වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් දෙස හැරී බලමු

බොලිවුඩ් දෙස හැරී බලමු

ලාබ, පාඩු ලබපු හින්දි

2012 වසරේ බොලිවුඩ් සිනමා තිරය වැසී ඇත. 2013 වසරට නව තිරයක් ඇරී තිබේ.

එහෙත් වැසුණු තිරයේ සොඳුරු මතක මෙන්ම අඳුරු මතක ද අපේ දෑස් ඉදිරිපිට මවන දසුන් කෙසේ නම් මතකයෙක් බැහැර කරන්න ද? එය 2013 වසර හා අත්වැල් බැඳගෙන සිටින්නේ ගසට පොත්ත මෙනි.

* කාසි මලු වැස්ස වූ හොඳම ධන උල්පත් දහය

2012 වසර බොලිවුඩ් සිනමාපට වැඩි ගණනක් ඉහළම ආදායම් ලැබූ වසරකි. ඒ වාගේම වැඩිම සිනමාපට ගණනක් තිරගත වූ වසරකි. එරට සිනමා වංශ කතාවට පසුගිය වසර සුවිශේෂී වන්නේ බොලිවුඩ ඉතිහාසයේ පළමුවරට සිනමාපට අටක්ම ඉන්දියාවේදී පමණක් පවුම් කෝටි සියයකට වැඩි ආදායමක් ලැබීම නිසයි.

එක් තා ටයිගර් - සල්මන් ඛාන් හා ඔහුගේ හිටපු පෙම්වතිය කත්‍රිනා කායිෆ් ප්‍රධාන චරිත රැඟූ ඒක් තා ටයිගර් සිනමාපටය 2012 වසරේ ආදායම් ලැබීම අතින් අංක එකට පත් වූයේ පවුම් කෝටි 186 ක් (ඉන්දියාවේ පමණක්) උපයමිනි. ආදායම් වාර්තා ගණනාවකටම මේ සිනමාපටය හිමිකම් කියයි.

පළමු දිනය්දීම රුපියල් කෝටි 32.95 ක දළ ආදායමක් ලැබීම, සති අන්තයේ රුපියල් කෝටි 57.85 ක මුදලකට හිමිකම් කීම, දින හයකදී පවුම් කෝටි සියයක් ඉපයීම ඒ වාර්තායි.

‘ත්‍රී ඉඩියට්ස්’ සිනමාපටයට පසු අන්තර් ජාතික වශයෙන් වැඩිම ආදායමක් ලැබූ සිනමාපටය වී තිබෙන්නේ ද ‘ඒක් තා ටයිගර්’ ය. දැනට සර්වකාලීනව වැඩිම අදායම ලැබූ දෙවැනි බොලිවුඩ් සිනමා පටය ද මෙයයි.

* දාබන්ග් 2 - සල්මන් හා සෝනක්ෂි රැඟූ දාබන්ග් සිනමාපට මාලාවේ දෙවැන්නයි. රුපියල් කෝටි 100 ඉක්මවා ආදායමක් ලැබූ සල්මන්ගේ පස්වැනි සිනමාපටය මෙයයි.

* රවුඩ් රතෝර් – අක්ෂේ කුමාර් සහ සෝනක්ෂි සිං ප්‍රධාන චරිත මැවූ පවුම් කෝටි 133 ක ආදායමක් ලැබූ සිනමාපටයයි.

* අග්නීපාත් – පවුම් කෝටි 123 ක් ඉපයීමට සමත් විය. පවුම් කෝටි 100 ඉක්ම වූ රිතික් රොෂාන්ගේ පළමුවැනි සිනමාපටයත්, ප්‍රියංකා චොප්රාගේ දෙවැනි සිනමාපටයත් මෙයයි.

* හවුස්ෆුල් 2 – අක්ෂේ, ජෝන්, අපේ ජැකලයින් ෆර්ඩිනැන්ඩස් සහ අසීන් රැඟූ ප්‍රහසන සිනමාපටයකි. 2010 දී තිරගත වූ හවුස්ෆුල් සිනමාපටයේ දෙවැන්නයි.

