වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




අද ජනවාරි 21

අද ජනවාරි 21

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිරගත කොට වසර 69 ක් පිරෙන්නේ අදටය. සිංහල සිනමාවේ සැබෑ ජන්ම දිනය එයට වඩා පැරැණි වුවත් උත්පත්තියෙන් ලද ස්ත්‍රී ගති නිසාදෝ ලාංකික සිනමාව පෙන්වන්නේ වසර 22 කට වඩා අඩු වයසකි. ඇත්ත නම් මුල්ම ලාංකික චිත්‍රපටය වන රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා නම් චිත්‍රපටය තැනෙන්නේ 1925 වසරේදීය. එය 1926 වසරේ කල්කටාවේ මදාන් සමාගමේ සිදුවන මහ ගින්නට අසු වී අතුරුදන් වූ තවත් එක් චිත්‍රපටයක් විය. 1936 දී ඩබ්ලිව්. දොන් එඩ්වඩ් පළිගැනීම නිර්මාණය කර එය කොළඹ ගෙයිටි සිනමාහලේ තිරගත කළේය. කෙසේ වෙතත් නිල වශයෙන් සිංහල සිනමාවේ ජන්ම දිනය ලෙස සනිටුහන් කර ඇත්තේ අද දවසය. එපමණක් නොව 1965 වසරේදී මුල් වරට ලාංකික සිනමාව ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබනුයේ එනම් ගම්පෙරළිය රණ මයුර සම්මානය ලබන්නේ ද 1968 දී මිනිසා සහ කපුටා රජත මයුර සම්මානය දිනන්නේ ද 1987 දී අනෝජා විරසිංහ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රංගනය උදෙසා රජත මයුර සම්මාන දිනන්නේ ද අද වගේ දවසකය. තිරගත වන සෑම සිංහල චිත්‍රපටයක්ම නැරැඹීම මගේ සිරිතකි. ඒ සිංහල සිනමාව මගේ සිනමා ප්‍රේමය නැතහොත් සීරසිමා රෝගය (සීමාරහිත සිනමා මාන්දම) නම් රෝග වාහකයා ද වූ හේතුවෙනි. එහෙත් මෙවර ලාංකික සිනමාව උදෙසා සුබපැතුමක් එක් කරන්නට මම අකමැත්තෙමි.

පසුගිය සති කිහිපය ඇතුළත මෙරට සිනමාව පිළිබඳ දීර්ඝ සුබවාදී විවරණයක් ලියන්නට අදහස් කළ මම පසුව එය අත්හැර දැමුවෙමි. ඇත්තටම 69 වසරක් ආපසු හැරී බලද්දී අප සිටිනුයේ සතුටු විය හැකි තැනකද? පසුගිය සරසවිය පුවත්පතේ අග පිටුව වෙන් වූයේ රුක්මණී දේවිගේ ඡායාරූපයකිනි. එය හිතවත් දයාන් විතාරණ විසින් උපුටා ගෙන අප වෙත එවූවකි. දයාන් එය උපුටා ගෙන තිබුණේ ෆිල්ම් ෆෙයාර් සඟරාවකිනි.

1959 වසර වන විට රුක්මණී වැනි ලාංකික නිළියකගේ කවරයකින් ඉන්දියානු සිනමා සඟරා සැරසිණ. 1972 පමණ වන තෙක් මෙරට සිනමාව පිළිබඳ ඉන්දියානු සිනමා සඟරා ඕනෑ තරම් පුවත් පළ කළහ. සරසවිය සම්මාන මුල් අවධියේ ෆිල්ම් ෆෙයාර් නළු නිළියන් සරසවිය උළෙලට ද, මෙරට නළු නිළියන් ෆිල්ම් ෆෙයාර් වෙතට ද නළු නිළියන් පැමිණියහ. එහෙත් අද තත්ත්වය කුමක්ද? දැනට දෙවසරකට පෙර මෙරට පැවත් වූ අයිෆා සම්මාන උළෙලේදී ලාංකික නළු නිළියන්, සිනමා ශිල්පීන්ට ලැබුණු සැලකිල්ල ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන්නකි. උඩ බලාගෙන කෙළ ගසන්නට කැමැති නැතත් ප්‍රමාද වී හෝ ඇත්තට මුහුණ දිය යුතුය.

