වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඇස් උඩ යන රහසක්

ඇස් උඩ යන රහසක්

‘ටීන් වුල්ෆ්’, ‘ද ලෙෆ්ට් ඕවර්ස්’ වැනි නිර්මාණ සමඟින් ඉහළ ප්‍රසිද්ධියක් ලබා කාගේත් අවධානයට ලක් වූ චාලි කේටර් මේ දිනවල ප්‍රධාන මාතෘකවක් බවට පත් වී සිටින්නේ වෙනස්ම කාරණයක් නිසා.

විසිහත් හැවිරිදි මේ තරුණ නළුවා පවසන්නේ තමා සමලිංගිකයෙකු බවයි. ඔහු ඒ බව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් කරලා. තරුණ වයසේදී තමා තමන්ට උවමනා කෙනා බවට පත් විය යුතු බව චාලිගේ අදහසයි.

“කාලයක් මට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනි වුණා. තවත් කාලෙක මට පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්නත් ආසාවක් ඇති වුණා. තරුණ වයසේදී මට නළුවෙක් වෙන්න ඕනි වුණා. මම නළුවෙක් වුණා. ඒ වුනත් මම අනෙක් කොල්ලන්ට වඩා වෙනස්” යැයි චාලි පවසනවා.

හැඩ රුවෙහි හැඩ

හොලිවුඩ් නිළි කේට් හඩ්සන්ගේ සුන්දරත්වය හැමදාම තියා ගන්නේ කොහොමද කියලා හැමෝම විමසන දෙයක්. ඡායාරූපවල ඇයට ඉතාම සුන්දර ලෙස පෙනී සිටීමට හැකි වීම පිළිබඳ පසුගිය දවසක ඇය ස්තූති කළේ තමන්ගේ ආහාර රටාවටයි.

කෑම බීම පිළිබඳ නීනි රීති කිහිපයකට යටත්ව දින දහයක් ඇතුළත සිරුර සකසා ගත හැකි බව කේට් පවසනවා. මස් සහ පිෂ්ඨය සහිත ආහාර අනුභවය වගේම සීනි පරිභෝජනයෙන් ද ඇය බොහෝ දුරස් වෙලා. “මම කෑම කන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. ඒ වගේම මගේ සිරුර නිරන්තරයෙන් නිරෝගීව තබා ගන්න මම වෙහෙසෙනවා” ඇය පවසනවා.

ශාරිරික යෝග්‍යතාවට අවධානය යොමු කරමින් මාංශ පේෂීන් සවිමත්ව තබා ගැනීම නිසා තමන්ට ඕනෑම මෝස්තරයක ඇඳුම් තෝරා ගැනීමට හැකිවීම පිළිබඳ කේට් සිටින්නේ ගොඩක් සතුටින්. මේ නිසා තමන්ගේ සුන්දරත්වය වැඩි වී ඇති බව ඇය පැවසුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.