|
අපේ චලන චිත්‍රයේ ආරම්භකයා අනගාරික ධර්මපාලතුමන් ද?
මෙරටදී මුල් වරට චිත්‍රපටයක් තිරගත කළේ කවදාද?
සිංහල චිත්‍රපටයේ ආරම්භය නැතහොත් ශ්‍රී ලාංකිකයන්ගේ පළමු චලන චිත්‍ර අත්දැකීම පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත එකිනෙකට පරස්පර වූ කාල වකවානු තුනක් පිළිබඳව ඇති සටහනකි. පළමුවැන්න ලේඛකයකු වූ ඩී. වී. සෙනෙවිරත්න මහතාගේ මතයයි. ඔහුගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ පළමුවරට චිත්‍රපටයක් පෙන්වන ලද්දේ 1901 දීය. දෙවන මතය 1903 දී යන්නයි. තෙවන මතය ඉදිරිපත් කරන්නේ සේවාර්ජිත මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන් විසිනි. ඔහුගේ තර්කයට අනුව 1903 දී මෙරට චිත්‍රපට ප්‍රදර්ශිත යැයි මතවාදයක් පැවතුන ද එකල චිත්‍රපට තිබුණේ නැත. එසේ වුව ද 1908 වන විට ලංකාව විශේෂයෙන්ම කොළඹ නගරයේ පිටකොටුව ප්‍රදේශය චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධව ප්‍රසිද්ධ ජනප්‍රිය මධ්‍යස්ථානයක් විය යන්නයි. ශ්‍රීී ලාංකේය චිත්‍රපට කර්මාන්තයේ 1947 න් පසු අවදිය පිළිබඳව තම ශාස්ත්‍රපති උපාධිය සඳහා Development of the Sinhala Cinema නමින් අධ්‍යයනයක් කරන රාණි සවරිමුත්තු මහත්මිය ශ්‍රීී ලාංකේය චලන චිත්‍රයේ ආරම්භය ලෙස තහවුරු කරන්නේ 1901 යන්නයි. ඉන්දියානු සිනමාවේ දහතුන්වන භාෂාව නමින් පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් සඳහා නිබන්ධයක් ලියන මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතාට අනුව සිංහල චිත්‍රපටයේ ආරම්භය සිදුවන්නේ 1903 දීය. මේ අනුව බලන කල ශ්‍රී ලාංකේය සිනමාව හා සම්බන්ධ විවිධ පර්යේෂණ කාර්යයන්හි යෙදුණු පරම්පරා හතරක විද්වතුන් උක්ත මාතෘකාව පිළිබඳව පර්යේෂණයන් හි යෙදී ඇත්තේ සිංහල සිනමාවේ සැබෑ ආරම්භය පිළිබඳ ස්ථිර මතයක පිහිටා නොවන බව පැහැදිලි වේ. ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය හා සෝවියට් රුසියාව ප්‍රාග් සිනමා අවදියෙහි කළ සකලවිධ පර්යේෂණවල ප්‍රතිඵල ලංකාවට ද ලැබුණු බව කීමට සාධක ඇත. විටාස්කෝප්, මැජික් ලන්තෑරුම, සිනෙමැටග්‍රාෆ් වැනි කවර පදයකින් හැඳින්වුවත්, නිශ්ශබ්ද සිනමාවට පුරෝගාමී වූ මේ යන්ත්‍රවලින් ශ්‍රී ලාංකිකයෙක්ද ප්‍රයෝජන ගත්තේය. 1873 දෙසැම්බර් 20 වන දා චාල්ස් කෲගර්ගේ විජ්ජා සහ පැනෝරාමා දර්ශනය කොළඹ නගර ශාලවේදී ආරම්භ විය. අසභ්‍ය භාවයෙන් ඈත් වූ මෙය ඕනෑම ශිෂ්ටයකුට නැරඹිය