වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පිටපත් ප්‍රමාණය තීරණය කළ යුත්තේ නිෂ්පාදකයායි

පිටපත් ප්‍රමාණය තීරණය කළ යුත්තේ නිෂ්පාදකයායි

සුනිල් ටී. ප්‍රනාන්දු කියයි

චිත්‍රපටයක් නිපදවීම කෙතරම් අසීරු අභියෝගාත්මක කාර්යයක්දැයි හොඳින්ම දන්නේ එවැනි නිෂ්පාදකයකුම පමණි. එය අතුරේ යන ගමනක් සේ අවදානම්ය. නැතහොත් දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. චිත්‍රපට හදන්නට ගොස් පස්ස බිම ඇනී නැත්තටම නැති වූ නිෂ්පාදකයන් සේම සිනමාව වහ කදුරු වූවන් ද ඒ අතර නැත්තේම නොවේ.

එහෙත් චිත්‍රපට නිෂ්පාදනය ඔහුගේ වෘත්තීය පමණක් නොව ප්‍රමුඛතම විනෝදාංශය ද වේ. ඇතැමෙකුට දැලි පිහියෙන් කිරි කනවා වැනි එකී කටයුත්ත ඔහුට නම් කජු කනවා සේය.

සුනිල් ටී. ප්‍රනාන්දු.

මෙම ජනවාරි 21 වැනි දිනට 66 වැනි විය සපුරන ලාංකේය සිනමාවේ මෙතෙක් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇත්තේ ඔහුය. මේ දිනවල පුළුල් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන ‘ජීවිතේ ලස්සනයි’ ඔහු නිපද වූ 53 වැනි චිත්‍රපටයයි.

එළැඹි නව වසරේ සුනිල් ටී. නම් වූ මේ සොඳුරු හිතැත්තා හා හා පුරා අප හා මෙලෙස සංවාදයට එක්වන්නේ එකී අභිමානයත් සමඟිනි.

කොහොමද දැන් ‘ජීවිතේ ලස්සනයි’?

ඇත්තටම ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටය නිසා මගෙත්, එහි රඟපෑ නළු, නිළියන් ඇතුළු සෙසු පිරිසගෙත් ජීවිත ලස්සන වෙලා තියෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා හොඳයි. දැන් සිනමා ශාලා පනහක ‘ජීවිතේ ලස්සනයි’ ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත වෙනවා.

ඔබ අපේ සිනමාවට සුරූපිනියන් සිව් දෙනකු මේ චිත්‍රපටයෙන් හඳුන්වා දෙනවා?

ඔව්, ඔව්, ලස්සන තරුණියෝ හතර දෙනෙක්. ඒ අතරින් තිදෙනෙක් නම් ඉතාම කැපවීමෙන්, උනන්දුවෙන් මේ ගමන යන බව පේනවා. රුවංගි, නෙතූ, මේනකා තමයි ඒ තුන්දෙනා.

එතකොට මහේෂි?

එයා අනෙක් තුන්දෙනාට වඩා ටිකක් කාර්යබහුලයි මම හිතන්නේ. ඒ නිසා විවේකය අඩු ඇති.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුවේ මුළු ලෝකයටම තීරණාත්මක වූ දිනයක?

ඔව් පසුගිය දෙසැම්බර් 21 වැනිදා තමයි ‘ජීවිතේ ලස්සනයි’ මංගල දර්ශනය පැවැත්වුණේ. එදා ලෝක විනාශය සිදු වෙනවා කියලා කතාවක් තිබුණනේ. හුඟක් අය බය වෙලා හිටියේ. නමුත් මගේ එකම ප්‍රාර්ථනාව වුණේ එදාට මේ චිත්‍රපටය සිනමාහල්වලට මුදා හැරීමයි. මොකද එදාට තමයි මගේ උපන් දිනය යෙදී තිබුණෙත්. හැබැයි එදා ලෝකේ විනාශ වුණේ නම් නැහැ. ඒත් මගේ ප්‍රාර්ථනාව ඉටු වුණා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ රන්ජන් රාමනායක. ඔහුගෙන් පස්සේ අපේ සිනමාවේ තරු පෑයුවේ නැහැ කියනවනේ. ඔහු වටා තවමත් ප්‍රේක්ෂකයන් රැඳී සිටිනවා යැයි ඔබ සිතනවාද?

