වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ආදරය ගැන සංවේදී වුණොත් ‘සින්ඩ්‍රෙල්ලා’ නොමිලේ

සින්ඩ්‍රෙල්ලා සිනමාපටය නොමිලයේ නැරැඹීමට ආදරවන්තයන් සිය දෙනෙකුට අවස්ථාවක් ලබාදීමට එහි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනී අපේක්ෂා කරයි. ඒ සඳහා ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ තරගයක් මගිනි. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ආදරය පිළිබඳ සංවේදී සංකල්පයක් සනිටුහහන් කොට [email protected]  යන විද්‍යුත් ලිපිනයට එවීම පමණි. ඒවා අතරින් තෝරා ගත් හොඳම ආදර වැකි ලියා එවූ සිය දෙනෙකු තෝරා සින්ඩ්‍රෙල්ලා නැරැඹීමට අවස්ථාව ලබා දෙයි. පෙබරවාරි 05 වැනි සිකුරාදා සවස 5 දර්ශනය මෙම සුපෙම්වතුන් සිය දෙනා වෙනුවෙන් වෙන් කොට ඇත. මෙම තරගයට ඉදිරිපත් විය හැක්කේ වයස අවුරුදු 18 - 25 අතර පෙම්වතකුට හෝ පෙම්වතියකට පමණි. මෙම සංකල්පනා සමඟ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් එවන ලෙසට ඉනෝකා ඉල්ලීමක් කරයි.
 

සරසවි සම්මාන උලෙළ දා

ලීල් ආනන්ද ගජනායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු තිස්දෙවැනි සරසවි නිර්මාණ කෙටි නාට්‍ය උලෙළ පසුගියදා පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී

* හොඳම නළුවා - ‘අයන්න අඩුයි’ - සුජීව නිශාන්ත ජෝශප්

* හොඳම නිළිය - ‘සඳ අමාවකයි’ - තමාලි වාසනා

* හොඳම සහය නළුවා - නැත

* හොඳම සහය නිළිය - ‘සෙළවන පිළිම’ - මාදංගනී පී. තිසේරා

*හොඳම පසුතල නිර්මාණය - ‘සෙළවන පිළිම’ - සචිනි රමීශා

*හොඳම ඇඳුම් නිර්මාණය - ‘සෙළවන පිළිම’ - අංජලිකා බණ්ඩාර

* හොඳම අංගරචනය - ‘අයන්න අඩුයි’ - සමීර නිශ්ශංක

*හොඳම රචනය - ‘ අයන්න අඩුයි’ - සුජීව නිශාන්ත ජෝශප්

*හොඳම රංග වින්‍යාසය - ‘සෙළවන පිළිම’ - රන්දික විමලසූරිය

*විශිෂ්ඨතම ළමා රංගනය (පිරිමි) - ‘හැරීමට තිබේ’ - කවිශ්ක රශ්මික

* විශිෂ්ඨතම ළමා රංගනය (ගැහැනු) – ‘පාට පාට දරුවෝ’ - හසිනි කුලරත්න

*හොඳම සංගීතය - ‘හැරීමට තිබේ’ වේදිකා නාට්‍යය සඳහා

* හොඳම නිෂ්පාදනය - ‘අයන්න අඩුයි’ - සමීර නිශ්ශංක

*හොඳම නිෂ්පාදනය (දෙවන) - ‘සෙළවන පිළිම’ - රන්දික විමලසූරිය

* හොඳම නිෂ්පාදනය (තෙවන) - ‘සඳ අමාවකයි’ - ගාමිණී ප්‍රනාන්දු

*ජනප්‍රියම නාට්‍යය - සෝමපාල ලියනගේගේ ‘හැරීමට තිබේ’