හැකි බව සඳහන් වීම විශේෂයකි. පියානෝ සහ බටනලා වාදන, සම්භාව්‍ය සංගීත ඛණ්ඩ වාදනය සහ ගායනා ද මෙම පැනෝරාමා දර්ශනය සමඟ ඉදිරිපත් කරන ලදී. මෙම දර්ශනවලදී විවිධ ජවනිකා කීපයක් තිරයක් මත මූර්තිමත් කිරීම් කරන ලද බව පෙනේ. එම දර්ශනයේදී චාල්ස් කෲගර් දැක් වූ ජවනිකා මාලාව මෙසේය. 1873 දෙසැම්බර් මස 18 වන දින THE CEYLLON TIMES නමැති පුවත්පතේ පළ කර තිබූ දැන්වීම. 1873 දෙසැම්බර් 23 වන දින කොළඹ නගර ශාලාවේදී ආරම්භ කරන ලද චාල්ස් කෲගර් ගේ විජ්ජා සහ පැන්ටස්මැගෝරියා දර්ශනයට ඇතුළත් ජවනිකා මාලාව 1. මෝසම් වැසි ආරම්භය, වලාවන් එක්රැස් වීම, භයානක ලෙස සුළඟ හැමීම, ගස් කොළන් භයානක ලෙස සැලීම, මහා වැස්ස 2. ගොඩබිමින් යුරෝපයට යන ගමන් මගෙහි ප්‍රධාන නැවතුම්පොළවල රමණීය දර්ශන ඉදිරිපත් කරන්නේ හැඳින්වීම් දේශනයක් ද සමඟය. 3. ළමා ඇඬිල්ලක සිට ආයලාගේ තර්ජන මාලාව සමඟ ළමා ප්‍රතික්‍රියා හඟවන ශබ්ද ධාරාව 4. ප්‍රංශ සහ පර්සියානු යුද්ධය, දේශනයක් ද සමග (THE CEYLON TIMES 1873. 12. 18) ප්‍රාග් සිනමා දර්ශනයක් ලෙස සැලකිය හැකි කෲගර්ගේ මෙම දර්ශන හඳුන්වා ඇත්තේ පැන්ටස්මැගෝරියා යන නමිනි. මුල් දවසේ මෙකී ලන්තෑරුම හරිහැටි ක්‍රියාත්මක නොවූ නිසා ප්‍රේක්ෂකයෝ නොසන්සුන්ව කෑගැසූ බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ. 1873 තරම් කාලයක ප්‍රක්ෂේපණ ලන්තෑරුමක් උපයෝගී කරගනිමින් පැන්ටස්මැගෝරියා නමින් ඉදිරිපත් කළ එම දර්ශනය ශ්‍රී ලංකා භූමියේ ප්‍රාග් සිනමා උපකරණයක් භාවිත කළ මුල් අවස්ථාවක් ලෙස අතීත වාර්තාවලට අනුව සැලකිය හැක. මෙරට ප්‍රථමවරට ප්‍රාග් සිනමා යන්ත්‍රයක් උදවු කරගෙන තම මතය ඉදිරිපත් කිරීම සඳහා මහජනතාව ඉදිරියට ගිය මුල්ම ලාංකිකයා අනගාරික ධර්මපාලතුමාය. බුද්ධගයා, බරණැස, කුසිනාරා හා කපිලවස්තුවේ දී තමන් දුටු බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිනිර්මාණය කර ලක්වැසියනට පෙන්වීම එතුමාගේ අදහස විය. එම අදහස කොතරම් සඵල වීද යත්, කළුතර, ගාල්ල, මාතර හා මහනුවර පවත්වන ලද රැස්වීම්වලින් එතුමා තම අරමුදලට රුපියල් දහසක් පමණ එකතුªකර ගත් බව පැරණි ලේඛනවල සඳහන් වී ඇත. 1883 චිකාගෝ නුවර පැවැත්වූ සර්ව ආගමික සම්මේලනයට ගිය ධර්මපාලතුමාට ප්‍රාග් සිනමාවට සම්බන්ධ අත්හදා බැලීම් ගැන අසන්නට දකින්නට අවකාශය ලැබී ඇත. යුරෝපය මේ වන විට චලන චිත්‍රය ගැන අත්හදා බැලීම් කරන අවදියයි. 