ඇත්තෙන්ම ඔව්. විවිධාකාර නළු, නිළියන් මගේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මේ කිසිම නළුවෙක්, නිළියක් මගෙන් කවදාවත් ඉල්ලීමක් කරලා නෑ ඒ අය චිත්‍රපටයකට ගන්න කියලා. මම ව්‍යාපාරයක් කරන්නේ කියලා එයාලා දන්නවා. මේ චිත්‍රපටය මම හැදුවේ රන්ජන් වෙනුවෙන්මයි. මොකද අද රන්ජන් තමයි මා(ර්)කට්. ඔහු සිනමාවට ආපු කාලෙත් මගේ ෆිල්ම්වල ඇක්ට් කළා. ඔහුගේ මුල්ම ගීත එකතුව ‘සිහින කුමරා’ කැසට් එක අවුට් කළේත් මම. රන්ජන් ඒ වගේම මගේ පරණ යාළුවෙක්.

මා(ර්)කට් එකට වඩා යාළුකමට රන්ජන් මේ චිත්‍රපටයට ගත්තා කියලා මම කිව්වොත්?

නැහැ. මම හොයලා බලපුවම ගැහැනු ළමයි අතර, ෆැමිලීස් අතර, පුංචි ළමයි අතර රන්ජන්ට පුදුම මා(ර්)කට් එකක් තියෙනවා. එහෙම සමීක්ෂණයක් කරලා තමයි මම මේ චිත්‍රපටයට ඔහු තෝරා ගත්තේ. මම රන්ජන්ගේ නම දාලා, ඔහු ප්‍රධාන චරිතයට අරගෙන ‘රන්ජා’ චිත්‍රපටයත් කළේ ඒ ජනප්‍රියත්වය ගැන තිබුණු විශ්වාසය හින්දා. ‘ජීවිතේ ලස්සනයි’ වගේම ඒකත් සුපර් හිට් එකක් වෙනවා කියලා මම කියනවා.

රන්ජන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා?

ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි. හරි නිදහස්. එයා සෙට් එකේදී හැසිරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නෙවෙයි. හරිම හොඳයි. ඒ වගේම රන්ජන් කියන්නේ සුන්දර මනුස්සයෙක්. ඉස්සරහට තව අවුරුදු දහයක්වත් මේ ජනප්‍රිය කිරුළ රැක ගන්න පුළුවන් තත්ත්වයක් එයාට තියෙනවා කියලා මට හිතෙනවා.

අර වැලමිටට ඇඟිල්ලෙන් විදින එක හැර වෙන වැරැද්දක් නැහැ නේද?

ඔව්. ඒ පුරුද්ද තාම තියෙනවා. හැබැයි මට නම් එහෙම කරන්නේ නැහැ. වැඩි හරියක් ගෑනු ළමයින්ගේ වැලමිටට ගහලා අත හිරිවට්ටන එක තමයි එයා කරන්නේ.

සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන්න ඔබ විශාල දායකත්වයක් දුන් කෙනෙක්. නමුත් කලාත්මක සිනමාවේ වර්ධනයට ඔබෙන් ඒ දායකත්වය ලැබුණේ නැහැ නේද?