*ජූරියේ විශේෂ සම්මාන - ‘අයන්න අඩුයි’ - තිළිණි දිල්හාරා

‘මරු ඩබල’ - අමිල චින්තක

*කුසලතා සම්මාන - ‘මරු ඩබල’ - යුගාන්ති රංගානි, ‘සඳ අමාවකයි’- රන්දික විමලසූරිය, ‘සෙළවන පිළිම’ - දුලාශා දිවුහාරා, ‘පාට පාට දරුවෝ’ හරිත පෙරේරා, ‘අයන්න අඩුයි’ - සදලි පූර්ණිකා, ‘අයන්න අඩුයි’- තිළිණි නුවන් (පසුතල) යන නිර්මාණකරුවෝ සම්මාන ලැබූහ. - තිලානි

ජාඇල විස්ටාලයිට් හෙට සිට ඇරඹේ

මෙම මස 22 වැනිදා තවත් සිනමා ශාලාවක් ජාඇලදී ආරම්භ වීමට නියමිතය. මිනි තියෙටර් ගණයට අයත් වන එය විස්ටාලයිට් නම් වෙයි. ආසන 200 කින් යුත් විස්ටාලයිට් ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණයෙන් සමන්විතය. එහි තිරගතවන පළමු චිත්‍රපටය වනුයේ ස්ටාර්වෝ(ර්)ස් වේ. ලිබර්ටි ලයිට්, මාතර ස්කයි ලයිට් සහ මහරගම අමටි ලයිට් යන සිනමා ශාලාවන්හි හිමිකාරිත්වය ඇති මූවි වර්ක්ස් සමාගම යටතේ විස්ටාලයිට් පවතිනු ඇත.

හින්දුස්ථානි ශාස්ත්‍රී සංගීත ප්‍රසංගය 22 වැනිදා

පණ්ඩිත් මුකුන්ද් භාලේ සහ ආචාර්ය සුනීතා භාලේගේ මියුරු ගැයුම් සහ වැයුම් ඇතුළත් හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් මෙම මස 22 වැනිදා සවස 6.30 ට ගම්පහ සුමේධ රඟහලේදී පැවැත්වෙයි. හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයට කැමැති සංගීත ලෝලීන්ට මේ සඳහා සහභාගි වන්න යැයි සංවිධායක කමිටුව විසින් ආරධනා කරනු ලබයි.

පොඩි කරදරයක් වුණා ඒත් අපි දිගටම වැඩ

කටකතා බොරු - චන්න පෙරේරා

මේ දිනවල රූගත වන චන්න පෙරේරාගේ නවතම සිනමාපටය වන පුංචි විරයෝහි නිෂ්පාදන කණ්ඩායමට නොසිතූ විරූ කරදරයකට මුහුණදීමට සිදු වුණ බැව් සරසවියට වාර්තා විය. ඒ පිළිබඳ චන්න අදහස් දැක් වූයේ මෙලෙසිනි.

ඔක්කෝටම කලින් කියන්න ඕනෑ අපි වෙනදා වගේම සුපුරුදු පරිදි රූගත කිරීම් සිදු කරනවා. මේ සිදුවීමෙන් කිසිම කෙනෙකුට හානියක් නැහැ. විවිධාකාරයේ කටකතා පැතිරෙනවා. ඒවා සියල්ලම බොරු.

මොනවද එදා සිදු වුණේ?

දිනය හරියටම කිව්වොත් ගිය සෙනසුරාදා. එදින මමයි විජේරත්න වරකාගොඩ සහ අයිරාංගනී සේරසිංහ යන අය නවාතැන්ගෙන සිටියේ රඹුක්කන ප්‍රදේශයේ වෙන තැනක. නිෂ්පාදන කණ්ඩායම මේ කිට්ටුව ඔවුන්ගේ ලොජ් එකේ හිටියේ. ඒ අය එදා වැඩ කටයුතු ඉවර කරලා එදා රාත්‍රී ආහාරය ගන්න අපි හිටිය හෝටලයට ආවා. ටිකක් රෑ වෙලා පිරිස ඒ අයගේ ලොජ් එකට ගියා. පාන්දර එකට පමණ ඔවුන්ට යම් වෙනසක් දැනිලා. ඒ ලොජ් එකට නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු පැනලා මංකොල්ල කන්න පටන් අරන්. අපේ අයට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණාලු.