1894 අගෝස්තු මාසයේ දී රට පුරා දේශනා සඳහා තම ගමන් කරත්තයෙන් (සෝබන මාළිගාවෙන්) ගිය එතුමා දේශනවලදී පෙන්වන්නට මැජික් ලැන්තෑරුමක් සමඟ ලුම්බිණිය, ශ්‍රී මහා බෝධිය, බරණැස, කුසිනාරාව යන මේ ආදී දඹදිව සියලුම බෞද්ධ පූජනීය ස්ථාන පෙන්වන චිත්‍ර ඵලක ද රැගෙන ගියේය. ප්‍රාග් සිනමාව හා සම්බන්ධව ක්‍රියා කළ එකම සහ පළමු ලාංකිකයා අනගාරික ධර්මපාලතුමා බව යැයි අප ඉදිරිපත් කරන තර්කය මෙම පර්යේෂණය හරහා තවදුරටත් තහවුරු වේ. ප්‍රාග් සිනමාවේ උපකරණ සමඟ ශ්‍රී ලංකාව ද අත්දැකීම් ලැබූ බව එලෙස තහවුරු වන අතර, 1896 වන විට ලොව පුරා ප්‍රධාන නගරවල චලන චිත්‍රයේ මුල් අත්හදා බැලීම් කෙරුණු අතර, ලංකාව පෙරදිග සමුද්‍ර මාර්ගයේ මධ්‍යස්ථානයක් වීම නිසා මෙරටට එවැනි යන්ත්‍ර සමඟ දර්ශන පෙන්වා මුදල් උපයන කණ්ඩායම් පැමිණියහ. මෙසේ පැමිණි පිරිස් පිටකොටුවේ මල්වත්ත පාරත්, විදුලි සංදේශ කාර්යාල මාවතත් අතර පිහිටි භූමියෙහි තාවකාලික මඩුවල මේ සියලු දර්ශන පවත්වා ඇත. ශ්‍රී ලාංකේය සිනමාව චලන රූප ඇතුළත් මුල්ම චිත්‍රපට ප්‍රයත්නය ලොවට හඳුන්වා දී දෙවසරක් ඇවෑමෙන් සිනමාව පිළිබඳ යම් පමණක අත්දැකීමක් විඳ ගැනීමට එකල කොළඹ නගරයේ විසූ ඉතා සුළු පිරිසකට වාසනාව උදා විය. චිත්‍රපටයක් නොව චලන චිත්‍රයේ ඉතා මූලික අවස්ථාවේ සිදු කළ කුඩා වාර්තා කීපයක් 1898 ජනවාරි 08 වන දින කොළඹ හුනුපිටියේ පබ්ලික් හෝල් නම් ශාලාවේ සිනෙමැටොග්‍රාෆ් නම් වූ යන්ත්‍රය භාවිත කරමින් තිරයක් මතට එම චලන රූප ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රියාවලිය ලංකා භූමිය තුළ ලාංකිකයන් අත් විඳී පළමු චලන චිත්‍ර අත්දැකීම ලෙස හැඳින්විය හැක. මෙය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ සිදු වූ තවත් එක්තරා සිද්ධියක් වශයෙන් වාර්තාගත කිරීමට වඩා ලාංකේය ජනමාධ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් එමෙන්ම ප්‍රබල සන්නිිවේදන මාධ්‍යයක් හඳුන්වාදීමේ මූලික පියවර ලෙස සටහන් කිරීම වඩාත් උචිත වේ. එම කරුණ තහවුරු කිරීමට ඇති ප්‍රබල සාධකයක් ලෙස ලෝක ප්‍රකට මැජික් ශිල්පියකු මෙන්ම විජ්ජාකරුවකු වන කාල් හර්ට්ස් විසින් ‘අ මොඩර්න් මිස්ට්රි මර්චන්ට්’ නමින් ඔහු විසින් ලියා ඇති තම ජීවිත කතාව හඳුන්වා දිය හැක. එම කෘතිය 1924 වසරේ ලන්ඩනයේදී ප්‍රකාශයට පත්කර ඇත. එහි සඳහන් වන අන්දමට 1896 මාර්තු මස 28 වන දින ලන්ඩනයෙන් නැව් නැග දකුණු අප්‍රිකාව බලා යන ඔහු එහිදී මැජික් සන්දර්ශන සහ සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය ආධාරයෙන් ලුමියේ සොහොයුරන්ගේ රූපගත කිරීම් එරට ජනතාව හමුවේ ප්‍රදර්ශනය කර ඇත. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සහ ඒ අවට සාර්ථක සංචාරයක් නිම කරන කාල් ඛ්ර්ට්ස් අනතුරුව ඉන්දියාවටත්, ශ්‍රීී ලංකාවටත් පැමිණ මැජික් සන්දර්ශන පැවැත් වූ බවට එම කෘතියේ සඳහන් වේ. එම කරුණ සනාථ කිරීම සඳහා දිය හැකි හොඳම උදාහරණය 1898 ජනවාරි 08 වන දින දිනපතා ප්‍රවෘත්ති නම් පුවත්පතේ පළ කර තිබූ ඇඩ්වින් ග්‍රිච් මහතාගේ නිගමනය පිට ලෝක ප්‍රසිද්ධ හර්ට්ස් මහතා විසින් පවත්වනු ලබන අද්භූත දේවල් දැක්වීම යන හිසින් පළ කර තිබූ පුවත්පත් දැන්වීමයි. 1898 ජනවාරි 08 වන දින ‘දිනපතා ප්‍රවෘත්ති’ නමැති පුවත්පතේ පළ කර තිබූ දැන්වීම අද්භූත දේවල් දැක්වීම ඇඩ්වින් ග්‍රීච් මහතාගේ නිගමනය පිට අද සෙනසුරාදා ද, සඳුදා සහ අඟහරුවාදාත් රාත්‍රී ලෝක ප්‍රසිද්ධ විජ්ජාකාර කාර්ල් හර්ට්ස් මහතා විසින් කොළඹ හුනුපිටියේ පබ්ලික්හෝල් නම් ශාලාවේදී ඉතා අද්භූත දේවල් දක්වනු ලැබේ මෙය ඉතා සඵල අන්දමට සිදු වූ බැවින් තවත් රාත්‍රී තුනක් මෙසේ වැඩිපුර පැවැත්වීමට නියම කර ගන්නා ලදීී. එක එක රාත්‍රී අමුතු පිළිවෙළ පත්‍ර නිකුත් කරනු ලැබේ. අද රෑ අද රෑ ජල ගැල්මෙන් පසු නෝවාගේ නැව ඉතා පුදුමාකාරයට දැක්වීම මෙය කවාදාවත් නුදුටු ඉතා අද්භූත පෙන්වීමකි සිනෝමැටග්‍රාෆ් යන්ත්‍රයෙන් එක එක රාත්‍රී අමුතු සිතුවම් ද දක්වනු ලැබේ ග්‍රීක් තුර්කි යුද්ධය පළමුවෙනි වරට අද රෑ දක්වනු ලැබේ. 1. ග්‍රීක් ඔත්තුකාරයකු වෙඩි තැබීම 2. තුර්කි යුද නැව (යුද කරන අන්දම) 3. ප්‍රිවිසාව 4. අන්තිම වෙඩිල්ල 5. මිනීමැරීම 6. නැල්සන්තුමාගේ මරණය 7. රන්ජීට් සිං කුමාරයා සහ ඉංග්‍රීසි ක්‍රිකට් ගසන්නෝ 8. ලෝකයේ තාරකා සිතුවම් තීස් නුවර මාර්දී ග්‍රාස් මෙය සිනෝමැටග්‍රාෆ් යන්ත්‍රයෙන් බොහෝ වේලා දක්වන ඡායාරූප 6000 ක් පමණ යුත් සිතුවමකි මෙය ස්ක්‍රීමේ වැටී විනාඩි 5 ක් තිබේ ඇතුල්වීමට අය කරන ගණන් රුපි 3, රුපි 2 රුපි 1 ඇපෝතිකරීස් සමාගමේ වෙළඳ ශාලාවේදී ප්ලෑනය බලාගත හැකි පස්වරු 8.30 ට දොරවල් අරිනු ලැබේ පස්වරු 9.00 ට ක්‍රීඩාව පටන්ගනු ලැබේ පස්වරු 11.30 ට ක්‍රීඩාව අවසන්වේ (දිනපතා ප්‍රවෘත්ති, 1898 ජනවාරි 08) මෙම නව අත්දැකීම විඳ ගනු පිණිස මහජනයාට පැමිණෙන ලෙස ආරාධනය කරමින් පළ කරන ලද එම දැන්වීමේ තවදුරටත් මෙය සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රයෙන් බොහෝ වේලා දක්වන ඡායාරූප හයදහසකින් පමණ යුත් සිතුවමක් බවත් එය ස්ක්‍රීමේ වැටී විනාඩි පහක් තිබේ යනුවෙන් ද සඳහන්කර තිබීමෙන් චලන චිත්‍ර සිතුවම් පෙළක් සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රයේ ආධාරයෙන් තිරයක් මතට ප්‍රක්ෂේපණය කර ඇති බව සනාථ වේ. මේ අනුව ශ්‍රීී ලංකා භූමිියේ පවත්වන ලද පළමු චලන චිත්‍ර දැක්ම මෙය බව උක්ත සාධකවලට අනුව නිගමනය කළ හැක. තව ද එදින එම චිත්‍ර අත්දැකීම අත්විඳී ප්‍රේක්ෂකයකු ඔහු ලද නවමු අත්දැකීම පිළිබඳ 1898 ජනවාරි 10 වැනි දින දිනපතා ප්‍රවෘත්ති නමැති පුවත්පතට ලියන ලද විචාරයක් ද මෙම පර්යේෂණයේ දී සොයා ගැනීමට හැකි විය. 1898 ජනවාරි 10 වන දින ‘දිනපතා ප්‍රවෘත්ති’ නමැති පුවත්පතේ පළ කර තිබූ විචාරය ලෝක ප්‍රසිද්ධ විජ්ජාකාර කාර්ල් හර්ට්ස් මහතාගේ විජ්ජා දැක්ම (අප වාර්තාකරු විසින් ලියා එවන ලදී) මෙම විජ්ජා දැක්වීම සඳහා පසුගිය සෙනසුරාදා රෑ හුනුපිටියේ පබ්ලික්හෝල් නම් ශාලාවට පැමිණුනෙමි. ගෑනු මහතුන් සහ පිරිමි මහතුන් පැමිණ සිටිනවා දුටිමු. මෙයින් පසු සිනෙමැටාග්‍රාෆ් නම් යන්ත්‍රයෙන් ග්‍රීක තුර්කි යුද්ධය, තුර්කි යුද නැව යුද කරන අන්දම, පර්සිකාරයෙක් අමනුෂ්‍යයින්ට භයවීමාදිය ඉතාම මවිතාකාරව පෙන්නුවේය. ජුබිලි පෙළහර දැක්වීම ඉතා ගරු වශයෙන් සහ මහත් අලංකාර අන්දමට තිබුණේය. අශ්ව හමුදා, පාබල හමුදා, මහාරාජනීන්ගේ රථය පිරිවරා ගෙන යන ආරක්ෂාකාර හමුදා, බෑන්ඩ් හමුදා, රජ, හිටු, ඇමති පවුල් දහස් ගණන්, රථ, ලක්ෂ ගණන් සෙනඟ, පුදුම සැරසිලි එංගලන්තයට ගොස් බැලුවා මෙන් දැකීමට තිබුණේය. මේ දැක්වීම පමණක් බැලීමට රුපියල් 100 ක් දුන්නත් කිසි කනගාටුවක් නැති බව එයින් ලැබෙන ඉගෙන ගැනීම සාක්ෂි දරනවා ඇත. පිටරට කෙරෙන යුදවල අන්දම සහ බියකරු ස්වභාව ද මැරෙන සංඛ්‍යාව සහ මැරෙන්නට ඔවුන් භය නැති අන්දම ද, යුද භූමියක සිට බලන්නාක් මෙන් දැකීමට පුළුවන් බව කියමු. මෙය බැලීමට යම් මුදලක් දී පැමිණීමෙන් ඒ මුදලට වඩා ප්‍රයෝජන හැඟීම් සහ නුවණ වැඩීම් ද සිදු වෙන බව ඇත්ත ලෙස කියමු. සිංහල පවුල් දෙකක් තුනකට වඩා මෙහි නොසිටීම කනගාටුවකි. මෙකී සෙල්ලම බැලීමට සිංහල පවුල් යාමෙන් තම තමන්ගේ ගේ දොර හසුරුවා ගැනීම්, නොයෙක් රටවල පවතින සිරිත් විරිත් ආදිය දැනගැනීමෙන් මහත් ප්‍රයෝජන අත්පත්කර ගැනීමට පුළුවන් බව මනාව ඔප්පු වෙන්නේ සැබවින්ම අපගේ පැමිණීමෙන් මහත් ප්‍රයෝජන අත්පත් වූ බව කියමු. සිංහල