ස්කෝලෙ යන කාලේ ඉඳලම මට සිනමාව ගැන ආශාවක්, උනන්දුවක් තිබුණා. මම සිනමාවට ආවේ 1983 වර්ෂයේදී ‘චණ්ඩි පැටව්’ චිත්‍රපටයත් එක්ක. ඒ ආවේත් මගේ මව්පියන්ගේ ආශිර්වාදය අරන්. විශේෂයෙන්ම තාත්තාගෙන් අවසරය ලබාගෙන තමයි මම මේකට බැස්සේ. එතෙනදී මට මේ රටෙන් නම්බුවක් ගන්නවත්, කාගෙන්වත් ප්‍රසාදයක් ලබා ගන්නවත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක මට ආවේනික විදිහට, මම කැමති ආකාරයට මම කළා. එතනදි කිසිම කෙනෙකුගේ අනුග්‍රහයක් මම බලාපොරොත්තු වුණේ නැහැ.

සිනමාව ව්‍යාපාරයක්, බිස්නස් එකක් බව ඔබ එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා?

ඔව්. අනිවාර්යයෙන්ම.

එතකොට සිනමාව, කලාවක් කියන තැන ඔබ නැද්ද?

හැම දෙනාම කලාව බිස්නස් එකක් කර ගත්තුª යුගයක් තමයි මේක. කවුරුවත් කලාව වෙනුවෙන් බඩගින්නේ ඉන්නවාද? නැහැ. කලාව විකුණගෙන කන කට්ටිය තමයි ඔක්කොමලාම ඉන්නේ. පුළුවන් නම් මට ඔබතුමා කියන්න මෙයා කලාව වෙනුවෙන් ජීවත්වුණ කෙනෙක්, මෙයා කලාව වෙනුවෙන් ජීවිතය පූජා කරපු කෙනෙක් කියලා. එහෙම අය නැහැ. අපි කවුරුත් කරන්නේ ජොබ් එකක්. ගාමිණී ෆොන්සේකාට අපි දේවත්වයෙන් සළකන්නේ ඔහු රඟපෑ චරිත නිසා. මාලිනී ෆොන්සේකාට අපි සලකන්නේ නමට නෙවේ. එයාගේ රංග ප්‍රතිභාවට. ටැලන්ට් එකට. අපි සනත් ජයසූරියට ආදරේ කළේ එයා රට වෙනුවෙන් මැච් දිනවන කොට. අද සනත් ගැන කවුරුවත් කතා කරන්නේ නෑනේ. ඒක ඔයාටත් ඒ වගේ. මටත් ඒ වගේ. අපේ රටේ මිනිස්සුන්ට සතියකින් සේරම අමතක වෙනවනේ.

චිත්‍රපට නිෂ්පාදනය ඔබට ව්‍යාපාරයක් පමණක්ම නෙවෙයි?

ඔව්. දැන් වෙනකොට නම් ඒක මගේ මේන් හොබි එක. මට වෙන ව්‍යාපාර කිහිපයකුත් තියෙනවා. ඒත් මම සිනමාවේ තාම රැඳිලා ඉන්නේ ඒකට තියෙන ආදරය නිසා. ඒත් කලාවට ආදරෙයි කියලා මම අතින් පාඩු කර ගන්නේ නැහැ. කලාව මම හැම වෙලාවෙම ලාබදායී කර ගන්නවා. එතකොට මම එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරුන්ට, නළු නිළියන්ට හොඳට ගෙවනවා. ඉතින් ඒ නිසා ඒ මිනිස්සු මගෙත් එක්ක හැමදාම කැමැත්තෙන් වැඩ කරනවා.

ඒ වගේම බොහෝ දෙනකුගේ ජීිවනෝපායටත් එය රුකුලක්?

එකම නළුවකුට, නිළියකට මම සීමා වුණේ නැහැ. එහෙම වුණා නම් අද චිත්‍රපටයට ගන්න කෙනා හෙටත් ගන්න මට සිද්ධ වෙනවා. එහෙම කාටවත් මම බැඳිලා නැහැ. හෙට මාලිනී ෆොන්සේකා මගේ චිත්‍රපටයකට ඕනෑ නම් මම ගිහින් කතා කරලා ගන්නවා. නළු, නිළියන්ට වගේම අධ්‍යක්ෂවරුන්ටත් එහෙමයි. දැන් මම සනත් ගුණතිලකට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න දුන්නේ. ඒ වගේම දමයන්ති ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන මට ෆිල්ම් දෙකක් ප්‍රොඩියුස් කරන්න කතා කරලා තියෙනවා. මගේ හිතට හරි ගියොත් ඒ චිත්‍රපට නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

එතකොට ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වගේ විදග්ධ සිනමාකරුවකුගෙන් ඔබට ඇරැයුමක් ලැබුණොත්?