* බර්ෆි – රන්බීර්ගේ පවුම් කෝටි සියයක ආදායම ඉක්ම වූ පළමු සිනමාපටයයි.

* ජබ් තක් හෛයි ජාන් – විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ යාෂ් චොප්රාගේ අවසන් නිර්මාණයයි. සිනමාපටය තිරගතවීමට සති තුනකට පෙර මේ මහා සිනමාවේදියා මිය ගියේය. ෂාරුක්, කත්‍රිනා පෙම්වතුන් ලෙස මුල්වරට දක්නට ලැබූ මේ සිනමාපටයෙන් දැනට පවුම් කෝටි 100 ඉක්ම වූ ආදායමක් ලබා තිබේ.

* බෝල් බච්චන් – පවුම් කෝටි 100 ඉක්ම වූ අටවැනි සිනමාපටයයි. අජේ දේව්ගන් සහ රෝහිත් ෂෙට්ටිගේ ඉල කැඩෙන විහිළු ආදායම් උල්පතක් විය.

* තලාෂ් සහ සන් ඔෆ් සර්දාර් පිළිවෙළින් වැඩිම ආදායම් ලැබූ නව වැනි සහ දහවැනි සිනමාපටයි.

ආදායම බින්දුවයි

* ප්ලේයර්ස් – වසරේ හා හා පුරා කියා තිරගත වුණත් ලැබුණේ අඩුම ආදායමකි. අභිෂේක් බච්චන්, සෝනම් කපූර් මෙහි ප්‍රධාන තාරකා යුවළයි. අමෙරිකානු ඩොලර් මිලියන 10.92 ක වියදමක් දරා නිපදුවත්, ලැබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 7.28 ක් පමණි.

* ඒක් දීවානා තා- ස්මිතා පටේල් ගේ පුතු ප්‍රතීක් සහ බ්‍රිතාන්‍ය නිළි ඇමී ජැක්සන් රැඟූ මේ සිනමාපටය 2012 වසරේ නැවුම් බලාපොරොත්තුවක් වුවත්, එතරම්ම පාඩු නොලබා බේරුණේ අනූනවයෙනි.

* ඒජන්ට් විනෝද් – අමෙරිකානු ඩොලර් මිලියන 10.92 ක් වැයකර නිපද වූ නමුත් උපයා ගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 9.94 ක් පමණි. සායිෆ් හා කරීනා සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ද සාර්ථකත්වයට එය හේතු නොවීය.

ජෝදි බ්‍රේකර්ස්, ලන්ඩන් පැරිස් නිව්යෝර්ක්, චාර් දින් කි චාන්දනී, බ්ලඩ්මනි, බිටූ බොස්, හේට් ස්ටෝරි, ආයියා, බූත් රිටර්න්ස්, කමාල් ඩමාල් මාල්මාල්, ජෝකර් දර්ශන ශාලාවලින් ගැලැ වී ගියේ අසාර්ථකත්වයත් කරපින්න ගෙනයි.

* තිරයේ හොඳම හාදු

* ෂාරුක් ඛාන් සහ කත්‍රිනා කායිෆ් ජබ්තක් හෛයි ජාන් සිනමාපටයේ හුවමාරු කරගත් හාදුව. සිනමාපටයේ හාදු දර්ශන තුනක් ඇතුළත් වූ අතර මේ ෂාරුක් තිරයේ පෙම්වතියකට දුන් පළමු හාදුවයි.

* රන්බීර් කපූර්, ඉලේනා ඩී කෲස්ට දුන් හාදුව ඇතුළත් වූයේ බර්ෆි සිනමාපටයේයි.

* ‘විකි ඩෝනර්’ හි ආයුෂ්මාන් කුරානා සහ යමී ගෞතම් ‘කොක්ටේල්’ සිනමාපටයේ සායිෆ් අලිඛාන් සහ ඩයනා පෙන්ටිගේ ප්‍රේමණීය හාදුව ද අමරණීයයි.