පවුල් මෙහි පැමිණ ගත යුතු ප්‍රයෝජන ලබනවා ඇතැයි විශ්වාස කරමු. (දිනපතා ප්‍රවෘත්ති 1898 ජනවාරි 10) මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී 1898 තරම් කාලයේ සිටම චලන චිත්‍රයේ මූලික සේයාවන් සහිත අත්දැකීම් ලාංකිකයින්ට විඳ ගැනීමට ලැබී ඇති බව තහවුරු වේ. මෙය සනාත කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් ප්‍රධාන සාධකයක් වනුයේ චලන චිත්‍රයේ නිර්මාතෘවරුන් වන ලුමියේ සහෝදරයන්ගේ නිල නියෝජිතයා වූ මේරියස් සෙස්ට්යර් විසින් සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය අලෙවි කිරීම සඳහා ප්‍රංශයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා ගිය ගමන පිළිබඳව ඔහු විසින් තබා ඇති දින පොත් සටහනයි. ඔහුගේ මේ ගමනේදී සිදු වූ තවත් එක් ප්‍රධාන සංසිද්ධියක් ලෙස 1897 ජූලි මස 07 වැනි දින මුම්බායි නගරයේ වොට්සන් හෝටලයේදී සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය භාවිත කරමින් පවත්වන ලද චලන චිත්‍ර අත්දැකීම හඳුන්වා දිය හැක. එය ඉන්දියානු භූමියේ පවත්වන ලද පළමු චලන චිත්‍ර දැක්ම ලෙස වාර්තා අතරට එක් වී ඇත. සෙස්ට්යර් ලුමියේවරුන් ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය අලෙවි කිරීම සඳහා ලොව පුරා කරන ලද සංචාරය අතරතුර ඔහු ඔහුගේ බිරිඳ වන මාරි ලුයිස් සෙස්ට්යර් සමඟ ශ්‍රීී ලංකාවට පැමිණ නැවතත් ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් නැව් නැග ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගිය ගමන පිළිබඳ වාර්තාවක් 1898 සැප්තැම්බර් මස 17 වන දින ඔස්ට්‍රේලියාවේ පළ කළ ‘ද සිඩ්නි හෙරල්ඩ්’ පුවත්පතේ හතරවන පිටුවේ නාවික ගමන් පිළිබඳ සඳහන් කොලමේ සඳහන්ව ඇත. මොරිස් සෙස්ටර්ගේ ශ්‍රී ලංකා ආගමනය හුදෙක් සංචාරයක් පමණක් නොව සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය අලෙවි කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම සඳහාම පැමිණීමක් ලෙස සඳහන් කිරීම යුක්ති යුක්ත වේ. 1896 ජූනි මස 11 වන දින ප්‍රංශයේ මාසෙල්ස් වරායෙන් නැව් නගින ඔහු ඉන්දියාව බලා පැමිණෙන්නේ 1896 ජූනි මස 30 වන දින වන අතර ඉන්දියාවේ මුල්ම චලන චිත්‍ර දැක්ම සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රයේ ආධාරයෙන් මේරියස් සෙස්ට්යර් සිදු කරනු ලබන්නේ 1896 ජූලි මස 07 වන දිනදීය. 1896 ජූලි 07 වන දින සිිට අගෝස්තු මස 16 වන දින දක්වා සති පහක කාලයක් ඔහු ඉන්දියාවේ මූම්බායි නගරයේ වොට්සන් හෝටලයේ සහ නවල්ටි තියටර් වැනි ස්ථාන කීපයකම චලන චිත්‍ර ප්‍රදර්ශනයේ නිරත වී ඇත. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව බලා යන ගමනේ ඊළඟ නැවතුම ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බව සන්ඩේ මෝර්නිං පුවත් වාර්තාව අනුව තහවුරු වේ. මේ අනුව මුලින්ම මොරිස් සෙස්ටර්ගේ මූලිකත්වයෙන් ඇරඹෙන සිනෙමැටොග්‍රාෆ් ප්‍රදර්ශනය දෙවනුව කාල් හර්ට්ස්ගේ අනුග්‍රහයෙන් 1898 දී පමණ මෙරට ස්ථාපිත වූවා යැයි පැවසිය හැක. ලංකේය සිනමාවේ ආරම්භක පසුබිම ගැන කරුණු අධ්‍යයනය කරන විට 1898 ජනවාරි 08 වැනිදා සිදුවීම ප්‍රබල ඓතිහාසික සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි අතර මෙම සිදුවීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ සිදු වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය. නැවතත් චලන චිත්‍ර අත්දැකීමක් පිළිබඳ ලිඛිත සාධක මත කරුණු තහවුරු කිරීමක් කර ගත හැකි වන්නේ 1901 දී පමණය. මෙම තිරගත කිරීම අතිශය පෞද්ගලික වූවක් විය. එවකට ලංකාවේ ආණ්ඩුකාර ධූරය හෙබ වූ වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමාගේ මූලිකත්වයෙන් පැවැත් වූ මෙම චිත්‍රපට දර්ශනය ආරාධිත ඉහළ පෙළේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන් ද, ඉංග්‍රීසි උගත් ඉතාමත් සීමිත ලාංකික ප්‍රභූන් පිරිසකට සීමා විය. ප්‍රදර්ශනය කෙරුණේ කෙටි වාර්තා චිත්‍රපට තුනකි. දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයේ ජයග්‍රහණයන් ඇතුළත් වාර්තාව මුලින්ම ප්‍රදර්ශනය විය. ඉන් පසුව වික්ටෝරියා මහ රැජිනගේ රාජකීය අවම¼ගුල් උත්සවයත්, එංගලන්තයේ හත්වැනි ඩේවිඩ් රජතුමාගේ මෞලි මංගල්‍යය ඇතුළත් වාර්තා පට මෙම තිරගත කිරීමට ඇතුළත් විය. මෙම අපූර්ව සිදුවීම කොළඹ කොටුවේ චැතැම් වීදියේ, වර්තමාන පැගෝඩා ආපන ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ සිදු වූවකි. එදා එය සිනමා ශාලාවක් නොවූවත් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සූදානම් කරගත් ස්ථානයක් විය. ආණ්ඩුකාරතුමාත් එතුමාගේ ආර්යාවත් එම අවස්ථාවට සහභාගි වූ බව වාර්තාවේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් නව මාධ්‍යයක ආරම්භයට මූලික අඩිතාලම මෙලෙස සකස් වුවත් එය රටේ පොදු මහජනතාවගෙන් දුරස්ත බවක් පෙන්නුම් කළේය. ඉන් පසුව ද