එක එක්කෙනාගේ ඔළුවල තියෙන සිනමාවනේ ඒ අය කරන්නේ. හැබැයි ඒවා බලන්න ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ. ඒත් මට දැනෙන, මගේ අයිඩියාස් එක්ක ගැළපෙන චිත්‍රපටයක් වුණොත් ඔය හැමෝම එක්ක චිත්‍රපටයක් කරන්න මම සූදානම්. තවම ෆිල්ම් එකක් නොකළාට ඔය සේරමලා මගේ හොඳ මිත්‍රයෝ.

චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී එය පිටපත් තිස් පහකට සීමා කිරීමේ වැඩ පිළිවෙලක් මේ වසරේ මුල සිට ක්‍රියාත්මක කිරීමට චිත්‍රපට සංස්ථා සභාපතිවරයා පියවර ගෙන තිබෙනවා. මේ ගැන ඔබේ අදහස?

මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද අද අපි ඉන්නේ විවෘත ආර්ථිකයේ. අපි බිස්නස් එකක් කරන කොට මා(ර්)කට් එක අපට ඕපන් වෙලා තියෙන්න ඕනෑ. පිටපත් සීයද, හැත්තෑ පහද, පනහද කියලා ඒක තීරණය කිරීමේ ශක්තිය තියෙන්නේ නිෂ්පාදකට. පිටපත් දහයක් විතර හෝල්වලට දාලා නමට පමණක් නිෂ්පාදකයෝ වුණ අයත් අපේ රටේ ඉන්නවනේ.

එවැනි අය සැබෑ නිෂ්පාදකයෝ වෙන්නේ නැහැනේ?

ඔව්. සැබෑ නිෂ්පාදකයෙක් කියන්නේ නියම ව්‍යාපාරිකයෙක්. ලාභයක් ලබා ගැනිමේ අරමුණින් තමයි ඒ ව්‍යාපාරයේ නියැළෙන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියන්නේ පිටපත් සංඛ්‍යාව තීරණය කිරීමේ අවස්ථාව දෙන්න ඕනෑ නිෂ්පාදකට. එතනදි නිෂ්පාදකයා බලන්න ඕනෑ අනෙක් චිත්‍රපටවලට අසාධාරණයක් සිදු වෙනවාද කියලත්. එහෙම නොවෙනවා නම් තමන්ට හැකි උපරිම පිටපත් ප්‍රමාණය රිලීස් කළාට ඒකේ වැරැද්දක් නැහැ.

එතකොට රට පුරා එකටම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා?

ඔව්. ඇත්තෙන්ම. පිට පළාත්වල සිනමාහල්වලටත් ඒ පිටපත් ලැබෙනවනේ. එතකොට මේ වැහෙන්න යන සිනමා ශාලා ආරක්ෂා වෙනවා. අලුත් චිත්‍රපටයක් එනකොට අපි අසීමිතව ඒක ප්‍රචාරය කරනවා. එහෙම ප්‍රචාරය කරද්දී මිනිස්සු බලනවා මේ චිත්‍රපටය කොහෙද දුවන්නේ කියා. තමන්ගේ ගමේ, නගරයේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා නම් ඉක්මණට ගිහින් ඒක බලනවා. මේක සෝඩා බෝතලේ කැඩුවා වගේ.

ඇයි ඔබ එහෙම කියන්නේ?

