වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ්-චරිතා යළිත් යුගදිවියට

එඩ්වඩ්-චරිතා යළිත් යුගදිවියට

බේරේ වැව දියරැළි සිහින් ස්වරයක් නංවමින් සෙමෙන් ගලා බසින්නේ සවනතට මුමුනමිනි. ඒ මිමිනුමේ වෙනදා නැති ලතාවක් ඇතැයි මට සිතුණේ ඉබේම ය. සිහින් මදනලේ සිලි සිලිය ගතට රැගෙන එන්නේ සුවදායක හැඟීමකි. ඒ සුවදායක හැඟිමෙන් සිත පුරවා ගෙනම අපි මේ සන්ධ්‍යාවේ පියමැන්නේ ගංගාරාම පන්සල දෙසට ය. ඒ පරිසරයේ වෙනදා තිබෙන සුපුරුදු ශාන්ත බව අදත් එලෙසම ය. එක් පසෙකින් ඇති බෝ රුකේ බෝපත් සෙලවෙන අයුරු මම බලා සිටියෙමි. ඒ අසලම ඇති භාවනානුයෝගීව වැඩ සිටින හිඳී පිළිමයේ දෙනෙතින් වෑහෙන කුළුණු බර නෙත්වල කාන්තිය පැමිණ සිටින අයගේ සිත් මද වෙලාවකට හෝ දැහැන්ගත කරයි. ඒ දැහැන්ගත වූ සිත් ඇතිව සිටින යුවළක් අප සිටි දෙසට සෙමෙන් සෙමෙන් පා තබමින් ඇවිද ගෙන එනු පෙනෙයි. ඔවුන් වඩාත් හොඳීන් දැක ගනු රිසියෙන් මම එදෙස බැලීමි.

‘එඩ්වඩ් - චරිතා’

මනාලියක හා මනාලයකු ලෙස සැරැසුණු මේ යුවළගේ දසුන දකින කාගේ වුවද සිතට පිවිසෙන්නේ සොඳුරු හැඟීමකි. විවාහ වී වසර විසිපහක් ලැබූ දිනය සමරමින් ජීවිතය නමැති ඔරුව යළිත් නැවුම් ඉවුරක් කරා පදවන්නට පසුගියදා (18 වැනිදා) මේ යුවළම කතිකාකර ගත්තේ ගංගාරාම පින්බිමේ දී ය. ඒ කතිකාවට සුබ පතන්නට පවුලේ නෑදෑ හිතවත්තු මෙන්ම කලා ලොවේ බොහෝ දෙනෙක් එහි පැමිණ සිටියහ. පන්සල් බිම තැනින් තැන විසිර සිටින ඔවුන් අසලට යමින් සුහද අයුරින් වචනයක් තෙපළන්නට එඩ්වඩ් - චරිතා යුවළ අමතක නොකළහ. ඒ ඇවිද යන ගමනේ දී එක් අයකු එනතුරු අනෙක් කෙනා බලා සිටි මේ දසුන දුටු මගේ මතකයට නැඟුණේ ‘එඩ්වඩ් - චරිතා’ ගැයූ ‘මිණි මිණි පොද වැටේවි’ ගීතයේ මේ පද කිහිපයයි.

“බිම් කළුවර ඇවිදින් වැටෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්”

ඒ ගීතයේ පද සෙමෙන් මුමුනමින් සිටි මගේ නෙත නතර වූයේ මංගල යුවළමෙන් හැඳ පැලඳ සිටි කිහිපදෙනෙක් අසල ය. එඩ්වඩ් - චරිතා යුවළ මනාල යුවළක් වූ ඒ දිනයේ සිය යහළු - යෙහෙළියන් ලෙස ඔවුන් ළඟින්ම සිටි ජගත්, ප්‍රියංකර, සමිතා, සංජීවනී අද ද ඔවුන් දෙදෙනා අසලට වී සිටින්නේ නව මනාල යුවළගේ ඒ අතීතය අපට සිහිපත් කරමිනි. ඒ කාලයේ මල් කුමරියන් වී සිටි පූර්ණිකා, ව්‍යංගා සිතාරි දැන් සුන්දර තරුණියන් ය. මල් කුමාරයා වී සිටි ගිහාන් ද සිල්වා දැන් කදිම තරුණයෙකි. මේ සියල්ලන්ගේම එකමුතුවෙන් සැරැසුණු නව දිනයේ චරිතා සැරැසී සිටින ඔසරිය ඈට රැගෙන එන්නේ මනා සුන්දරත්වයකි.

