වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




පේ‍්‍රමය ගැන නිර්මාණ කිරීම පහසු නැහැ

පේ‍්‍රමය ගැන නිර්මාණ කිරීම පහසු නැහැ

පෙම්යුවළක් ඕනෑකර තිබේ” ගෙන එන උදයසිරි වික්‍රමරත්න

‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යය මඟින් වේදිකාවට වෙනස්ම ආකෘතියක් රැගෙන පැමිණි උදයසිරි වික්‍රමරත්න ඊළඟට ඔබ හමුවන්නේ ‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ’ වේදිකා නාට්‍යය සමඟිනි. ඒ වේදිකා නාට්‍යය මේ මස 29 වැනිදා පස්වරු 6.30ට බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවෙයි. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යර්ථීන්ගේ සංගමයේ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිසය. මේ දිග හැරෙන්නේ ඒ වේදිකා නාට්‍ය පිළිබඳ හා වේදිකා නාට්‍ය කලාවේ අද වනවිට ඇති විවිධ ගැටලු පිළිබඳ උදයසිරි වික්‍රමරත්න සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.

‘පෙම් යුවළක් ඕනෑකර තිබේ’ කියන ඔබගේ මේ නාට්‍යයට පාදක වෙන්නේ ආදරය කියන කාරණයයි?

ඉතිහාසයේ ඉඳන් ආදරය සාහිත්‍ය කලාවේ ප්‍රධාන මාතෘකාවක් වුණා. කාලිදාසගේ ශාකුන්තලයේ, රාමා - සීතා කතාවල ප්‍රධාන මාතෘකාව වුණේ ආදරයයි. උත්තරීතර ආදරයයි. පරමාදර්ශී ආදරය ගැන හැමතැනම කතා වුණා. නමුත් අද වනවිට සාහිත්‍ය ඇතුළු කලාව ඇතුළේ ඒ ගුණය බොහෝ දුරට දුරස් වෙලා ගිහින්. අපට කලාව ඇතුළේ තිබෙන ඒ අඩුව දැනෙන්න පටන්ගෙන තියෙනවා. කලාවෙන් මිනිස්සු ඈත් වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇතැයි මම සිතනවා. ඒ අඩුව පුරවන්න නාට්‍ය කලාව ඔස්සේ දරන උත්සාහයක් ලෙසයි මේ නාට්‍යය වේදිකා ගතවෙන්නේ.

ආදරය වැනි කාරණයක් වේදිකා නාට්‍යයකට රැගෙන පැමිණීමේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොම ද?

ආදරය, ප්‍රේමය කියන කාරණා නිර්මාණයකට අරගෙන එන්න අසීරු දෙයක්. අද වනවිට ප්‍රේමය ගැන විවිධ ටෙලි නාට්‍ය හැදෙනවා. නවකතා ලියැවෙනවා. ඒ එකක්වත් අපට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංකල්පය හරියට නිර්මාණයකට නොපැමිණියහොත් ඒ නිර්මාණය ආසාර්ථක වන බවයි අපට පෙනෙන්නේ.

දේශපාලනය වගේ තේමාවක් අරගෙන නිර්මාණයක් කරන්න පහසුයි. එහෙත් ආදරය, ප්‍රේමය වගේ තේමාවක් ගැන නිර්මාණයක් කරන්න අපසුයි. උදාහරණයක් විදියට ආදරය නිරූපණය කරන ජෝතිගේ හඬ ගත්තොත් ඒ හඬට ඇරෙන්න වෙනත් හඬකට ආදරයට ඒ අර්ථය දෙන්න අපහසුයි. විජය, මාලිනී, ගාමිණී වැනි දැවැන්ත නළු නිළියන්ට ඇරෙන්න වෙනත් දුර්වල අයට ඒ ආදරණීය චරිතයේ තැනට එන්න අපහසුයි. ඒ වගේම චිත්‍රපටයක් ගත්තොත් තිරනාටකය, රංගනය, සංගීතය කියන සියලුම අංශ හරියට ගැළපුණොත් විතරයි ඒ ප්‍රේමය කියන උත්තරීතර සංකල්පය නිර්මාණයක් බවට පත්වෙන්නේ. අපිත් ඒ අභියෝගය භාරගෙනයි මේ නාට්‍ය නිර්මාණය කළේ. මෙතෙක් වේදිකාවේ නිර්මාණය නොවුණු දෙයක් මා මේ නාට්‍යය හරහා සමාජයට ගෙනැත් තිබෙනවා.

‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ’ වේදිකා නාට්‍යයෙන් ඔබ කතා කරන්නේ පරමාදර්ශී ආදරයක් පිළිබඳයි?

හරියටම හරි. මෙතැනදි මෙහෙම ප්‍රශ්නයක් පැන නැඟුණා. නළු - නිළියන් ගත්තොත් ඒ අයට ආදරය පිළිබඳ කතා පුවත්වල රඟපාලා පුරුදු නෑ. නාට්‍ය කණ්ඩායමක් විදියට මුලින්ම ඒ කාරණය තරමක් අපහසු වුණා. ඒත් කාලයක් යද්දි මේ නිර්මාණයත් සමඟ ඔවුන් බැඳුණා. මීට අමතරව පරමාදර්ශී ආදරයක් අද සමාජයේ දකින්නට නොලැබුණත් සමාජයේ සංයමයක්, පාලනයක් ඇති වෙන්නේ පරමාදර්ශයක් පෙනෙන්න තියෙන විටයි. එහෙම දෙයක් නොමැති වුණොත් සමාජය වැටෙන්න තිබෙන තැනේ කෙළවරක් නැහැ.

අද සමාජයේ ඇති වී තිබෙන මේ තත්ත්වයද පරමාදර්ශ ආදරය වැනි මාතෘකාවක් නිර්මාණයකට හේතුපාදක කර ගන්නට ඔබගේ සිත යොමු කරන්නේ?

උදාරණයක් විදියට පන්සිල් පද පහ ගන්න. පන්සිල් පද පහ ආරක්ෂා කළ යුතුයි, වැදගත්, වටිනවා කියන කාරණා හැමදාම සමාජය ඇතුළේ නඩත්තු වෙනවා. මිනිස්සු බොරු කියනවා කියලා පන්සිල් පද පහ පරමාදර්ශයක් විදියට අපි ඉවත් කරන්නේ නැහැ. ඒ වගේමයි ආදරය පිළිබඳ නොයෙක් කතා, නොයෙක් ප්‍රශ්න තිබෙනවා. එහෙත් උත්තරීතර ආදරය කියන පරමාදර්ශය සමාජය ඇතුළේ නඩත්තු කිරීම මඟිනුයි මේ සමාජය රැකෙන්නේ. සමාජය පහළට වැටෙන තත්ත්වයෙන් වැළකෙන්නේ. එයයි ඉතිහාසයේ පටන් පැමිණි නිර්මාණවලින් සිදුවුණේ.

කරුණාසේන ජයලත් වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණවලින් ඒ සංයමය නිර්මාණය වුණා. එහෙත් ආදරය සම්බන්ධයෙන් අද ඇතිවෙලා තිබෙන ඛේදවාචකවලට හේතුව ඒ පරමාදර්ශ කලා කෘති මඟින් නඩත්තු නොකිරීමයි. අදත් අපි ඒ හැත්තෑවේ දශකයේ නිර්මාණාකරුවන්ගේ නිර්මාණවලට ආදරය කරන්නේ ඇයි? කරුණාසේන ජයලත් වැනි නිර්මාණකරුවකුගේ නිර්මාණ අදටත් අලෙවි වන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්න විමසන විටයි අද කලාව ඇතුළේ මේ වගේ අඩුවක් පවතින බවවත් අපට පෙනෙන්නේ. ඒ නිසා අද වනවිට ටෙලි නාට්‍ය, චිත්‍රපට, නවකතාව කියන කිසිම මාධ්‍යයකින්වත් මේ කාරණය ප්‍රමාණාත්මකව සාකාච්ඡා නොවෙනවා කියන විශ්වාසයත් සමඟයි මා මේ උත්සාහය දැරුවේ. එය නිර්මාණය වෙන්නේ මා බසයක් ඇතුළේ යනවිට ඇස ගැටුණු පෙම් යුවළක් මාර්ගයෙන්.