නෑ මාස දෙකෙන් සේරම ඉවරයි. ඊට පස්සේ ගොඩක් වෙලාවට ෆිල්ම් එකක් බලන්න මිනිස්සු එන්නේ නැහැ. ඕනෑම කෑමක් ගත්තම අපි ආසයි උණුවෙන් කන්න. සෝඩා බෝතලයක් කැඩුවත් අපි සෝඩා සැරත් එක්ක බොන්න ඕනෑ. අර සැර ගියාට පස්සේ සෝඩා වතුර වගේ. අපි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගත්තත් කූල් එකට බොන්න කැමැතියි. කූල් නැති එකේ රස නෑ. අපි කෑමක් කෑවත් හොඳ ලුණු ඇඹුල් ඇතිවනේ කන්න කැමැති. එතකොට කටට රසයි. චිත්‍රපටයක් ෆස්ට් රිලීස් එකේ නරඹන එකත් ප්‍රේක්ෂකයාට ඒ විදිහේ අත්දැකීමක්.

මේ වෙන කොට අපේ රටේ සිනමාහල් 168 යි තියෙන්නේ. ඇතැම් සිනමා ශාලාවල සිංහල චිත්‍රපට පෙන්වන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ වැඩිපුර පිටපත් සංඛ්‍යාවක් එකවර ප්‍රදර්ශනය කිරීම නිසා සමගාමීව ප්‍රදර්ශනය වන හෝ ඊළඟට ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපටයට අසාධාරණයක් සිදු වෙනවා නේද?

රැ¼ගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ දිනය පදනම් කරගෙන අපි පෝලිමක් හදනවා. ඒ පෝලිමේ හරියට මේන්ටේන් කළොත් ඒ හැම චිත්‍රපටයටම සාධාරණයක් ඉටු වේවි.

ඒත් එහෙම පෝලිම මේන්ටේන් වෙන්නේ නැහැ අද?

පෝලිම මේන්ටේන් වෙන, නොවෙන එක මගේ ප්‍රශ්නයක් නෙවේ. චිත්‍රපට සංස්ථාව මොනිටර් බොඩි එකක් වශයෙන් තියාගෙනයි මේ දේවල් කරන්න ඕනෑ.

නමුත් චිත්‍රපට සංස්ථා සභාපතිතුමා මේ පිටපත් සංඛ්‍යාව සීමා කිරීම පිළිබඳ මේ වෙනකොටත් චක්‍රලේඛයක් නිකුත් කරලා?

සභාපතිතුමා චිත්‍රපට හදන්නෙත් නැහැ. චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නෙත් නැහැ. නමුත් මේවාට අදාළ නියෝජිතයා තමයි සභාපතිතුමා. අපේ මොනව හරි ප්‍රශ්නයක් ආවාම අපි ගිහින් කියන්නේ එතුමාට. අපි විසඳුමකුත් බලාපොරොත්තු වෙනවා. නමුත් සභාපතිතුමාට චිත්‍රපටයක් බලහත්කාරයෙන් ප්‍රේක්ෂකයකු ලවා බලවන්න බැහැ. සභාපතිතුමාට කවුරුත් බලෙන් නළුවෙක්, නිළියක් කරන්නත් බැහැ. ඒ වගේ සිනමා කර්මාන්තයේ ඔක්කොම ප්‍රශ්න සභාපතිතුමාට විසඳන්න බැහැනේ.

වත්මන් සභාපතිතුමා ගැන ඔබේ ආකල්පය?

අශෝක සේරසිංහ හොඳ මහත්මයෙක්. වැඩක් කරන්න පුදුම උනන්දුවක්, පුදුම ආසාවක්, පුදුම බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ඔහු. අනෙක එතුමා කලාව ගැන වුණත්, පුදුම කැක්කුමක් තියෙන මහත්මයෙක්. නමුත් ඔහුගේ නිලධාරීන්ගේ සහාය ලැබෙන්නේ නැහැ ඔහුට. මම දන්නා තරමින් නීති නිලධාරී විතරයි ඔහුට සහාය දක්වන්නේ. අනෙක් අයගේ සහාය නැතිව තනියෙන් ඔහුට මේ ගමන යන්න අමාරුයි. ඉතිං එතනදි නොයෙක් හැලහැප්පීම්වලට භාජනය වෙනවා. එතුමාගේ නිලයේ ආයුෂ කොට වෙනවා.

