෙනි වරටත් ප්‍රතිනිර්මාණය වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ බාබරා බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් විසින් ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම වෙනුවෙනි.

‘ඩයි අනදර් ඩේ’ චිත්‍රපටය දක්වා චිත්‍රපට 4 ක රඟපෑ පියර්ස් බ්‍රොස්නන් 50 විය සපිරූ හෙයින් තරුණ කඩවසම් නළුවකු බොන්ඩ් චරිතයේ රඟපානු දැකීම නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රාය විය. ඔවුන්ගේ මුල්ම අවධානයට හසු වූයේ ක්‍රොඒෂියානු නළුවකු වූ ගොරාන් විස්නික්ය. එහෙත් පරීක්ෂණයේදී ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය සතුටුදායක නොවීම ඔහුට අවස්ථාව අහිමි කිරීමට හේතු විය. නවසීලන්ත ජාතික කාල් අර්බන් ද අසමත් වූ හෙයින් ඉන්පසු කැඳවනු ලැබුවේ නව සුපර්මෑන් චරිතය රඟපාන හෙන්රි කාවිල්ය. බොන්ඩ් චරිතය සඳහා කදිමට ගැළපුණු එකම සුදුස්සා ඔහු වූ නමුත් පරහට හිටියේ ඔහුගේ වයසයි. වයස 22 බොන්ඩ් චරිතය සඳහා ලාබාල වැඩි යැයි තීරණය වූ හෙයින් ඔහුට ඉවත් වීමට සිදු විය. ඉන් පසු පැමිණි ක්ලයිව් ඕවන්, හියු ජැක්මන්, එවන් මැක් ග්‍රෙගර් සහ කොලින් ෆැරල් යන ප්‍රවීණ නළුවන් අතරින් ඩැනියෙල් ක්‍රේග් නම් නළුවා නවතම බොන්ඩ් චරිතය සඳහා තෝරා ගැනීමට තීරණය කෙරිණි.

ඇන්ජලිනා ජොලි සහ චාලිස් තෙරොන් ප්‍රධාන නිළි චරිතය වූ වෙස්පර් ලින්ඩ් ලෙස යෝජනා වු නමුත් බෙල්ජියානු නිළියක් වූ සිසිල් ඩි ෆ‍්‍රාන්ස් තිර පරීක්ෂණ සඳහා කැඳවන ලදී. එහෙත් ඇගේ අවාසියට හේතු වූයේ ඉංග්‍රීසි උච්චාරණයේ දුර්වලතාවයයි. ඔඩ්රි ටැටෝ ද පරීක්ෂණයන්ට යොමු කරන ලද අතර අවසානයේ සුරූපී ‘ඊවා ග්‍රීන්’ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගන්නා ලදී. ප්‍රධාන ප්‍රතිවාදී චරිතය හෙවත් ලී චිෆ්රි ලෙස රඟපෑවේ මෑඩ්ස් මිකල්සන්ය. ඔහුගේ පෙම්වතිය වැලෙන්සා ලෙස ඉවානා මිලිසෙවික් ද ඔහුගේ සගයා ලෙස ක්ලෝඩියෝ සන්තමාරියා ද චරිත නිරූපණයට එක් විය. මිස් මනිපෙනිගේ චරිතය මෙම චිත්‍රපටයට ඇතුළත් නොවූ අතර එම්. අයි. 6 රහස් ඔත්තු සේවා ප්‍රධානී ලෙස ජූඩි ඩෙන්ච් රඟපෑවාය. කැටරිනා මුරිනෝ නම් සුරූපිනියක් ද බොන්ඩ් සුරතලියක් ලෙස රංගනයට එක් විය.

නීල් පර්විස්, රොබට් වේඩ් සහ පෝල් හැගිස් ගේ සාමුහික තිර රචනයක් අනුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාටින් කැම්බල් විසිනි.