පසුගිය වකවානුව මුළුල්ලේ අපේ ලාංකික සිනමාවේ රසිකයන් කොයි හැටි වෙතත් ක්ෂේත්‍රයේ වර්තමානිකයන් තවමත් රැඳී සිටින්නේ අතීතයේය. අප අතීතය ගෙවා දමමින් අනාගතයට පිවිසෙන දවසක් ඇත්තේම නැත. ගත වූ පෙර දින ස්වර්ණමය යුගයක් විය හැකිය. එහෙත් ඇත්තටම අතීතය යනු ගෙවී ගිය දවස්ය. එය නැවත ඉපදෙන්නේ නැත. එය අපට පාඩම් කියා දෙන්නකි. අපි තවමත් අතීතයේ ඇතැම් සිනමා කෘතීන් ද එදා සිටි ජන ගඟ ද සිහිනයෙන් ආශ්වාද කරමින් ස්වයං වින්දනයක යෙදෙමු. මේ සිනමාවට අනාගතයක් පිළිබඳ කල්පනා නොකරමු. අප වටහා ගත යුත්තේ වරද්දා ගත් තැන පිළිබඳවය.

පසුගිය දස වසර ඇතුළත ලාංකික චිත්‍රපට අතර අතිශය සාර්ථක ආදායම් වාර්තා තැබූ කිහිපයක් ඇත. වැඩි හරියක් අසාර්ථකය. මේ යුගයේ වැඩි වුණ ප්‍රේක්ෂක සංඛ්‍යාව කෙතරම්දැයි කිසියම් සමීක්ෂණයක යෙදුණේද? බොහෝ චිත්‍රපට සාර්ථක ආදායම් ලැබුවේ ඒ වටා ස්වෙච්ඡාවෙන් රොක් වූ ප්‍රේක්ෂකයන්ගෙන් නොව, විවිධ අධ්‍යාපනික හා තවත් හේතු සහගත කාරණා මත බලහත්කාරයෙන් මෙන් සිනමාහල පිරවීමෙන්ය. ගත වූ වසර ගණනාව තුළ අපේ ආදායම් ලද චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ නළු නිළියන්ගේ නම්ගම් හෝ මතක තිබෙන්නේ කාටද?

සමහර ශාලා පවත්වා ගත්තේ චිත්‍රපට නිසා නොව වෙනත් කාරණා නිසාය. අවම වශයෙන් සිනමාව ආගමක් ලෙස සලකන යුගයක රටක කවර තරම් චිත්‍රපටයක් තිරගත වුව ද එහි රඟපෑ නළු නිළියන් කවරේද යන්න පේ‍්‍රක්්්ෂකයෝ දනිති. ඔවුහු විලාසිතා මවති. එය අද ද ලොව පුරා තාරකාවන්ගේ ජනප්‍රියත්වය මනින සාධකයකි. ගත වූ දශකය මුළුල්ලේ අපේ සිනමාව එබඳු යුගයකට එස වුණේ නැත. මෑත භාගයේ අති නවීන සිනමා ශාලා රාශියක් ගොඩ නැඟුණ ද එම කිසිදු ශාලාවක් දේශීය චිත්‍රපට සඳහා නොවේ. ඇත්ත දේශීය චිත්‍රපට තිරගත වූවා නම් එම ශාලා වසා දමන්නට සිදු වනු ඇත.

අප සිනමාව පිළිබඳ බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සාහ ගත්තේ ව්‍යාධි ඔඩු දුව ගොස් අවසන් වූ තැනය. අපේ සිනමාවේ ප්‍රේක්ෂකයන් එය අතහැර යෑමෙන් පසුවය. පසුගිය වකවානුව ලෝකය අපට ඉතා සමීප වන්නට ගත්තේය. මෙම ප්‍රවාහය සිනමාකරුවන් කොයි හැටි වෙතත් ප්‍රේක්ෂකයෝ නම් හඳුනා ගත්හ. අපට ලෝකය හා තරග කරන්නට ධනය නැති බව ඇත්තය. එහෙත් නිර්මාණශීලී ගුණය එමටය. අප ඉහළින් සලකන ලද්දේ එම ගුණයට නොවේ. ප්‍රේක්ෂකයෝ බහුතරය ව්‍යාජත්වය වහා ප්‍රතික්ෂේප කළහ.