ඒ විතරක් නෙවෙයි මංකොල්ලකරුවන් අපේ අයට පහර දීලා. දෙවියන්ගේ පිහිටෙන් කාටවත්ම ලොකු ඩැමේජ් එකක් නැහැ. ඔවුන්ට ප්‍රතිකර සැලසුවා මං. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එදිනම තත්ත්වය සමථයකට පත් වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ පොලීසියේ පිරිස අපට ලබා දුන් සහයෝගය. කොළඹ ඉන්න මගේ හිත මිත්‍ර පොලිස් නිලධාරීන් පවා මට කතා කර කර විස්තර ඇහැව්වා. ඒ අයටත් තුති පුදනවා.

සුමින්දගේ සම්මාන හොරු අරන්

කලාකරුවෙකුට සම්මානයක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ ලබන්නට හැකි උපරිම ඇගයීමක්. එහෙයින් සම්මාන වගේ දේවල් මිල කරන්නට බැහැ. කලාකරුවකුගේ දක්ෂතා විදහා දක්වන කැඩපත ලෙස සම්මාන හැඳින්නුවාට එහි වරදක් නැහැ. නැසීගිය කැමරා අධ්‍යක්ෂ සුමින්ද විරසිංහත් අන්න එහෙම සම්මාන දිනූ කලාකරුවෙක්. සරසවිය, ජනාධිපති සම්මාන රැසක් දිනූ ඔහු ලබා ගත්තේ තම දක්ෂතා මනාව කැමරාව මඟින් ඉදිරිපත් කළ හින්දයි.

ඔහු ලැබූ සම්මානයන් ද බොහොමයි'. කියන්නට කණගාටුයි ඔහුගේ ඒ සම්මානයන් සියල්ලම ඊයේ පෙරේදා දිනයක හොරු අරන්. මේ වන විට සුමින්දගේ දියණිය ඉන්නෙත් විදෙස් ගත වෙලා. එහෙයින් සුමින්දගේ සම්මානයන් ආරක්ෂා කරදීමට මෙරටෙහි කවුරුවත් නැහැ. මොනවා වුණත් කවුරු කළත් මේ කෙරුව දේ නම් අන්තිම කැත වැඩක් කියලා කියන්න ඕනෑ. ඒ සම්මාන ගත්ත කෙනාට ඒක වැඩකුත් නැහැනෙ. මොකද ඒවාහි තමන්ගේ නම කොටා ගන්නද. බැහැනෙ. මේ සිදුවීම සරසවිය අප තරයේ හෙළා දකිනවා. ඒ වගේම සුමින්ද වෙනුවෙන් මේ සම්මානය සොයා දෙන්න අපි කවුරුත් උනන්දු වෙනවා නම් ඒක සුමින්ද වෙනුවෙන් කරන ලොකු පිනක්.

හොර D.V.D. නීතියේ රැහැනට

සූරිය අරණ, සරෝජා, සමනළ තටු, සිරි පැරකුම්, මාතා, පුංචි සුරංගනාවි, අබා, ඇහැළේපොළ කුමාරිහාමි සහ ගිනි අවි සහ ගිනි කෙළි යන චිත්‍රපටයන්හි ව්‍යාජ සංයුක්ත තැටි තොගයක් පසුගියදා නුගේගොඩ කොට්ඨාශ වංචා ඒකකය මඟින් අත් අඩංගුගවට ගෙන තිබෙන බව ඒ චිත්‍රපටවල ඩී.වී.ඩී අයිතිය ඇති රුක්මන් සමන්පි‍්‍රය පවසයි . එම ස්ථානයෙන් සොයා ගන්නා ලද සමස්ත ව්‍යාජ තැටි සංඛ්‍යාව 31810 කි. බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම ව්‍යාජ තැටි පිටපත් කොට ඇති අතර මෙම චිත්‍රපටයන් නීත්‍යානුකුලව අවසර ගෙන ඇති රුක්මන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය සිදු කොට ඇත. මෙම ක්‍රියාව සිදු කළ සැකකරු ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර බුද්ධිමය දේපළ පනත යටතේ මොහුට එරෙහිව නඩු පවරන බව පොලීසිය පවසයි.

