වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය අලුත් මඟක...

තාල ලතාවට ගඟන සරා - හද මඩුළු කරා පියාඹන්න අවසරයි...

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය අලුත් මඟක...

“යුග-යුග හද රැඳි ගී” ප්‍රසංගය මෙම 31 වැනිදා BMICH හිදී...

ශ්‍රී ලාංකික ගායක, ගායිකාවන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය හා ඔවුනගේ සුබ සාධන කටයුතු උදෙසා කිසියම් එකමුතුවක අවශ්‍යතාවය පිළිබඳ එක්තරා සාකච්ඡාවක් අවසන් වූයේ ගායක, ගායිකා සංගමයක් පිහිටුවීමට අවශ්‍ය මුල් බීජය වපුරවමිනි.

ඒ 1990 වසරේ එක්තරා සංගීත ප්‍රසංගයක් නිම වී එකම වාහනයක පැමිණෙන සහෝදර ගායකයන් කිහිප දෙනකුගේ අදහසක් අනුවය. වර්නන් පෙරේරා, සමන් ද සිල්වා, මයිකල් පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, උපාලි පෙරේරා යන ශිල්පීන් එදා එම පිරිස අතර වූහ.

මේ එකමුතුව සඳහා ගායක, ගායිකාවන් ඒකරාශී කිරීමේ වගකීම පැවරුණේ ගායන ශිල්පී උපාලි පෙරේරාටය. ඔහු එම කාර්යය මැනවින් ඉටුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1991 ජනවාරි 29 වැනි දින පෙරවරුවේ කොළඹ සුදර්ශි ශාලාවට එක් රොක් වූ ජනපි‍්‍රය ගායක, ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා ගායික, ගායිකා සංගමය පිහිටුවා ගනු ලැබීය.

ප්‍රථම සභාපති ලෙස සංගීත් නිපුන් සනත් නන්දසිරි තෝරා පත් කරගත් අතර සංගමයේ ලේකම් ධුරය සඳහා පත් වූයේ උපාලි පෙරේරාය. ඔල්බන් පෙරේරා භාණ්ඩාගාරික ලෙස තේරී පත්විය. නිලධාරී මණ්ඩලය සඳහා ජනපි‍්‍රය ශිල්පී, ශිල්පිනියන් විශාල පිරිසක් ද තේරී පත්වූහ.

සභාපති සනත් නන්දසිරි ගේ මෙහෙයවීමෙන් සංගමයේ අරමුදල වෙනුවෙන්. "ගී සියපත" නමින් මහා සංගීත ප්‍රසංගයක් පැවැත් වූ අතර "ගී සියපත" නම යොදනු ලැබුවේ පණ්ඩිත් අමරදේවයන් වීම විශේෂත්වයකි. සංගමයට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා අවමංගල්‍යාධාර ගෙවීම ආරම්භ කළේ ද මෙම කාල සීමාවේය.

දෙවසරක කාල සීමාවකින් පසුව සංගමයේ සභාපති ලෙස තේරී පත්වූයේ එම්. එස්. ප්‍රනාන්දු ය. ඩෙරික් ද සිල්වා ලේකම් ධුරයටත්, රංජන් ජයතිලක භාණ්ඩාගාරික ධුරයටත් තේරී පත් විය. මෙම කාල සීමාවේදී සියලු සාමාජීක, සාමාජීකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උත්සවයක් හා සුහද හමුවක් සංවිධානය කරමින් ගායක, ගායිකාවන් අතර සුහදතාවය වර්ධනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි. සභාපති ධුරය දරමින් සිටිනා අතරතුර එම්. එස් ගේ හදිසි අභාවය සිදුවීම දැඩි සංගවේගයට හේතුවක් විය.

