වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




දෙදිනකදී සමුගත් සිවුදෙනෙක්

දෙදිනකදී සමුගත් සිවුදෙනෙක්

සෙනසුරාදා හැන්දෑව ගෙවෙමින් පැවතිණ. ඊට පෙරදා තෛපොංගල් දිනය බැවින් එය දිගු සති අන්තයක් විය. සිකුරාදාව ආරම්භවීමත් සමඟ අපට ලැබුණේ කණගාටුදාක ආරංචි දෙකකි. ඒ චන්ද්‍රසිරි කොඩිතුවක්කු හෙවත් අබිලිං සහ ගීත රචක ශාන්ත දේශබන්ධු හදිසියේම අභාවප්‍රාප්ත වූ බවය. ඒ වන විටත් සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා සහ චිත්‍රපට නිෂ්පාදක වෛද්‍ය එන්. එස්. නිරංජන් අප අතරින් සදහටම සමුගෙන ඇති බව දැන අප කම්පා වෙමින් සිටියෙමු. සිකුරාදා ලද පුවත හේතුවෙන් අපි තවත් ශෝකයට පත් වුණෙමු. ඒ අනුව බලන කළ ඉකුත් සති අන්තය අප කලා කෂේත්‍රයට අභාග්‍ය සම්පන්න එකක් විය. සරත් සිල්වා යනු අපට සිටි පැරැණිතම සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කලා ජීවිතයට දශක හතරක් ඉක්මවා ගොසිනි. වයස කිව්වහොත් ඔහු මිය යද්දී හැට පැනලාය. එනමුදු සිනමාවේ යම් උත්සයක් වේද ඔහු ඊට පැමිණියේ දහ අටක තරුණයකු පරිද්දෙන් ජවසම්පන්නවය.

1954 පෙබරවාරි 14 එනම් ආදරවන්තයින්ගේ දිනයේ උපන් සරත් ඉගෙනුම ලැබුවේ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේය. පාසල් වියේදීම ජිම්නාස්ටික් ක්‍රීඩාවට පෙම් බැඳි හෙතෙම ජේමිස් පෙරේරා නමැති ගුරුවරයා යටතේ ජිම්නාස්ටික් කලාව මනාව හැදෑරීය. සරත් සිනමාවට එන්නේ අහම්බෙනි. රජගෙදර පරවියෝ චිත්‍රපටයේ බන්දු මුණසිංහ වෙනුවෙන් ත්‍රාසජනක දර්ශනවලට පෙනී සිටියේ ඔහුය. ඒ ඔහුගේ සිනමා ආගමනයය. එනමුදු සරත්ගේ වෘත්තීමය ජීවිතය ඇරැඹෙන්නේ ෂර්ලි පී. විජේරත්නගේ සීතා චිත්‍රපටයත් සමඟිනි. අනතුරුව සංඛපාලි, රස රහසක්, නැවත හමුවෙමු, ඔබ මට විශ්වාසයි, ටිකිරා, මමයි රජා, ඔබටයි ප්‍රියේ ආදරේ, සළඹක් හඬයි, වීර උදාර ඇතුළු චිත්‍රපට සිය ගණනකට ඔහු සටන් අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන් දායක විය. කොතෙක් සිනමාව වෙනුවෙන් තම ශ්‍රමය කැප කළ ද එය නිසායාකාරව ඇගැයීමට ලක් නොකිරිම පිළිබඳ සරත් සිටියේ බොහොමත්ම කනගාටුවෙනි. එනමුදු මිය යන තෙක්ම එය සිදු නොවුන බව අපි පවසන්නට කැමැත්තෙමු.

චන්ද්‍රසිරි කොඩිතුවක්කු අප සිත් මඬලෙහි සිටින්නේ සුවිශේෂී තැනකය. ඒ කෝපි කඩේ අබිලිං ලෙසය. මෙරට වැඩිපුරම අන්වර්ථ නම් ඇත්තන් බිහි කළ නාට්‍ය කෝපි කඩේ බවට අවිවාදිතය. එහි සිටි චරිත අතරින් අබිලිං කැපී පෙනෙන අයකු විය. එයට ප්‍රධානම හේතුව වූයේ ගැමියන් කෙටවීම, ගිණි ගෙඩි දීම සහ ඔවුනට කේලම් කීම අබිලිං ඉතා මනාව සිදු කළ බැවිනි. ඒ සඳහා ඔහු සුවිශේෂී විය.

චන්ද්‍රසිරිව වැඩි දෙනෙකු හැඳින්නූයේ කොඩි යනුවෙනි. එනමින් ක්ෂේත්‍රයේ අතර වඩාත් ප්‍රකට වූ ඔහු 1987 කෝපි කඩේ ආරම්භක සාමාජිකයකු ලෙස ඊට එකතු විය. එදා ජනප්‍රිය වූයේ ද අබිලිං නිසාය. එහෙත් කොඩි කලාවට පිවිසෙන්නේ 1969 වසරේදීය. දැඩි ආර්ථික අපහසුතා තිබූ පවුලක උපන් ඔහු කුඩා කළ සිටම රංගනයට ආසා කළේය. ඒ පිළිබඳ හැදෑරීමට ද කැමැත්තෙන් සිටියේය. නමුත් ධම්ම ජාගොඩයන්ගේ තක්සලාවට බැඳීමට ඇතුළත්වීම් ගාස්තු වශයෙන් රුපියල් 25 ක් එකල ඔහුට නොවීය. එනමුදු ඒ ගැන නොසිතූ කොඩි තමන් මුදල් සොයා ගැනීමට ගෙවල් අසල තිබූ මිරිස් මෝලක රුකියාවකට ගියේය.

