වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




බජිරාඕ මස්තානි සම්මාන පිට සම්මාන දිනයි

බජිරාඕ මස්තානි සම්මාන පිට සම්මාන දිනයි

බොලිවුඩයේ සුපිරි තරු ඇගයෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ 61 වැනි සම්මාන උලෙළ පසුගිය 15 වැනිදා මුම්බායිහි යෂ් රාජ් චිත්‍රාගාරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ශාරුක් ඛාන් සමඟින් කපිල් ෂර්මා මෙවර උලෙළේ නිවේදනය කළහ. එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් වෙනුවෙන් නිර්දේශිත නාම අතරට ඇතුළත් වූයේ සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටය යි. එය නාම යෝජනා වූ සම්මාන 12ක් අතරින් සම්මාන 9ක් දිනා ගන්නා ලදී.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූයේ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටය යි. පීකු චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය ඇතුළුව සම්මාන හයක් හිමි විය. ‘ධූම් ලගතේ හේෂා’, ‘රෝයි’, ‘තල්වර්’ සහ ‘තනූ වෙඩ්ස් මනූ රිටන්ස්’ චිත්‍රපට සඳහා සම්මාන දෙක බැගින් හිමි විය. ‘බජිරන්ගී භයිජාන්’, ‘බොම්බේ වෙල්වට්’, ‘දිල් ධඩක්නේ දෝ’, ‘හීරෝ’, ‘මසාන්’ සහ ‘තමාෂා’ චිත්‍රපටවලට එක් සම්මානය බැගින් පිරිනැමුණි.

හොඳම නළුවාට හිමි විචාරක සම්මානය ‘පීකු’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අමිතාබ් බච්චන් හට සහ හොඳම නිළියට හිමි විචාරක සම්මානය ‘තනූ වෙඩ්ස් මනූ රිටන්ස්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කන්ගනා රනවුත්හට හිමි විය.

61 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන ලාභීන්

හොඳම නළුවා - රන්වීර් සිං - බජිරාඕ මස්තානි

හොඳම නිළියදීපිකා පදුකෝන් – පීකු

හොඳම සහය නළුවා - අනිල් කපූර් – දිල් ධඩක්නේ දෝ

හොඳම සහය නිළියප්‍රියංකා චොප්රා - බජිරාඕ මස්තානි

හොඳම අධ්‍යක්ෂණය - සන්ජේ ලීලා බන්සාලි - බජිරාඕ මස්තානි

හොඳම සංගීත අධ්‍යක්ෂණයඅමාල් මලික්, අන්කිත් තිවාරි, මීත් අන්ජාන් - රෝයි

හොඳම පද රචනයඉර්ෂාද් කමිල් - තමාෂා (අගර් තුම් සාත් හෝ)

හොඳම ගායකයාඅර්ජිත් සිං - රෝයි

හොඳම ගායිකාව - ශ්‍රෙයා ගෝෂාල් - බජිරාඕ මස්තානි

හොඳම නැගී එන නළුවා - සුරාජ් පන්චෝලි - හීරෝ

හොඳම නැගී එන නිළිය – භූමි පෙඩ්නෙකර් – ඩූම් ලගාකේ හේෂා

මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ යාවජීව සම්මානය පිරිනැමූයේ, නිළි මෟෂුමි චැටර්ජි වෙතය. ඇය 1973 – 1984 කාලයේදී බොලිවුඩයේ ඉහළම මුදලක් අය කළ නිළියන් අතරේ තෙවැනි ස්ථානයේ පසු වූවාය. ආර්. ඩී බර්මන් සම්මානය යොවුන් ගායන ශිල්පි අර්මාන් මලික්හට පිරිනැමුණු අතර ‘මසාන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නීරජ් ගෙවාන් හොඳම නැගී එන අධ්‍යක්ෂවරයා ලෙසින් පිදුම් ලැබුවේය.