අද අප සිටින විසිඑක්වැනි සියවසේ තිබෙන්නේ හැත්තෑව දශකයේ නොතිබුණු සමාජ ක්‍රමයක්. එවැනි සමාජයකට එදා තිබුණු පරමාදර්ශ ආදරයක් ගැන පැවසීමෙන් පලක් වේ යැයි ඔබ සිතනවා ද?
සමාජය පිළිබඳ අපි අවබෝධයක් ගන්නේ කොහොම ද? සමාජයක් සමඟ ගැටෙන්නේ කොහොම ද? කියන කාරණා ගත්තොත් ඒ සියල්ල කළ හැක්කේ අපේ ඇතුළේ යමක් තිබෙනවා නම් පමණයි. ඒ වගේම සමාජය කියන කාරණය විග්‍රහ කරන්න යනකොට කවුරුත් අමතකම කරන ප්‍රධාන කාරණය වන්නේ තමන්වයි. තමන් කවුද කියලා කියන්න තමන්ට අමතක වෙනවා. මේ නිසා එහිදී නිතරම විය යුත්තේ තමන් අමතක කර සමාජය ගැන කතා කිරීම නොවෙයි. තමන් කවුද යන්න දැනගෙන සමාජය විග්‍රහ කිරීමයි. තමන් පිළිබඳ විමසීමේදී ආදරය, කරුණාව, සෙනෙහස ආදී ගුණ ධර්ම රැසක් අප සතුයි. ඒවා යම් කෙනෙකුට ලැබෙන්නේ ආගම හා කලාව හරහායි.

සමාජ ක්‍රමය නිර්මාණය වන්නේත් මේ කියන කලාව, ආගම, සංස්කෘතිය ආදී කාරණා රැසක එකතුවකින්. මිනිස්සුන්ව සංවේදී කරන, සෞම්‍ය කරන්නේ කලාවයි. උදාහරණයක් විදියට අපි ගීතය කියන මාධ්‍ය ගනිමු. ඒ ඔස්සේ මොන ප්‍රශ්නය විග්‍රහ කළත්, ගීතයෙන් කළ යුතු මූලික කාරණය කළේ නැත්නම් ඉන් සමාජයට සිදුවන්නේ හානියක්. ඒ නිසා අදාළ මාධ්‍ය මඟින් ඊට අදාළ දේ පමණක් කරන්නට අපගේ අවධානය යොමුවිය යුතුයි. මම හිතන්නේ ජෝතිපාලගේ ගීතයක් මඟින් මිනිස්සුන්ට ලබාදෙන සංයමය කොයිතරම් ද කිව්වොත් පරපුරක්ම ඔහුගේ ගීත අහලා ශිෂ්ට වුණා. විශ්වවිද්‍යාලවලින් ලබා නොදුන්න හික්මීමක්, සංයමයක් මේ සමාජයට ජෝතිපාල තනියම ලබාදීලා තියෙනවා. ඒ නිර්මාණකරුවන්ගෙන් විය යුත්තක්. මම දකින විදියට මා මේ කරන්නේ ඒ සමාජයේ තිබෙන කලාව කියන අංගය හොඳ තැනක තබමින් රැක ගැනීමයි.

නමුත් මේ නිර්මාණය හරහා ඔබ කළ යුත්තේ පරමාදර්ශී ආදරයට එහා ගිය දෙදෙනා කෙරෙහි තිබිය යුතු අවබෝධය ඉස්මතු කිරීම නොවේද?

නිර්මාණයක කොටසක් අරගෙන ඒ කොටස දෙස බැලීමෙන් ඒ ප්‍රශ්නය නඟන්න පුළුවන්. ඒ කොටස මා නිර්මාණය ගොඩනඟා ගන්න යොදා ගන්න එක් අවස්ථාවක් පමණයි. ඒ නිසා ඔබ විමසුව ඒ ප්‍රශ්නයේ යම් සාධාරණයක් තිබෙනවා. එහෙත් එහි එක්තරා විදියක නොගැළපිමක් තිබෙනවා කියන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම නිර්මාණයක ඕනෑම තැනක අඩුවක් පාඩුවක් තියෙන්න පුළුවන්. නිර්මාණයක් කියන්නේ එක්කෙනෙකුට, දෙන්නෙකුට නොවේ සමස්තයකටම රස විඳීන්න කරන කටයුත්තක්. මෙහි දැක්වෙන කෙනෙකුට අතින් අල්ලන්න නොදීම ආදී කාරණා ආදරයේ චූටි කොටසක් පමණයි.

සමස්ත ආදරය එය නොවෙයි. අනෙක් කාරණය ආදරයේ මූලිකම කාරණය ඒ යැයි මා කොතැනකවත් කියන්නේ නැහැ. ඒ සංකල්පයත් සමඟ මට විදහා දක්වන්න උවමනා වුණු කාරණයක් වුණේ තරුණ තරුණියන්ගේ ආදරයේ දී අමතක කරලා දමන කොටසක් වූ දෙමව්පියන් පිළිබඳයි. ඒ වගේම නිෂ්පාදකයෙක් මුදල්වලට දක්වන ආදරය, නිළියකගේ ආදරය ආදී විවිධ කාරණා මේ ඔස්සේ කතාබහ වෙනවා.