ඔහු ඉන් ලැබූ මුදල් වියපැහැදම් කළේ රංගනය හැදෑරීමට සහ රංගනයට අවස්ථාව ලබා දෙන සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගිවීමටය. ඉතාම වැර වෑයමෙන් කලාවට අවතීර්ණ වන කොඩි බැද්දෙගෙදර, ගෝරනාඩුව, සොක්කානෝ රජානෝ, බකතපස්, උතුරේ රාහුල හිමි ආදී වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය. ඔහු අති දක්ෂ අභිරූපණ ශිල්පියකු බව බොහෝ දෙනෙකු දන්නේ නැත. මෙරට අභිරූපන රංග කලාව හඳුන්වා දීමෙහිලා පුරෝගාමී චරිතයක් ලෙස කොඩි හැඳින්විය හැකිය. මුල් යුගයේ කෝපි කඩේහි සුදු චරිතයක් වූ අබිලිං කළු චරිතයක් බවට පත් වුණේ කුමාර සිරිවර්ධනගේ පිටපත් නිසා යැයි ඔහු පුවත්පතකට පවසා තිබේ. අබිලිං ගම අවුලන්නේ එතැන් පටන්ය. එමෙන්ම අබිලිං අතිශය ජනප්‍රිය වන්නේ ද එහෙයින්ය. කලා ලොවේ විවිධ අංශයන් යටතේ දස්කම් පෑ කොඩි හොඳට හොඳයි, සුදු පරවියෝ, සෙලීනාගේ වලව්ව ආදී සිනමාපට රැසකට රංගනයෙන් එකතු විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67 කි.

කොඩිගේ වියෝව ආරංචි වීමෙන් ස්වල්ප වේලාවක් ගත වෙද්දී ශාන්ත දේශබන්ධු අභාවප්‍රාප්ත වූ වග දැනගන්නට ලැබිණ. ගීත රචනා කලාවෙන් අප්‍රමාණ දක්ෂතා දැක් වූ ශාන්ත කලක් ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු විය. 1951 ඔක්තෝබර් 09 වැනිදා උපන් ශාන්ත කලාවට එක් වනුයේ ගීත රචකයෙකු ලෙසය. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ ගීත රචනයෙහි යෙදුණ ඔහුගේ පළමු ගීතය ද ගැයුවේ වික්ටර් විසිනි. ඒ 'මගේ ලොවේ තනි වෙන්නම්' වේ. දෙවනුව නිරංජලා සරෝජනී වෙනුවෙන් රචනා කළ 'මනමාලිය' ගීතය ශාන්ත ලියූ ගීත අතරින් ජනප්‍රිය වූ පළමුවැන්න විය. ඊට පසුව සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යයට ඔහු රචනා කෙරූ දවාලෙ පායන චන්ද්‍රයා ගීතය අදටත් ඉහළ ජනප්‍රියත්වයෙහි පවතියි. එය එදා ගැයුවේ නිහාල් සිල්වා විසිනි.

සේනානායක වේරලියද්ද ජනප්‍රිය ගායකයකු බවට පත්වන්නේ ශාන්තගේ ගීත නිසාය. ඔහුගේ මල් වියනින් බැඳි, මල් පබා, මගේ ජීවිතේ පුරා, සාගරය බඳු වේදනාවෝ යන ගීත හතරම ලිව්වේ ශාන්තය. එමෙන්ම දමිත් අසංක ගයන මට දුන්න දුක් ගින්න, පායන සඳේ, මගේ හිත ගාව දඟපාපු මනමාලියේ ආදී ගීත ද ලිව්වේ ශාන්තය. ජාතික රූපවාහිනියේ ශාන්ත සේවය කරදිදී ඔහු නිරන්තරයෙන්ම නවකයින්ට උදව් කළේය. ඔහු නිෂ්පාදනය කළ තුරුණු ශක්ති, ලයිව් බෑන්ඩ් ෂෝ හරහා මෙරට කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ බොහෝ දෙනෙකි. ඒ අයට ශාන්තව අද මතකද කියා දන්නේ නැත. ඔහු අවසන් කොට රචනා කළේ ශෂිකා ගයන මල්සර හී සරින් ගීයයි. එතැන් පටන් ඒ පන්හිඳ ලිවීම නතර කළේය. දිගු කලක් රෝගීව සිටි ශාන්ත දේශබන්ධු අපට සිටි ඉතා නිහතමානී කලාකරුවකු යැයි නිතැතින්ම පැවසිය හැකිය.

චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ වෛද්‍ය නිරන්ජන් සූර්යා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විය. ඔහු පදිංචිව සිටියේ ඉන්දියාවේය. වරින් වර ලංකාවට පැමිණි වෛද්‍ය නිරංජන් ඉන්දියාවේ චිත්‍රපටයකට සිය රංගන දායකත්වය සැපයීය. ඒ සින්න කිලී වන්න කිලිය. ඔහු ලංකාවට පැමිණ චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ ද එකී චිත්‍රපටයට දායකත්වය ලබාදීමට ඇති වුණු ආසාව හේතුවෙනි. වෛද්‍ය නිරංජන් මිය ගියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකිනි. ඒ වන විටත් ඔහුගේ වයස අවුරුදු 53 ක් විය.