ඉනික්බිත්ව සමස්ත ලංකා ගායක, ගායිකා සංගමයේ සභාපති ධුරය හිමි වුයේ විශාරද එඩ්වඩ් ජයකොඩිටය. ලේකම් වශයෙන් ඩෙරික් ද සිල්වා සහ භාණ්ඩාගාරික ලෙස සමන් ද සිල්වාත් තේරී පත් විය. සාර්ථක සංගීත ප්‍රසංග කිහිපයක්ම සංවිධානය කරමින් සංගමයේ අරමුදල තර කර ගැනීම සඳහා සභාපතිවරයා ඇතුළු නිලධාරී මඩුල්ල මෙම කාල සීමාවේදී ක්‍රියා කරනු ලැබීය.

2003 වසරේ දී ගායන ශිල්පී සමන් ද සිල්වා සභාපති ධුරයට පත්වූ අතර ලේකම් ධුරය හිමිවූයේ උපාලි පෙරේරාටය. භාණ්ඩාගාරික ධුරයට පත් වූයේ සුසිල් ප්‍රනාන්දුය. එතෙක් "සමස්ත ලංකා ගායක, ගායිකා සංගමය" ලෙසින් හඳුන්වනු ලැබූ එම සංගමය "ශි‍්‍ර ලාංකේය ගායක, ගායිකා සංගමය" බවට පත් වූයේ මෙම කාල සීමාවේදීය. එකී කාල සීමාවේදී සාර්ථක සංගීත ප්‍රසංග දෙකක් පවත්වා අරමුදල කර කළ අතර නළු නිළි ගායක, ගායිකා ක්‍රිකට් තරගයක් හා සුහද හමුවක් ද සංවිධානය කිරීම විශේෂත්වයකි.

2012 වසරේ පවත්වන ලද සංවත්සර මහා සභා රැස්වීමේ දී මධුමාධව අරවින්ද සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගත් අතර නැවත වරක් උපාලි පෙරේරා ලේකම් ධුරයට හා සුසිල් ප්‍රනාන්දු භාණ්ඩාගාරික ධුරයට පත් කර ගන්නා ලදී. එම කාල සීමාවේදී සාර්ථක සංගීත ප්‍රසංගයක් පවත්වා සංගමයේ අරමුදල තර ගැනීමට කටයුතු කළ අතර අවමංගල්‍යාධාර දීමනාව ද වැඩි කළේය.

අනතුරුව සභාපති ධුරයට පත් වූයේ ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගොඩය. එහිදී උපාලි පෙරේරා ලේකම් ධුරයටත්, සුසිල් ප්‍රනාන්දු භාණ්ඩාගාරික ධුරයටත් යළි තේරී පත් වීම විශේෂත්වයකි. නිල වෙබ් අඩවියක් විවෘත කිරීම, සාමාජික සුහද හමුවක්, සහ ක්‍රීඩා උත්සවයක් නොමිලේ සංවිධානය කිරීම, අවමංගල්‍යාධාර මුදල් වැඩි කිරීම, රෝහල් ගතවූ අවස්ථාවක සාමාජීක සාමාජිකාවන්ට දීමනාවක් ලබාදීම සහ අරමුදල තර ගැනීම පිණිස සංගීත ප්‍රසංගයක් පැවැත්වීම මෙම කාල සීමාව තුළ සංවිධානය කළ වැඩ සටහන් අතර කැපී පෙනේ.

ඒ සියල්ල දැන් අතීතයට එක් වී හමාරය. නමුදු සංගමයේ අභිවෘද්ධිය පිණිස ක්‍රියා කළ සියලුම නිලධාරීන් හට මෙන්ම සාමාජික සාමාජිකාවන් හට ද මේ මොහොතේ අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය. සංගමයේ උන්නතිය වෙනුවෙන් මහත් ඇප කැපවීමෙන් කටයුතු කළ ඇතැම් කලාකරුවන් දැන් ජීවතුන් අතර නැත. ඔවුන්වද කෘතගුණ පූර්වකව සිහිපත් කිරීම කාගේත් යුතුකමකි. ඒ අතරම අතීතයේ වැරදුණු තැන් වහා නිවැරැදි කර ගනිමින් එකාවන්ව, එක ධජයක් යටතේ වෘත්තීය අභිමානය රැකගෙන ඉදිරියට යාමට අවැසි පසුබිම සකසා ගැනීමට සැවොම කැප විය යුතුය. පෞද්ගලිකත්වය, ස්වාර්තය පසෙක ලා පොදු අරමුණු වෙනුවෙන් කොන්දේසි විරහිතව සැවොම අත්වැල් බැඳ ගත යුතු කාලය දැන් එළැඹ තිබේ.