දේශීය ටෙලි නාට්‍ය කලාවේ අර්බුදයට විසඳුම් සොයා කලාකරුවෝ එක්වෙති

දේශීය ටෙලි නාට්‍යය ක්ෂේත්‍ර යේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයට මූලික විසඳුම් සෙවීම අරමුණු කරගෙන දේශීය ටෙලි නාට්‍ය ශිල්පීන් එකමුතු වීමේ හමුවක් මේ මස 28 වැනිදා පස්වරු 2.00ට කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා

*විදේශීය ටෙලි නාට්‍ය සීමා කිරීම,

*ගුණාත්මක උසස් තත්ත්වයේ දේශිය ටෙලි නාට්‍ය කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා ශක්තිමත්, ස්ථීර පදනමක් බිහි කිරීම (ටෙලි නාට්‍ය ගුණාත්මක බව අනුව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක්),

*දේශීය ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සහය ශිල්පීන් හට ඔවුන්ගේ සේවය වෙනුවෙන් සාධාරණ ප්‍රතිලාභයක් ලබාදීමේ නිත්‍යානුකුල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම

යන යෝජනා ත්‍රිත්වය පෙරදැරිව මේ එකමුතුව සිදුවීමට නියමිත ය. මේ ඔස්සේ ක්‍රියාත්මක වීමට නම්, ප්‍රායෝගික වීමට නම් ඒ සඳහා අදාළ පාර්ශ්වයන් සියල්ල එකමුතුවිය යුතුවෙයි. එනම් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු, නිෂ්පාදන ආයතන, අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන් - ශිල්පිනියන්, තාක්ෂණ ශිල්පීන් - ශිල්පිනියන්, කාර්මික ශිල්පින්, සහය ශිල්පීන්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන, ආයතන, රූපවාහිනි නාලිකා, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජය සහ ප්‍රේක්ෂකයන්ගේ දායකත්වයද මීට ලැබිය යුතු අතර පූර්ව ක්‍රියාකාරී මඬුල්ල එය දකින්නේ ඉදිරියේදී සිදුවිය යුතු යුගයේ ජාතික මෙහෙවරක් ලෙස ය.

මේ ජාතික වගකිම ඉටුකර ගැනීමට සියල්ලන්ටම ඒකරාශී වන්නැයි පූර්ව ක්‍රියාකාරී මඬුල්ල ඔබ සැමට ආරාධනා කර සිටියි.

මායා දිවයින ජාතික රූපවාහිනියෙන්

කැනඩාවේ ඉතා ජනප්‍රිය කතා මාලාවක් වන ‘මිස්ටීරියස් අයිලන්ඩ්’ සිංහල දෙබස් කවා ‘මායා දිවයින’ නමින් මේ මස 18 වැනිදා පටන් සෑම සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙයි.

විද්‍යා ප්‍රබන්ධයක් මෙන්ම වීර කතා මාලාවක් වන මේ නිර්මාණයට පාදක වී තිබෙන්නේ ජුල්ස් වර්න්ස් 1874 දි ලියූ නවකතාවකි. සරණාගතයන් පිරිසක් ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් බේරීමට බැලූනයකින් පලායද්දී බැලූනයට වෙඩි වැදීමෙන් දූපතකට වැටීමත්, ඉන් ඉවත්ව යෑමට නැවක් පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින කාලයේ දී සිදුවන සිදුවීම් රැසක් වටා මේ කතාව ගෙතී ඇත.