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර බෝම්බ නිෂ්පාදකවරයකු වූ ‘මොලාකා’ නැමත්තකු පසුපස බොන්ඩ් ලුහුබැඳ යන ක්‍රියාදාම දර්ශනයකින් චිත්‍රපටය ආරම්භ වෙයි. මෙම ජවනිකා රූගත වන්නේ මැඩගස්කර්හිදීයි. එහිදී මොලාකා බොන්ඩ් අතින් මිය යන අතර ඔහුගේ ජංගම දුරකථනයෙන් සොයා ගනු ලබන්නේ ප්‍රසිද්ධ බැංකුකරුවකු වන ඇලෙක්ස් ඩිමිට්‍රියොස් ගේ දුරකථන අංකයයි. මොහු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන හා සම්බන්ධ පුද්ගලයකු වන අතර එම සංවිධානයන්හි මහා පරිමාණ සමාජ විරෝධී කටයුතු සඳහා මුදල් හෙවත් ‘කළු සල්ලි’ ආයෝජනයේ යෙදන ලී චිෆ්රි ද එහි ප්‍රමුඛ පෙළේ ජාවාරම්කරුවෙකි.

බොන්ඩ් ඩිමිට්‍රියෝස් ලුහුබඳීමින් බහමාස් වෙත යන අතර ඩිමිට්‍රියෝස්ගේ සුරූපී බිරිඳ ‘සොලන්ගේ’ බොන්ඩ් සමඟ පෙමින් වෙළෙයි. ඇගේ සැමියා මියාමි වෙත පලා ගිය බව දැනගත් බොන්ඩ් වහාම මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යන්නේ ලී චිෆ්රිගේ සැලසුමක් අනුව ඔහුගේ අතවැසි කාලෝස් විසින් එහි ඇති ‘ස්කයිෆ්ලීට්’ ගුවන් යානය විනාශ කිරීමට ගන්නා උත්සාහය කඩාකප්පල් කර දැමීමටයි. බොන්ඩ් යානය බේරා ගන්නා අතර ගැටුමේදී ඩිමිට්‍රියෝස් මිය යයි. බලාපොරොත්තුª සුන්වීමෙන් දැඩි ආර්ථික අවපාතයකට පත්වෙන චිෆ්රි ණය බරින් නිදහස්වීමට ටෙක්සාස් හි කැසිනෝ රෝයල් නම් ප්‍රසිද්ධ සමාජ ශාලාව වෙත යන්නේ ඔට්ටු ඇල්ලීමෙන් විශාල මුදලක් දිනාගැනීම සඳහායි. මේ බව දැනගත් බොන්ඩ් ඔහුට එරෙහිව කැසිනෝ ක්‍රීඩාවේ යෙදීමට යන අතර ‘එම්’ විසින් ‘වෙස්පර් ලින්ඩ්’ නමැති සුරූපී මුදල් කලමනාකාරවරියක් අත ඔහුට අවශ්‍ය මිලියන ගණනක මුදල් එවයි. ලී චිෆ්රි සහ බොන්ඩ් අතර ප්‍රථම තරග වටයේදී බොන්ඩ් සියලු ඔට්ටු දිනා ගන්නා අතර චිෆ්රි ගේ පෙම්වතිය, වෙලන්කා බොන්ඩ්ගේ බීම වීදුරුවට වස මුසු කරයි. මරණාසන්න වන බොන්ඩ් ‘වෙස්පර්’ ගේ සහායෙන් දිවි ගලවා ගන්නා අතර අවසන් වටයේදී තරගය ජයග්‍රහණය කොට චිෆ්රිගේ මුදල් සියල්ල දිනාගෙන සියතට ගනියි. පැරදුනු චිෆ්රි වෙස්පර් ප්‍රාණ ඇපයට ගෙන බොන්ඩ් සතු මුදල් නැවත ලබා ගැනීමට උත්සාහ කරයි. එහෙත් ණය හිමියකුª ලෙස පෙනී සිටින වයිට් නැමැත්තකු විසින් චිෆ්රි ඝාතනය කරනු ලබයි. දිවි ගලවාගත් බොන්ඩ් වෙස්පර් සොයා වැනීසියට යයි. ඔවුන් ලුහුබැඳ යන වයිට් සහ ඔහුගේ සහචරයින් වෙස්පර් අත ඇති මුදල් පැහැර ගෙන ඇය දියේ ගිල්වා මැරීමට තැත් කරයි.