අන් කවර කලෙකටත් වඩා වැඩි උද්යෝගයකින් හා විශ්වාසනීයත්වයකින් යුතුව වෘත්තීය ගායක, ගායිකාවන් වැඩි පිරිසක් ගායක ගායිකා සංගමය වටා ඒකරාශී වී ඇති වග පෙනෙන්නට තිබේ. ඊට ප්‍රමුඛතම හේතුවක් වන්නේ කාගේත් හොඳ හිත දිනූ, මනා සංවිධාන ශක්තියකින් යුත් ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් සංගමයේ සභාපති ධුරයට තේරී පත්විමය. 2015 සැප්තැම්බර් මස පැවැති මහා සභා රැස්වීමේ දී කීර්ති එසේ සභාපති ධුරයට පත්වූ අතර ලේකම් ධුරයට සුපුරුදු පරිදි උපාලි පෙරේරා තේරී පත්විය. මුල්‍ය කළමණාකරණය පිළිබඳ හසල දැනුමක් ඇති කලක් වෘත්තියෙන් බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මෙවර භාණ්ඩාගාරික ධුරයට තේරී පත්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ අභිනව නිලධාරී මඩුල්ල තේරී පත් වූ පසු ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වූයේ නුගේගොඩ "සංහිද" උත්සව ශාලාවේය. එහිදී සභාපති කීර්ති පැස්කුවල් ගේ පූර්ණ මග පෙන්වීම යටතේ සංගමය මඟින් සිදු කිරීමට නියමිතව ඇති සුවිශේෂ වැඩ සටහන් පිළිබඳ ඔවුන් මෙසේ මාධ්‍ය දැනුම්වත් කළේය.

එහි ප්‍රථම පියවර ලෙසින් මෙම ජනවාරි 31 වැනි දින සවස 7.00 ට "යුග - යුග හද රැඳි ගී" ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. "ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයට වසර විසි පහක් පිරීම නිමිත්තෙන් හා ඉදිරි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ගී ප්‍රසංගය සංවිධානය කර තිබේ. එයින් ලැබෙන ආදායම ඔස්සේ සංගමයේ අරමුදල තර කර ගනිමින් පහත සඳහන් ප්‍රතිලාභ සංගමයේ සාමාජීක, සාමාජිකාවන් හට ලබා දීම බලධාරීන්ගේ ප්‍රධානතම අරමුණු වේ. ඒ පහත සඳහන් පරිදිය.

සංගමයේ සාමාජිකත්වය හිමි ගායන, ගායිකාවන් සඳහා යම්, යම් තෝරා ගත් විශේෂ සහ පෞද්ගලික ආයතනවලින් වට්ටම් සහිතව භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ කාඩ්පතක් ප්‍රදානය කිරීම එහි එක් අංගයකි. 10% සිට 25% දක්වා වට්ටම් ලබා දීමට මේ වන විටත් ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් තම එකගතාව පළකර තිබේ. වයස අවුරුදු හැටපහ ඉක්මවූ සාමාජික සාමාජිකාවන් හට මාසිකව රු. 10,000 ක විශ්‍රාම වැටුපක් ලබා දීමට මෙන්ම සාමාජික සාමාජිකාවන් රෝහල් ගත කෙරෙන අවස්ථාවන්හි රු. 75,000 ක් දක්වා වූ ගෙවීමක් සිදු කිරීමට සංගමය බලාපොරොත්තු වේ. එමෙන්ම අවමංගල්‍යයකදී රු. 75,000 ක දීමනාවක් ලබා දීමට ද මේ වනවිට කටයුතු සම්පාදනය කර තිබේ. ඊට අමතරව සියලුම සාමාජිකයන් සඳහා වසරකට රුපියල් ලක්ෂයක සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම ද විශේෂත්වයකි.

