වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියෙන් බිහි වූ සිත්තරා දැන් ගී පද රචකයෙක්

සරසවියෙන් බිහි වූ සිත්තරා දැන් ගී පද රචකයෙක්
 

මහනුවර අජිත් ලාල්

තෙලිතුඩින් මවන්නා වූ සිතුවම් ජීවමාන බවේ ප්‍රතිමූර්තියක් බවට පත් කළ හැක්කේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට පමණි. චිත්‍ර කථා සහ කාටුන් ශිල්පී මහනුවර අජිත් ලාල් එලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගත් කලා ශිල්පියෙකි. සිය හැකියාව රාමුවකට කොටු නොකර හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඔහුත් සමඟ කළ සංලාපයයි මේ.

කොහොමද ඔබ චිත්‍ර ශිල්පයට යොමු වුණේ?

කුඩා කාලයේ ඉඳන්ම චිත්‍ර ශිල්පයට ලොකු ඇල්මක් මගේ හිතේ තිබ්බා. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ ඒ හැකියාව ඔපමට්ටම් වුණා. ඒ කාලේ තමයි චිත්‍ර කථා පිළිබඳව උනන්දුවක් ඇති වුණේ. පාසලේදී සුදු ඩ්‍රෝවින් පොත්වල මා විසින්ම නිර්මාණය කරගත් කථාවකට චිත්‍ර කථා නිර්මාණය කළා. පාසලේ මගේ මිත්‍රයෝ මේ කතා පොත් කියෙව්වේ ලොකු උනන්දුවකින්.

ඔබේ මුල්ම චිත්‍රය ප්‍රථම වරට මුද්‍රිත මාධ්‍යයක පළ වුණේ සරසවිය පුවත්පතේ නේද?

සරසවිය පුවත්පතේ 'ජෝට කියන්න' කියලා විකට විශේෂාංගයක් ගියා. සරසවිය පත්‍රයේ පාඨකයින් අසන ප්‍රශ්නවලට පිළිතුරු බැන්දේ අසහාය රංගනවේදී ජෝ අබේවික්‍රම. මම ඇන්දේ ජෝ අබේවික්‍රමයන්ගේ රුව සහිත හාස්‍යය පිරි විකට චරිතයක්. අජිත් ලාල් කියන නම මුලින්ම ප්‍රසිද්ධ පත්‍රයක පළ වුණේ එලෙසින්. ඉන් පස්සේ නෙළුම් කුමාරි, වෙඩික්කාරයා, කැප්ටන් සින්බෑඩ්, ට්‍රී කස් රැජින, රයිනෝ ආදී චිත්‍ර කථා පොත්වලට චිත්‍ර නිර්මාණය කළා.

ඒ වගේම ලේක්හවුස් ආයතනයේ 'මධුර' පත්‍රයට 'සෝමාරිස්' නම් ජනප්‍රිය විකට චරිතය සහිත කාටුන් එකත් නිර්මාණය කරන්න ඉඩකඩ ලැබුණා.

ගීත රචනයටත් ඔබට ඇත්තේ සුවිශේෂී හැකියාවක්?

මගේ මුල්ම පද රචනය 'ඉකිබිඳ වැලපේ සවන මගේ වදනක් නැතිව ඔබේ'. මෙය ගායනා කළේ ජනප්‍රිය ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා.

මීට අමතරව රෙක්ස් ගුණවර්ධන ගැයූ 'තනි වී හඬන තරම්, කීර්ති රත්නායක ගැයූ දුන්හිඳ දිය ඇල්ලේ, විනී පෙරේරා ගැයූ සුදු පෙණරැළි, සම්පත් ශ්‍රී සෙනෙවිරත්න ගැයු එක සෙවණේ හිඳ ඔවදන් දුන්, මගේ අතින් නිර්මාණය වූ ගී පදවැල් කිහිපයක් පමණි.

ඒ වගේම ගායක නාමල් උඩුගමගේ හඩින් ගැයූ 'ඇස ඉල්ලුව දේ - හිත ඉල්ලුව දේ ඉස්සර දුන්නෙමි මම' ඔහුගේ 'ආදරය නිසා' සංයුක්ත තැටියේ ඇතුළත් ගීතයක්.

ඔබ මෙතෙක් ආ ගමනේ අතහිත දුන් අය ගැන මතක් කළොත්?

ඉතාම කුඩා වචනයකින් පවා මා දිරිගැන් වූ අය ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම මගේ පවුලේ සියලු දෙනාවත් මතක් කරනවා.

ඔබේ හෙට දවස ගැන කෙටියෙන් කිව්වොත්?

මගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට මේ දිනවල චිත්‍ර නිර්මාණය කරනවා. ගීත රචකයෙක් ලෙස ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.

ඔහුගෙ දු. අ. 072-3285551.