දිය යටදී ඇය බේරා ගැනීම සඳහා බලවත් සටනක යෙදෙන බොන්ඩ්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඇය මිය යයි. එහෙත් අවසානයේ ඇගේ ඝාතකයා වයිට් බව බොන්ඩ් අනාවරණය කර ගනී. ගිලන් වී ප්‍රතිකාර ලබමින් සිටින බොන්ඩ් වෙත පැමිණෙන වයිට් බොන්ඩ් අතින් මැරුම් කන්නේ අහිංසක වෙස්පර්ගේ මරණයට වන්දි වශයෙනි. චිත්‍රපටය අවසන් වන්නේ ඒ අයුරිනි.

2006 නොවැම්බර් 14 දා ලන්ඩන් ලෙසස්ටර් චතුරස්‍රයේ ඕඩියන් ශාලාවේදීත් එම්පයර් ශාලාවේදීත් පූර්ව දර්ශන උත්සවාකාරයෙන් ඇරඹුණේ එලිසබෙත් මහ රැජන සහ පිලිප් ආදිපාදවරයාගේ සම්භාවනීය සහභාගිත්වයෙනි. රාජකීයයන් ආරාධිත අමුත්තන් ලෙස මෙසේ සහභාගි වූයේ තුන්වෙනි වතාවටයි. චිත්‍රපටයේ නළු නිළි පිරිසට අමතරව මුදල් ගෙවා ප්‍රවේශ පත් ලබාගත් 5000 කට අධික ජනකායක් මෙම දර්ශන නැරඹීම සඳහා එක් රොක් විය. චිත්‍රපටයේ තිරගත කිරීම් අරඹා දින දෙකක් ගත වෙද්දී නීති විරෝධී ලෙස කොපි කරන ලද ඩී. වී. ඩී. තැටි විශාල ප්‍රමාණයක් ලන්ඩන් නගරය පුරා විකිණීමට තිබුණි. චිත්‍රපටයට අනුග්‍රහය දැක් වූ ප්‍රධාන වෙළඳ ආයතන වූයේ ෆෝඩ් මෝටර් සමාගම, හෙයින්කන් බියර්, ස්මර්නෝෆ්, ඔමේගා ඔරලෝසු වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය සහ සෝනි එරික්සන් සමාගමයි.

2006 වසරේ තිරගත වූ වැඩි ආදායම්ලාභී චිත්‍රපට අතුරින් 4 වෙනි ස්ථානයට පත් කැසිනෝ රෝයල් ලැබූ මුළු ආදායම ඩොලර් 599,045,960 ක මුදලකි.

2007 මාර්තු 16 දා කැසිනෝ රෝයල් චිත්‍රපටය ඩී. වී. ඩී සහ බ්ලූ රේ තාක්ෂණයෙන් වෙළඳ පොළට නිකුත් විය. එම මාර්තු 19 වෙද්දී බ්ලූ රේ පිටපත් 100,000 ක් සහ ඩී. වී. ඩී පිටපත් 1922,852 ක් අලෙවි කරන ලදී. ජේම්ස් බොන්ඩ් සුරතලියන් සහ ඩැනියෙල් ක්‍රේග් පෙනී සිටින ‘බොන්ඩ් ගර්ල්ස් ආ ෆොඑවර්’ නමැති වාර්තා චිත්‍රපටයක් ද මේ සමඟම නිෂ්පාදනය විය.

බෙහෙවින් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් නිපැයූ චිත්‍රපටයක් වන මෙහි බොන්ඩ් සහ සතුරන් අතර සිදුවුණ සටන් ලී චිෆ්රිගේ බිහිසුණු පළිගැනීම් ඇතුළත් ඇතැම් දර්ශන බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ අමෙරිකාවේදී වාරණයට ලක්කරන ලදී. එහෙත් සම්පූර්ණ චිත්‍රපටය ඇතුළත් බ්ලූ රේ සහ ඩී. වී. ඩී චිත්‍රපට පසුව බහුල ලෙස වෙළඳපොළට නිකුත් කෙරිණි.

බොහෝ විචාරකයින් ක්‍රේග් ගේ රඟපෑෑම් සහ ඊවා ග්‍රීන් ගේ රූපලාවණ්‍යය බොහෝ සේ අගය කළ අතර බොන්ඩ් සිනමාවලියේ සාර්ථක චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය වාර්තා අතරට එක්විය. ඩැනියෙල් ක්‍රේග්ගේ දෙවැනි බොන්ඩ් වික්‍රමය ‘ක්වාන්ටම් ඔෆ් සොලෙස්’ ලබන සතියේ.