ලංකාව යනු ලෝකයේ ඇති රටකි. එයට හුදකලාව ජීවත් විය නොහැකිය. අපේ සිනමාවට සිදු වූ සියලු විපත්ති සියල්ලම බොහෝ දෙනකු දුටුවේ මෙරට පමණක් සිදු වූ නස්පැත්තියක් හැටියටය. එහෙත් ලෝක සිනමාව පිළිබඳ සොයා බලන්නෙකුට එම කිසිවක් අපට පමණක් ඇති වූ ගැටලු ලෙස ඉස්මතු නොවන බව පෙනී යන්නකි. අප ද ලෝකයේ කොටස්කරුවන් බව සිහියේ තබා ගත යුත්තේ එහෙයිනි. සිනමාව පිළිබඳ අපට ඇති ගැටලුව ලොව සියලු රටවල සිනමාව අරභයා වරින් වර ඇති වූ ගැටලුය. තුන්වන ලෝකයේ බොහෝ රටවල සිනමාව නැත්තටම නැති වී යාම ඇරැඹුණේ අසූව දශකයේ මැද භාගයේය. කලක් විශිෂ්ට සිනමා සංස්කෘතියක් ගොඩ නැගුණු අප්‍රිකාවේ ඇතැම් රාජ්‍යයන්ගේ සිනමාව පණ ගසා ගත්තේ ප්‍රංශය වැනි ඔවුන්ගේ පැරැණි ස්වාමීන්ට පින් සිදු වන්නටය. බොහෝ රටවල් සිනමාව ගොඩනැංවූයේ ජාත්‍යන්තර හවුල් නිෂ්පාදන සමඟය. අවාසනාව නම් පසුගිය දශක ගණනාව පුරා අපේ සිනමා බලධාරීන් පැලැස්තර දැම්මේ ද ඒ ඒ වකවානුවල අරක් ගත් ඇතැමුන්ට ඕනෑ ඕනෑ පරිද්දෙන් පමණි. එකක්වත් දීර්ඝකාලීන විසඳුම් නොවේ. පසුගිය කාලය මුළුල්ලේ කෑගැසුණු චිත්‍රපට පිටපත් සීමාවත් එබඳු ආසන්නම සිදුවීමකි.

චිත්‍රපට මණ්ඩල පිළිබඳ වර්තමාන ක්‍රමවේදය පවා යල් පැන ගිය එකකි. වර්තමාන ක්‍රමවේදය ඇතුළත ඉතා දැකුම්කලු චිත්‍රපට නගරයේ කසිකබල් ශාලාවලට යති. අලුත් සිනමා ශාලා මැස්සෝ ඇහිරෙති. අලුත් ආයෝජකයන් ශාලා ගොඩ නඟන්නට බය නැතිව අත තබන්නේ කෙසේද? නගරයක අලුත් ගොඩනැගිලි සහිත භූමියේ වටිනාකම් අනුව ශාලාවක් ලාභ උපයන්නට නම් ඔහුට හොඳ චිත්‍රපට ලැබිය යුතුය. යල් පැනගිය සිනමා මණ්ඩල ක්‍රමවේදය අබිබවා සිනමා ශාලා හිමියා හා නිෂ්පාදකයා අතර එකඟතාවය ඇති කර ගන්නා ක්‍රමවේදයක් ඉක්මනින් මතු නොවන්නේ නම් ලාංකික චිත්‍රපට කර්මාන්තයේ ඉතිරි වනුයේ එදා සිට චිත්‍රපට බැලූ ප්‍රේක්ෂකයා පමණි. අද සහ හෙට කොළඹට තදාසන්නව අලුත් සිනමා ශාලා දෙකක් විවෘත වෙයි. මේ සිනමා ශාලා එදා තිබූ චිත්‍රපට මාලිගාවන් නොවේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් සිනමාව නමැති දැවැන්ත රූපයේ ආශ්වාදය එය ගෙන එන්නට සමත් වෙයි. එකී සිනමා ශාලා පෙර මෙන් දින සියයේ මංගල්‍යය පවත් වන්නේ නැත. ලෝකයේ කවර රටකවත් පැල් බැඳගෙන දුවන සිනමාවක් අද නැත. එහෙත් දවසින් දවස ප්‍රේක්ෂකයන් සිනමාව නම් මමෝරම්‍ය ලෝකයට වසඟ වෙති. ඔවුහු ශාලා කරා නොඑති. චිත්‍රපට ඔවුන් කරා එති. තරුණ ගැටවරයන් සිය ආත්ම ප්‍රකාශය උදෙසා රූපය භාෂාව කර ගනිති. පෙර මෙන් දළ සේයාපට සොයන්නට ඔවුනට අවශ්‍ය නැත. රසායනාගාර අවශ්‍ය නැත. ඔවුන්ගේ මෙවලම ජංගම දුරකතනයයි. එමෙන්ම එයට තහංචි නැත. නිදහස් අන්තර්ජාලය හරහා ඔවුනට නිර්මාණ වෙළඳ පොළක් ද ගොඩනැඟී ඇත්තේය.

