වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




හුඹස්වෙල නිසා මාව ජනප්‍රිය වුණා

හුඹස්වෙල නිසා මාව ජනප්‍රිය වුණා

ආර්. ජී. සිරිවර්ධන

හුඹස්වෙල මහත්තයාගේ එකම දියණිය පාතාල කල්ලියක් විසින් පැහැරගෙන ගියේ කප්පම් ගන්න. ඒ හරියටම ඇයගේ මංගල දිනයේදීයි. තමන්ගේ පණ වගේ දුව බේරා ගන්න සල්ලි දුන්නත් හුඹස්වෙලට අවසානයේදී සල්ලිත් නෑ, දුවත් නෑ. කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ එන මේ සිදුවීම් පෙළ ඔබට අමතක නැතුව ඇති.

එහි හුඹස්වෙලගේ චරිතයට පණ දුන්නේ ආර්. ජී. සිරිවර්ධන. කාලයක් පුරා සිනමාවේ, ටෙලි නාට්‍යවල වගේම වේදිකාවේත් විවිධ චරිතවලට පණ දුන් ඔහු ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුණේ හුඹස්වෙල චරිතයට පණ දුන්නාට පසුවයි. පාරේ බැහැලා යන විට ඔහුට ප්‍රතිචාර වශයෙන් ලැබුණේ 'පුඤ්ඥේ' කියන ආමන්ත්‍රණයයි. මේ නිසා විශාල සතුටකින් සිටින ආර්. ජී. පසුගියදා සරසවියටත් ඇවිත් යන්න අමතක කළේ නැහැ.

ඉතිං කොහොමද? මේ දවස්වල අලුත්ම විස්තර මොනවාද?

ගොඩක් සතුටින් කාලය ගත කරනවා. උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ රංගනයෙන් පසු විශාල රසික ප්‍රතිචාරයක් ලැබුණා. එහි හුඹස්වෙලගේ චරිතයට වැවූ රැවුල කාලයක් යනකල්ම තිබුණා. ඒ නිසා මිනිසුන් මාව හොඳින් හඳුනා ගත්තා. පුඤ්ඤෙ, පුඤ්ඥේ කියලා ඇතුම් අය කෑ ගහන කොට මගේ බිරිඳට තරහත් යනවා. ඒ නිසා මම රැවුල කැපුවා. රැවුල තිබුණා නම් තාමත් ජනප්‍රියයි.

රැවුල නැතිනම් ජනප්‍රියතාවයක් නැහැ?

ගොඩක් අයට මාව හුඹස්වෙල විදියට හඳුනාගන්න ඒක ලොකු වාසියක් වුණා. මම මේ දක්වා දායක වූ නිර්මාණ අනුව ලබාගත් ජනප්‍රියතාවය තාමත් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ.

ඔබ මේ දක්වා පැමිණි ගමන සිහිපත් කළොත්?

මගේ පදිංචිය මහනුවර. මට අවුරුදු පහ සපිරෙන විට අපේ අම්මා ජීවතුන් අතරින් සමු ගත්තා. තාත්තා වෙන කටයුත්තක් කරගත්ත නිසා මාව හදා වඩා ගන්න එක භාර වුණේ අපේ ආච්චි අම්මට. ඇය මහයියාව හන්දියේ බුලත් විට, පළතුරු වෙළදාම් කරලයි මාව උස් මහත් කළේ. බුරුම ආවාසයේ ඉඳලා තමයි මම ඉස්කෝලේ ගියේ. එම්. ජී. සුගතදාස මාස්ටර් මට සරසවි කලායතනයට එන්න කියලා මුලින්ම චිත්‍ර කලාව ඉගැන්නුවා.

සිලෝන් තියටර්ස් සමාගමේ ඊලියන් එස්. පෙරේරා මහතා සහ ශාන්ති අබේසේකර හඳුනා ගැනීම නිසා සිදාදියෙන් හයක් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. කොළඹින් දුරස්ව සිටින නිසා මට නිර්මාණ රැසකට දායක වෙන්න අවස්ථාව මඟහැරුණා. කෝලම්කාරයෝ, ලොකුම හිනාව, සිහසුන, ආසයි මට පියාඹන්න, රන් කෙවිට ධ් වැනි චිත්‍රපට කිහිපයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ කෝලම්කාරයෝ චිත්‍රපටය ගොඩක් සුවිශේෂයි. එහිදී එඩී ජයමාන්න, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන්ගේ හමුවීම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ටයිටස් තොටවත්තයන් හඳුනා ගැනීම නිසා එතුමාගේ නිර්මාණවලට ද දායක වෙන්න අවස්ථාව ලැබීමත් වාසනාවක්.

වේදිකාවත් ඔබට විශේෂ තැනක්?

1975 වසරේදී මම 'පොරකටුවෝ' නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එය මොරටුව නව මඟ යන්නෝ නාට්‍ය සංගමය සංවිධානය කළ නාට්‍ය උළෙලේදී සම්මාන හතක් දිනා ගන්න සමත් වුණා. 2009 වසරේදී 'කට්ට මොට්ට' නිර්මාණය කළා. ඊට අමතරව නාට්‍ය සමඟින් සාරධර්ම වැඩසටහන් මඟින් දූ දරුවන්ගේ යහපත් ආකල්ප වර්ධනයට වැඩ සටහන් ඉදිරිපත් කරනවා. ඒ හරහා මට විශාල තෘප්තියක් ලැබෙනවා. රටේ අනාගතය භාර ගන්නා දරුවන්ට යහපත් දේ ලබාදීම අපේ වගකීමක් වගේම යුතුකමක්.

පසුගියදා ඔබ සම්මානයටත් පාත්‍ර වුණා?

වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර ඔස්සේ කලාවේ උන්නතිය වෙනුවෙන් කළ සේවය අගයන මිහිඳු සංස්කෘතික පදනමෙන් සුවඳ පත්ම සම්මානය මට ප්‍රදානය කළා. ඒ වෙනුවෙන් එහි සභාපති කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතාට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. 1996 වසරේදී රත්නදීප සම්මානයත්, 2010 වසරේදී කලාභූෂණ රාජ්‍ය සම්මානය ලැබීමත් මගේ කලා ජීවිතයේ වටිනා සිදුවීම්.

කලා ක්ෂේත්‍රයට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

කලා හැකියාව පිහිටීමත් වාසනා ගුණයක්. මටත් විවිධ නිර්මාණ රැසකට දායක වෙන්න ලැබුණේ ඒ වාසනාව නිසා. මේ දක්වා ලැබුණු අවස්ථා ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඒ වෙනුවෙන් මට මඟ පාදා දුන් සියලු දෙනාටත්, අධ්‍යක්ෂවරුන්ටත් වගේම ආදරණීය රසික රසිකාවන්ටත් මා ගෞරව කර සිටිනවා. ආර්. ජී. සිරිවර්ධන, ඩී 67, පොල්වත්ත, ගොහාගොඩ පාර, කටුගස්තොට ලිපිනයට මා වෙනුවෙන් රසික ඔබේ අදහස් දක්වන්න පුළුවන්.