සංස්ථාව හරහා චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයකුත් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

දැනට මේ යන විදිහට තමයි මට චිත්‍රපට කරන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමය. හැබැයි අර වගේ ක්‍රමයක් ආවොත් මම චිත්‍රපට කර්මාන්තයෙන් ඈත් වේවි. සභාපතිතුමා එක්ක වැඩ කරන්න පුළුවන්. ඒත් ඒ නිලධාරින් එක්ක අපිට වැඩ කරන්න බැහැ. එතකොට මගේ කම්පැනියේ මට අවශ්‍ය දේ කරන්න පුළුවන්. මට ගිහින් චිත්‍රපට සංස්ථාවත් එක්ක ඒක කරන්න බැහැ. එදාට මම ආසාවට එක චිත්‍රපටයක් කරයි. හැබැයි මෙච්චර චිත්‍රපට ප්‍රමාණයක් නම් කරන එකක් නැහැ. ඒ කියන්නේ පෞද්ගලිකකරණය කළ මේ ආයතන නැවත රජයට පවරා ගත්තොත් මම සිනමාවෙන් ඉවත් වෙනවා.

සංස්ථාව ඇතුළෙම අර්බුද තියාගෙන කොහොමද සිනමා කර්මාන්තයේ අර්බුද විසඳන්නේ කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා?

සංස්ථාවට මම දන්නා තරමින් සාමාන්‍යාධිකාරී වරයෙක් හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් නෑ. නිලධාරිවාදය ඉස්මතු වෙලා. හරියට, වෙලාවට වැඩක් කෙරෙන්නේ නැහැ. චෙක් එකක් ගන්න ගියොත් සති දෙකක්, තුනක් ගත වෙනවා. අස්සන් කරන්න ඉන්නවා දහ දෙනෙක් විතර. ඉතිං මෙහෙම මේ වැඩේ කරන්න අමාරුයි. මම කියන්නේ මේ සභාපතිතුමාට මේ ගමන යන්න පහළ ඉන්න සියලුම නිලධාරින් සහාය දිය යුතුයි. ඒක තමා සිනමා කර්මාන්තයත්, රටත් වෙනුවෙන් ඔවුන් කරන ලොකුම සෙත.

අවුරුදු තිහක් පුරාවට ඔබ සමඟ සිටි ප්‍රේක්ෂකයන් ඔබට විශාල ශක්තියක් වුණා. මේ වෙලාවේ ඔවුන් පිළිබඳ යමක් පැවසුවොත්?

එයාලා මගේ සිනමා දිවියේ ආරම්භයේ පටන්ම අද දක්වා මට ලොකුª ශක්තියක් වගේම ආශිර්වාදයක්. අද ප්‍රේක්ෂකයෝ හරි බුද්ධිමත්. ඉස්සර ප්‍රේක්ෂකයෝ එන හැම චිත්‍රපටයක්ම නැරඹුවා. අද එහෙම නෙවෙයි. ඔවුන් චිත්‍රපටයක් නරඹන්නේ තෝරා බේරාගෙන. හොඳම උදාහරණය ‘දරුවනේ’. ඒ චිත්‍රපටය සාර්ථක වෙන්න පටන් ගත්තේ තුන්වැනි සතියෙන් පස්සේ. ඒ වගේම ‘ජීවිතේ ලස්සනයි’ සාර්ථක වෙන්න පටන් ගත්තේ දෙවැනි සතියෙන් පස්සේ. ඉස්සර පළමුවැනි සතියේම චිත්‍රපටයක් නරඹන්න ගොඩක් ප්‍රේක්ෂකයෝ ආවා. අද එහෙම නෑ. ප්‍රේක්ෂකයෝ ඉදිරියට තෝරා ගනීවි බලන්න ඕනෑ චිත්‍රපට මොනවාද, නොබලා ඉන්න ඕනෑ චිත්‍රපට මොනවාද කියලා.