ඩිජිටල් තාක්ෂණයට ලෝක සිනමාවේ පිය මැන්නේ පහළොස් වසරකටත් එපිටය. මේ පිළිබඳව ලංකාවේ මුල් වරට අදහස් පළ කළ සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එහෙත් අද මේ වනතුරු ඩිජිටල් තාක්ෂණය පිළිබඳ බෝලය එහා මෙහා පාස් වෙයි. ඩිජිටල් තාක්ෂණය සමඟ වඩා තීව්‍ර පැහැදිලි රූපයක ආශ්වාදය ප්‍රේක්ෂකයාට ගෙන ඒම එහි නිර්මාණවරුන්ගේ අදහස විය. එහෙත් අප එය භාවිත කරන ලද්දේ නෙගටිව් පටයට යන අධික වියදම කපා දැමීමටය. මෙම ඩිජිටල් තාක්ෂණය සමඟ ලෝකයේ සිනමාව අපේ ප්‍රේක්ෂකයන්ට සමීප විය. අපේ නිර්මාණ බහුලව බිහි වූයේ තුට්ටු දෙකේ අශ්වයා රැගෙන ගඟෙන් පනින්නටය. සිනමා ශාලා ඩිජිටල් තාක්ෂණය වීම ද තවමත් සාකච්ඡා ගණයේය. අද ටෙලිවිෂන් තාක්ෂණය ගෙයින් ගෙට යති. සිනමා ශාලා නවීකරණ විය යුත්තේ මේ වන විට පවතින හොඳම ක්‍රමය විනා ලාභ ක්‍රමය උපයෝගී කරගෙන නොවේ. ඩිජිටල් තාක්ෂණයේ අද පවතින හොඳම දෙය හෙට වන විට යල් පැන යයි. අද අලුත් දේ නොගතහොත් හෙට එළැඹෙන තාක්ෂණය යාවත්කාලීන කළ හැකි නොවන්නේය.

අපේ සිනමාවේ 69 වසර එළැඹෙන අද දවස වන විට එය තවමත් අතීත පුරාජේරුව පමණක් කියවීම කෙතරම් අශෝභනදැයි මම නොදනිමි. එය ගොඩනැඟූ මිනිසුන් අදට වඩා දුර බැලූ බව නම් ඇත්තය. හැටේ දශකයේ බිහි වූ සිනමා කෘති, සිනමා ශාලා සියල්ල එයට සාක්ෂි සපයයි.

ගත වූ දශක ගණනාව මුළුල්ලේ ලෝක සිනමාව වර්ධනය විමේදී මෙරට ප්‍රෙක්ෂකයන්ට සලකන ලද්දේ පොල්කුඩු ගානටය. හදන ඕනෑම හොද්දක් චිත්‍රපට නමින් වෙළෙඳපොළට දැමිය හැකි බව චිත්‍රපට නිෂ්පාදකවරු සිතූහ. හදන ඕනෑම චිත්‍රපටයක් තිරගත විය යුතුය යන නීතිය යටතේ චිත්‍රපට පෙන් වූ ශාලා වැසී යන තත්ත්වයකට පත් විය. පේ‍්‍රක්ෂකයන්ට තමන් තෝරා ගෙන චිත්‍රපට බැලීමේ යතුර හිමි වූ පසුව ද මේ තත්ත්වය අවබෝධ කර ගැනීමට අපේ සිනමා බලධාරීහු අපොහොසත් වූහ. නැතහොත් හොරට නිදන්නා ඇහැරවා ගත නොහැකි යන න්‍යාය ඔප්පු කර සිටියහ.

අද අපේ සිනමාව ඇත්තේ රැකෙනු නැත්නම් තැවෙනු යන න්‍යායෙනි. සිනමාවේ 70 වන නිල ජන්ම දිනය සමරන ලබන අවුරුද්දේ එය තාරුණ්‍යයෙන් පිරි නූතන සිනමා ආශ්වාදය සපිරි ප්‍රේක්ෂකයා සහිත සිනමාවක් වේවා යැයි පතමි. රසිකයකු හැටියට මා සුබ පතන්නට හිතා ඉන්නේ එහෙම දවසක් උදා වූවොත්ය.