මෙහි ප්‍රෑන්ක් වයිටින්, කොලට් ස්ටීවන්සන්, ඇලන් ස්කාෆ්, සී.ඩේවිඩ් - ජොන්සන්, ස්ටෙපන් ලොවට්, ගෝඩන් මයිකල්, ඈන්ඩ් මාසල්, ජෝන් බැක් යන නළු - නිළියෝ මෙහි රඟපාති. කොටස් 22 කින් යුත් මේ කතා මාලාව ඇට්ලාන්ට්ස්, ටැස්මන් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ලිමිටඩ් නිෂ්පාදනයකි.

සුජිත්ගෙන් ‘ඡායා’

සුජිත් පරණවිතාන අධ්‍යක්ෂණය කරන ටෙලි චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා අරම්භ කෙරිණ. පැයක කතාංගයක් වන මෙය නම් කොට ඇත්තේ ඡායා ලෙසිනි. රොෂාන් පිලපිටිය, උදයංගනී කුලතුංග, රියන්ත ප්‍රනන්දු, නිහාල් ගමගේ, නිලංගනී පෙරේරා ආදීහු මෙහි රංගනයෙන් දායක වෙති.

දුටුතැන අල්ලනු ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

කෞශල්‍යා ප්‍රනාන්දුගේ ‘දුටුතැන අල්ලනු’ වේදිකා නාට්‍යය මේ මස වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි.

මෙහි රංගනයෙන් ධනුෂ්ක ඩයස්, ශානක ප්‍රනාන්දු, තිලක්ෂිණී රත්නායක, තිලින පෙරේරා, නිලංක දහනායක, සේවියර් කනිෂ්ක, රුචී අබේවර්ධන, මයුර කාන්චන පෙරේරා, දිලුම් බුද්ධික, පූජන දන්දෙණිය, කුමුදු වික්‍රමතන්ත්‍රි, ගයාත්‍රි ඒකනායක, සමීර ලක්මාල්, තිවංක දොන් රණසිංහ, සුමින්ද සඳරුවන්, හසරින්ද කේසර යන ශිල්පියෝ සහ ශිල්පිනියෝ සහභාගි වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තන ජයකොඩි, ආලෝකකරණය, නැටුම් නිර්මාණය සහ රංග වින්‍යාසයෙන් චන්දන අලුත්ගේ, ඇඳුම් සහ වේදිකා අලංකරණයෙන් තිසර ඉඹුලානගෙනි.

මතකයේ රැඳුණු ගී 24 දා ඇසෙයි

‘මතකයේ රැඳුණු ගී’ ගුවන්විදුලි රසික සංසදය මඟින් ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහනට වසර තිස්දෙකක් පිරිම නිමිත්තෙන් සංවිධානය කරන ගීතමය ප්‍රසංග උලෙළක් මේ මස 24 වැනිදා පසුවරු 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

මෙහිදී ප්‍රවීණ ගායක - ගායිකාවන් රැසක් හා මේ සංසදයේ ශිල්පීන් ගී ගැයීමට නියමිත අතර පැරැණි කලාකරුවන් හා කලාකාරිනියන් දස දෙනෙකුට උපහාර පිදීමට ද නියමිතය. ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහනෙන් ප්‍රචාරය වූ ගීත පිළිබඳ විද්වත්හු කිහිපදෙනෙක් ද එදිනට විචාර පවත්වති. එදා ගීත එදා ශ්‍රවණය කළ ආකාරයටම සංගීතය සපයන්නේ සංගීතවේදී රෝහණ බෝගොඩ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

මැති - ඇමතිවරුන්ගේ සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ උලෙළට සහභාගි වන්නන්ට මුදල් අය කිරීමක් නොකරනු ඇත. උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මේ ප්‍රසංගය සාර්ථක කර ගැනීමට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නිතිඥ නන්ද මුරුත්තේට්ටුවේගමගේ පූර්ණ සහයෝගය ලැබෙන අතර මේ කටයුත්තට උපදේශකත්වය ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස්ගෙනි. -