ඔබ ව්‍යාපාරිකයකු පමණක්ම නොවේ. නිර්මාණශීලී මිනිසෙක්. කලාකරුවෙක්. ඒ සමඟ ඔබේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ මතු බලාපොරොත්තුවක් නැතිද?

කලින් නම් මම චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. ඒ මම විවේකයෙන් හිටපු කාලේ. මම දැන් හරිම අවිවේකියි. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ලොකු මානසික නිදහසක් අවශ්‍යයි. මගේ ව්‍යාපාර කටයුතුවලට එන ඛ්චතතඵ වලට පිළිතුරු දෙන්න ගියාම දවස ඉවරයි. ඒ නිසා දැන්ම ඔබ කියූ කාරණයට යන එකක් නැහැ. හැබැයි මම කළොත් කරන්නේ දවස් 100 ක් දුවන චිත්‍රපටයක් තමයි. ඒත් ඒකට හිත එකලස් කරගන්න තව අවුරුදු පහකටවත් මට බැරි වෙයි.

2013 වසරේ ඔබේ චිත්‍රපට තිරගතවීමට නියමිතද?

මගේ ‘දෝණි’ චිත්‍රපටය අනිවාර්යයෙන්ම එනවා. ‘රන්ජා’ ෆිල්ම් එක එන්න පුළුවන්. ඒ වගේම ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයත්. ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයත් එන්න තියෙනවා. ඒත් ඔය චිත්‍රපට හතර කොයි ආකාරයෙන් ප්‍රදර්ශනයට මුදා හරියිද කියා මම දන්නේ නැහැ.

සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක් ඉන්නවාය කියා කතාවක් තියෙනවා. මම හිතන්නේ ඔබටත් මේ කතාව අදාළයි?

මගේ බිරිය ඉලංගිකා තමයි මගේ ජීවිතය පසුපස හෙවනැල්ලක් වගේ ඉන්නේ. ඒ වගේම මගේ දුව, මගේ නැති වෙච්ච රිකී ගැනත් මම කියන්න ඕනෑ. මම වගේ කෙනෙක් ‘දරුවනේ’ වගේ චිත්‍රපටයක් හදන්නේ නෑ රිකී පුතා ජීවත්ව හිටියා නම්. මම ‘දරුවනේ’ හැදුවේ රිකී බේස් කරලා. ඒ චිත්‍රපටය මට රුපියල් ලක්ෂ 1000 කට වැඩි මුදලක් හොයලා දුන්නා. ඒ රිකී පුතාගේ ආශිර්වාදයෙන්. එයා ඉන්න තැනක ඉඳන් තාත්තට ආශිර්වාද කරලා තියෙනවා. ඉතිං ඒකත් එක්ක තමයි මම මගේ අනෙක් චිත්‍රපට හදන්නේ. මම ආයේ ජීවිතේට ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ නෑ. රිකීට කරන උපහාරයක් ඒක.

‘රිකී’ වෙනුවෙන් දැන් හොඳ සිහිවටනයකුත් තියෙනවා?

ඔව්, ‘දරුවනේ’ ආදායමෙන් රිකී පුතා සිහි වෙන්න බොල්ගොඩින් ලස්සන බංග්ලෝ එකක් මිලදී ගත්තා. ඒක මම නම් කලේ ‘රිකී’ස් වයිට් හවුස්’ කියලා. පුතා හින්දයි ‘දරුවනේ’ හැදුවේ. ‘දරුවනේ’ හින්දයි ‘වයිට් හවුස්’ එක ගන්න ලැබුණේ. මේ සුපිරි බංගලාව ඉදිරියේදී අපේ කලාකරුවන්ට නිවාඩු පාඩුවේ, නිස්කලංකව කාලය ගත කරන්න පුළුවන් සොඳුරු තැනක් බවට පත්වේවි.