ඊටම ගැළපෙන අයුරින් ඇඳ සිටින එඩ්වඩ් හා අනෙක් පිරිසත් ඒ අතීතය අපට යළි යළිත් සිහිපත් කරයි. එවිට ඒ දිනයේ සිහින් සිරුරැතිව සුන්දරව සිටි යුවතියෝ අද වැඩුණු දරුවන් සිටින මවුවරුන් ය. එහි සිටි තරුණයෝ අද වැඩුණු දරුවන් සිටින පියවරුන් ය. සිසිර අමරබන්දුගේ දෙඅතෙන් හැඩවැඩ වූ ඇඳුම් හැඳ සිටින කාන්තාවන් සුන්දර කළේ චාමිකා ය. ඔවුන්ගේ එකමුතුවෙන් වසර විසිපහක් සමරමින් ගත් මඟුල් පින්තූරය පවසන්නේ මේ තරම් කාලයක් ඇතුළත ළබැඳී වූ සෙනෙහසේ අරුමයයි.

මේ සියල්ලන් අතර එහාමෙහා යමින් සිටි දඟකාර හැඩකාර යොවුන් වියේ සිටි යුවතියකි. ඇගේ උවනේ වූයේ දැක පුරුදු බවකි.

‘ශාරන්‍යා’

එක්වරම මම ඇයව හඳුනා ගතිමි. ඒ එඩ්වඩ් - චරිතා යුවළගේ දියණියයි. ටික කලකට පෙර පැටික්කියක් මෙන් දුව පැන්න ඈ උස්මහත් වී සිටි අපූරුව යැයි මට සිතිණි.

“ ශාරන්‍යා දියණියගේ උපන්දිනයත් අදයි යෙදිලා තියෙන්නේ ”

එඩ්වඩ්ගේ මව පවසන්නේ මිනිබිරියගේ තතු ය. ඇයගේ මුනුපුරු චන්දීප ද අද කදිම තරුණයෙකි.

එක්වරම පැමිණි සියල්ලන්ම එක්වූයේ එකම තැනකට ය. භික්ෂූන් වහන්සේලා කිහිප නමකුත්, කිතුණු පූජකතුමන්ලාගේ සුසංයෝගයෙන් පූජාවකි. පූජාව අවසානයේ පැමිණි සියල්ලන් වෙනුවෙන් සංග්‍රහයකි. ඒ එළවළු පමණක් පිසූ රාත්‍රී කෑමකි.

ජීවිත නැවුම් කරන මේ සොඳුරු සාදය අතර මම යළිත් ඔවුන්ගේ අතීතය දෙසට ඇවිද යමි.

රන්රස සේ ගැළපෙන එඩ්වඩ් - චරිතාගේ මුණ ගැසීම සිදුවන්නේ එඩ්වඩ්ගේ සංගීත ගුරුතුමා නිසා ය. එඩ්වඩ් ගුරුතුමා සමඟ නිතර නිතර චරිතාගේ නිවෙසට ආව ගියේ ය. ඒ නිසාම චරිතාට එඩ්වඩ්ව දැනුණේ පවුලේම අයකු ලෙසිනි. අවසානයේ ගී ගයන කොවුලාණන්ගේ ස්වරයට එහි උන් කෙවිලියගේ සිත් බැඳීණ. ඒ බැඳීම දිගු ගමනකට මුල පිරුණි.

“ අපි දෙන්නාට බොහොම මහන්සියෙන් එකතු වෙලා නිර්මාණ කළා. වැඩ කළා. ඒ අතර හිත්රිදවීම්, දුක, වේදනාව, කලකිරීම් තියෙන්න ඇති කියලා හිතෙනවා. ඒ තරමටම අඬන්නත්, සිනහවෙලාත් තියෙනවා. මේ අතර සමහර වෙලාවට අත හැරලා යන්න හිතෙන්නත් ඇති. එත් අපි අතැරලා ගියේ නැහැ. මේ කොහෙම වුණත් අප දෙන්නාට අපි දෙන්නා නැතුව බැහැ. දෙදෙනාම ඉවසිම ප්‍රගුණ කළා. දෙදෙනා දෙදෙනාටම ගරු කළා. පවුලක් කියන්නේ මේ වගේ හැලහැප්පීම්වලින් යුක්ත සංස්ථාවකටයි. අද අපි ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ ගනිමින් ජයග්‍රහණය කරා ළංවෙලා තියෙනවා.”

මට සිහිපත් වූයේ වරක් චරිතා මා සමඟ කියූ කියුමකි. ඒ කියුමේ බොරු ආල වට්ටම් කිසිවක් නැතැයි මට හැඟී ගියේ මේ මොහොතේ ය. මම හදවතින්ම මේ යුවළට සුබ පැතීමි.

එඩ්වඩ් - චරිතා සුබ මංගලම් !

කාලය මැවූ වෙනසක අරුමේ එඩ්වඩ්-චරිතා යුවළ සමඟ ජගත්, සමිතා, ව්‍යාංගා, සංජීවනී,
පි‍්‍රයංකර, පූර්ණිකා, ගිහාන්