අද වනවිට ‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ’ වේදිකා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර හා නළු - නිළියන්ට ඒ පිළිබඳ තිබෙන අදහස මොනවගේ ද?

මේ නිර්මාණයේ දි මා කටයුතු කළේ විවිධ තරුණ පිරිස් සමඟයි. හැත්තෑව දශකයේ සිනමාව දැක්ක නැති පරම්පරාවක් එක්කයි මා කටයුතු කළේ. ඒ නිසා ඒ අයත් එක්ක මේ කතාව වේදිකාවට ගෙනෙන විට ලොකු මහන්සියක් ගන්නට සිද්ධ වුණා. පසුගිය කාලයේ විශ්වවිද්‍යාලයේ වේදිකා ගතවුණු දර්ශනය වෙනතුරු සමහර ශිල්පීන්ට නාට්‍යය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මේ දර්ශනයේ දි නළු - නිළියෝ දෙබස් කියන්න කලින් විශ්වවිද්‍යාලයේ ළමයි හිනාවෙලා අවසානයි.

ඊළඟ දෙබස් ඔවුන් අනුමානයෙන් වටහාගෙන සිටි නිසයි එහෙම වුණේ. එදා හිතන්න බැරි තරම් ඔවුන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. මේ ආකාරයෙන් විවිධ ස්ථානවලදි විවිධ වූ යහපත් ප්‍රතිචාර අපට ලැබුණා. යම් නිර්මාණයකට ගොඩනඟා ගන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අද වනවිට මේ නිර්මාණයට එහි ඉන්න නළු - නිළියෝ දවසින් දවස ආදරය කරන්න පටන් ගෙන තිබෙන වග මා පවසන්නේ විශ්වාසයෙන්.

ලෝක නාට්‍ය කලාවත් සමඟ ගත්තොත් අද ලංකාවේ නාට්‍ය කලාව කොතැනක තිබෙන බව ද ඔබ විශ්වාස කරන්නේ?

ලංකාවේ නාට්‍ය කලාව ලෝකයේ තියෙන නාට්‍ය කලාවට වඩා ඉදිරියෙන් සිටින බවක් තමයි මට නම් දැනෙන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’, ‘මනමේ’ වගේ නිර්මාණ වසර පනහක් තිස්සේ පවතින්නේ ඒ නිසයි. ඒ හා සමානවම දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑණා’, සුගතපාලද සිල්වා වගේ දැවැන්ත නාට්‍යකරුවකුගේ නාට්‍ය, ජයලත් මනෝරත්නගේ ‘අන්දරේලා’ වගේ නාට්‍ය තවමත් තිබෙන්නේ ඉහළ තලයකයි. ඒ නිසා අපේ නාට්‍ය කලාව තිබෙන්නේ පහළ තැනක නම් ඒ අයට මා පවසන්නේ මේ වගේ නිර්මාණයක් ලෝකයේ කොහෙන් හෝ හොයලා පෙන්වන්න යන්නයි.

අපේ රටේ තිබෙන මේ කාරණා පේන්නේ නැතිව ඒ අය ඒ රටක දුර්වල නාට්‍යයක් මෙහේ විශාල කරලා පෙන්වනවා. ඒක කරන්නෙත් කලාව පිළිබඳ හැකියාවක් නැති, කලාව ඉගෙන ගෙන වචන ටිකක් පාඩම් කරගෙන, වචන ටිකක් දමා ගහන සුළු පිරිසක්. ඒ මොන දේ ඔවුන් කළත් අපේ උරුමය විශාලයි. ලෝකයේ බොහෝ නිර්මාණත් එක්ක ගත්තොත් අපේ නිර්මාණ සමතැනක හෝ උසස් මට්ටමකයි තියෙන්නේ. ඒ කාරණය පෙනෙන්නේ නැති එක පිළිබඳ නම් ප්‍රශ්නයක් තිබෙනවා.

ඉදිරියේදි නව නිර්මාණයකින් අපට නැවතත් ඔබව දකින්නට ලැබේවි ද?

යම් කාර්යයක් සමඟයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. ඒ ගැන ඉදිරියේදි වැඩි විස්තර පවසන්නම්.