මෙම ස්ථානයේ විටින් විට මෙවැනි වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලැබූවත් එය ඉහළ පෙළේ බ්‍රිතාන්‍ය නිලධාරීන්ටත්, වංශවත් ඉංග්‍රීසි ජාතිකයන්ටත් ඔවුන් ඇසුරු කරන ලාංකික ප්‍රභූන් කීප දෙනෙකුටත් සීමා විය. මෙම නව තාක්ෂණික විනෝද මාධ්‍යය කෙරෙහි රටේ පොදු ජනතාවගේ අවධානය යොමු නොවීම පුදුමයට කරුණක් නොවන්නේ, එම අවස්ථාවට සම්බන්ධවීමට ඔවුනට ඉඩ ප්‍රස්ථා මුල් කාලයේදී ඇහිරී තිබුණු හෙයිනි. චලන චිත්‍රය ලොවට හඳුන්වා දී ඉතාමත් සුළු කාලයක් ඇතුළත ඒ පිළිබඳ මූලික අත්දැකීමක් විඳ ගැනීමේ අවස්ථාව ලංකාවට ලැබුණත් එයින් ප්‍රතිඵලදායක වාතාවරණයක් මුල් වසර දෙක තුන ඇතුළත ඇති නොවුණේ මේ රටේ මහජනයාගේ විනෝද මාධ්‍යයන් පිළිබඳ වැඩිපුර අවධානය වෙනත් අංශ කරා යොමු වී තිබීම ද තවත් එක් කරුණක් ලෙස සඳහන් කළ හැකිය. පසුබිම් වාතාවරණය මේ අයුරින් පවතිද්දී බයිස්කෝප් නැතිනම් චිත්‍රපටය කෙරෙහි රටේ සාමාන්‍ය ජනතාවගේ අවධානය යොමුවීම ඔවුන් ඒ කෙරෙහි උනන්දුවක් දැක්වීම කුමන ආකාරයකින් ඇරඹුණේදැයි සොයා බැලීම වැදගත්ය. චලන චිත්‍රය සම්බන්ධව අපරදිග ලෝකයේ සිදු කෙරුණු සකලවිධ අත්හදා බැලීම්වල ප්‍රතිඵල කොළඹ නගරයේ විසූ ප්‍රේක්ෂකයන්ට ද නැරඹීමට අවස්ථාව ලැබුණු අතර, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු චිත්‍රපට සමාගම්වල චිත්‍රපට ද මෙරට ප්‍රදර්ශනය කරන ලද බව පෙනේ. මේ සියල්ලම 1947 ට පෙර ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයක් බිහි කිරීම සඳහා සකස්වුණු පසුබිමත් ප්‍රයත්නයත්ය. 1903 දී මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය කර නොමැති යැයි සඳහන් මතයට ඔබ්බෙන් 1901 දී චිත්‍රපටයක මූලික ලක්ෂණ සහිත සංදර්ශන පෙළක් එකල ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ප්‍රදර්ශනය කර ඇති අතර 1901 ටත් පෙර සිටම අප රටවැසි ප්‍රේක්ෂකයෝ ඇමරිකාවේ සහ යුරෝපයේ චිත්‍රපට කලාව සම්බන්ධයෙන් සිදු වුණු සකලවිධ අත්හදා බැලීම්වල ප්‍රතිඵල මීට පෙර කලක සිට එනම් එම අත්හදා බැලීම්වලට සමගාමීව මෙරටදී අත් විඳි බවත්, 1898 ජනවාරි 08 වැනි දින කොළඹ හුනුපිටියේ පබ්ලික්හෝල් නමැති ශාලාවේ සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය භාවිතයෙන් රූප පෙළක් ප්‍රක්ෂේපණය කරමින් පවත්වන්නට යෙදුණු දර්ශනයත් සමඟ චලන චිත්‍රය හෙවත් චිත්‍රපටය (සිනමාව) ශ්‍රී ලාංකේය භූමිය මත ස්ථාපනය වූ බව අපගේ නිගමනයයි.
|