* ළදරුම හාදුව ලෙසින් සැළැකෙන්නේ අර්ජුන් කපූර් සහ පරිනීති චොප්රා ඉෂ්ක් සාදේ සිනමාපටයේදී හුවමාරු කරගත් හාදුවයි.

* තාරකාවන්ගේ බලය පතුරුවන

‘අයිටම් නම්බර්’

* දාබන්ග් 2, හෙරොයින්, ඒජන්ට් විනෝද් සිනමාපටවල කරීනා කපූර් ෆෙවිකල් සේ, හල්කත් ජවානී සහ දිල් මේරා මුෆ්ත්කා ගීත මඟින් ඉදිරිපත් කළ සරාගී නර්තන.

* කිලාඩි – 786 ක්ලෝඩියා සී ස්ලාගේ නර්තනය.

* මැක්සිමම් සිනමාපටයේ හේසල් කීච්ගේ නර්තනය. (යූ ටියුබ් මඟින් මිලියන හතරකට වැඩි පිරිසක් නරඹා තිබේ).

රාණි මුඛර්ජිගේ ‘ආයියා’, චිත්‍රන්ගදා සිංගේ ‘ජෝකර්’, කත්‍රිනා කායිෆ්ගේ ‘අග්නීපාත්’ නර්තන අංග ද බෙහෙවින් ජනප්‍රිය විය.

* පෑයූ නවක තරු

* අනුරාගී සනී ලියෝන් (‘ජිස්මි 2’)

* මහේෂ් භාත් බාල දියණී ආලියා භාත් (‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’)

* පඕලි දම් (‘හේට් ස්ටෝරි’)

*ආයුෂ්මාන් කුරානා (‘විකි ඩෝනර්’)

අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්ගේ පුතු වරූන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා යමී, ඇමී ජැක්සන්, නිධි සුබ්බයියා, පුල්කිත් සම්රත් ද පසුගිය වසරේ දොරට වැඩි තරු හා තාරකාවෝයි.

* අමරණීය උපන් දින

මෙගා තරුව අමිතාබ් බච්චන් හැත්තෑ විය සපිරීම.

* ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ රංගධරයාණන් දිලිප් කුමාර් අනූ විය සපිරීම.

* ලෝකයම කම්පා කළ විශිෂ්ටයන්ගේ සමු ගැනීම්

* අනූ දෙහැවිරිදි වියේ පසු වූ මහා සිතාර් වාදක, ගැමී සම්මානලාභී රවි ශංකර් දෙසැම්බර් 12 වැනිදා මිය යාම.

* ප්‍රේමණීය අධිරාජ්‍යයක් සිනමාවෙන් විශ්වයේම ගොඩ නැඟූ යාෂ් චොප්රා අකාලයේ ඔක්තෝබර් 21 වැනිදා ජීවිතයෙන් නික්ම යාම.

* බොලිවුඩයේ පළමු සුපිරි තරුව, රාජේශ් ඛන්නා ජූලි 18 වැනිදා අවසන් හුස්ම හෙළීම.

* විකට නළු ජස්පත් භාති, සටන් නළු ධාරා සිං, ප්‍රවීණ නළු ඒ. කේ. හන්ගල් වේදනාත්මක මතකයක් ඉතිරි කරමින් සමුගත්හ.

* මංගල පුරවරවයක්

* බාලගිරි දෝෂයක් වී තිබූ සායිෆ් – කරීනා මංගල්‍යයය සිදු විය.

* විද්‍යා බාලන් සහ සිද්ධාර්ත් රෝයි කපූර් විවාහය නිම වූයේ ජනතා මනාපය නොමඳව දිනාගත් මංගල්‍යයය ලෙසිනි.

* සිහින දෙව් දුව හේමා මාලිනීගේත් සුපිරි නළු ධර්මේන්ද්‍රගේත් දියණිය ඊශා ඩියෝල් භාරත් තක්තානිගේ අත ගත්තාය. ධර්මේන්ද්‍රගේ කලින් විවාහයේ දරුවන් වූ සනී, බොබී මීට සහභාගි වූයේ නැත.