පෞද්ගලික සමාගමක් මඟින් සියලුම සාමාජිකයන් අතර නොමිලේ කතා කිරීමට හැකිවන සේ දුරකථන ලබා දීමට ද අදහස් කෙරේ. ගීතවල අයිතිය තහවුරු කිරීම මෙන්ම කර්තෘ භාග නොගෙවීම් සහ වෙනත් නීතිමය ප්‍රශ්නවලදී සංගමයේ මැදිහත් වීමෙන් නීති උපදෙස් ලබා දීම ද සිදු කෙරේ. සියලුම ගායක ගායිකාවන්ගේ බුද්ධි වර්ධනය, මානසික වර්ධනය, සාහිත්‍ය දැනුම, සංගීත ඥානය වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම ද අනාගත වැඩ පිළිවෙලේ සුවිශේෂී අංගයක් වනු ඇත.

සියලුම ගායක ගායිකාවන් අතර සාමුහිකත්වය වර්ධනයකර ලාංකේය අභිමානය රැගෙන ගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට වැඩ පිළිවෙළක් සකස්කර දීමට ද සංගමය බලාපොරොත්තු වේ. අකර්මන්‍යතාවයට පත්වන හෝ අසරණභාවයට පත්වන කලාකරුවන්ගේ සුබ සාධනය උදෙසා සුවිශේෂ වැඩ පිළිවෙළක් ද දියත් කෙරේ.

මේ වනවිට දැඩි සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටිනා ගායන ශිල්පී පි‍්‍රන්ස් උදය පි‍්‍රයන්ත හා ප්‍රවීණ ගායක ගායිකාවන් දෙපළක් වන ඇන්ටන් ජෝන්ස් හා අයිරින් ද අල්විස් වෙනුවෙන් කිසියම් ආධාර මුදලක් ලබා දීමට සංගමය තීරණය කර තිබේ. ඉදිරියේ දී මිලියන 30 ක පමණ මුදලක් එකතු කොට භාරකාර අරමුදලක් පිහිටුවා එමඟින් මෙවැනි කාර්යයන් සඳහා පිරිවැය ලබා ගැනීම සංගමයේ අපේක්ෂාව වේ.

පූර්ණ විනිවිද භාවයකින් යුතුව එකී කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති අතර පොදුවේ ගායක, ගායිකා සංගමයට හෝ රෝගාතුරව සිටිනා ශිල්පියකු වෙත පෞද්ගලික ආධාර මුදලක් ලබා දෙන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් ලංකා බැංකුවේ SriLanka Singers Protection Trust Fund නමින් ඇති අංක 78432405 දරන ගිණුමට බැර කරන මෙන් සංගමය කාරුණිකව දන්වා සිටියි.

විසි පස් වසරක් පුරා ඈතට දිවෙන ගායක, ගායිකා සංගම් ඉතිහාසයේ මුල් වරට නිල තේමා ගීතයක් එළි දුටුවේද මෙවරය. ප්‍රවීණ මෙන්ම නවක ගායක, ගායිකාවන් රැසකගේ දායකත්වයෙන් ගීතවත් වන මෙම ගීතයේ පද රචනය ප්‍රවීණ ගේය පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහගෙනි. මියුරු සත්සර රටා මවමින් එකී ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.

ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමයේ ඉදිරි ගමනට "සරසවිය" මෙසේ සුබ පැතුම් එක් කර සිටියි.