වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




බොක්සිං නිළිය

බොක්සිං නිළිය

රිතිකා සිං කික් බොක්සිං ක්‍රීඩිකාවකව සිට බොලිවුඩ් සිනමාවට පිවිසි නවක රංගන ශිල්පිනියක්. බොක්සිං වලට අමතරව ඇය කරාටේ ඇතුළු තවත් සටන් කලා කිහිපයක්ම ප්‍රගුණ කරලා තිබෙනවා. ඇය මුලින්ම හින්දි සිනමාවට පිවිසෙන්නේ ආර් මාධවන් නිෂ්පාදනය කරන ‘සාලා ඛදූස්’ චිත්‍රපටයෙන්.

"මම කැමතියි චිත්‍රපට වල රඟපාන්න. එය වෙනස් අත්දැකීමක්. මම ඕනෑම ආකාරයක චිත්‍රපටවලට විවෘතයි. මට ක්‍රියාදාම චිත්‍රපටවල රඟපාන්න බැහැ. ඒ නිසා වෙනස් ආකාරයක දෙයක් අත්හදා බලන්න කැමතියි. මම ගුටි ගහලත් තියෙනවා, ගුටි කාලත් තියෙනවා.

සටන් තරග පවතින අවස්ථාවල මම ඒ සඳහා පුහුණු වනවා. දණහිස් ආබාධයක් තිබුණත් මම හිතනවා එය ඉක්මනින් සුව වෙයි කියා" ඇය පවසනවා.

ඇමෙරිකානු සටන් ක්‍රීඩිකාවක් සහ නිළියක් වන රොන්ඩා රවුසි කෙරෙහි ඉතා පැහැදී සිටින බවත් යම් දිනෙක ඇය වගේ වීමට බලාපොරොත්තු වන බවත් පවසන රිතිකා බොලිවුඩයේ තම ප්‍රියතම නිළිය 'මේරි කොම්' ට රංග දැක්වූ ප්‍රියංකා චොප්රා බවත් පවසන්නීය.

වසර 17ට පසු අධ්‍යක්ෂණයක්

වසර 15ට පසු රංගනයක්

මහේෂ් භාත් වසර 17ට පසුව යළිත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම්. ‘අර්ත්’, ‘ඩැඩී’, ‘සඛීම්’, ‘වෝ ලම්හේ’ වැනි චිත්‍රපට ඔහුගේ සිනමා ජීවිතයේ අධ්‍යක්ෂණය කළ සුවිශේෂ චිත්‍රපට වුණා. ‘ඩැඩී’ චිත්‍රපටයේ කතාව තවත් පැත්තකින් ගෙන එන අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම මහේෂ් බලාපොරොත්තුවයි.බ

1989 වසරේ තිරගත වූ ‘ඩැඩී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ අනූපම් කේර් විසින්. ඔහුගේ රංගනය ෆිල්ම් ෆෙයාර් සහ ඉන්දීය ජාතික සම්මානයන්ට ද පාත්‍ර වුණා. එහිදී මත් පැනට ඇබ්බැහි වූ පියෙකුගේ කතාවක්.

මහේෂ්ගේ වැඩිමහල් දියණිය පූජා භාත් සිනමාවට පය තැබූවේ මෙම චිත්‍රපටයෙන්.

මහේෂ් මේ චිත්‍රපටය අලුතින් නිර්මාණය කරන විට එහිදී ප්‍රධාන වන්නේ කාන්තා චරිතයක්. මත්පැනට ඇබ්බැහි වූ මවකගේ කතාවක් එයින් නිරූපණය කිරීමට නියමිතයි. එම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ පූජා භාත් විසින්.

මේ ඔස්සේ පූජාගේ සිනමා රංගනයක් දැක ගන්නට ලැබෙන්නේද වසර 15ට පසුව වීමත් විශේෂත්වයක්.

රිතික්ගෙන් රිතික්ට උපන්දින තෑග්ගක්

පසුගිය 9 වැනිදාට රිතික් රෝෂන්ගේ 42 වැනි උපන් දිනය යෙදී තිබුණා. තමන්ගේ උපන් දිනය දවසේ රිතික් ඔහුටම තෑග්ගක් දීලා. ඒ නවතම රෝල්ස් රොයිස් රථයක්.

ඔහු ගෙන් මේ ගැන ප්‍රශ්න කළ විටදී රිතික් කියා ඇත්තේ “ජීවිතයේදී, අපි හැම පැත්තම ආත්මීය සහ ද්‍රව්‍යමය වශයෙන් සමබරව සතුටින් පවත්වාගෙන යා යුතුයි. සත්‍ය සමබරතාව එයයි.

සමහරු හිතනවා ද්‍රව්‍යමය, නැත්නම් භෞතිකමය සම්පත් ගැන එතරම් අවධානය යොමු නොකළ යුතු බවයි. නමුත් එය වැරදි මතයක්. අපිට මේ දෙකම අවශ්‍යයි”.

" මගේ උපන්දිනය මෙවර පටන්ගත්තේ ඉතා සතුටුදායක ලෙසින්. ඒ හින්ද මට හිතෙනවා මුළු වසරම සතුටුදායක එකක් වෙයි කියලා. රිතික් තවදුරටත් මෙසේත් පවසනවා.

හේමා මාලිනි ගායනයට

බොලිවුඩයේ සිහින කුමරිය ලෙසින් කිරුළු පැළඳී හේමා මාලිනි යුගයක් දිනූ හින්දි තරුවක්. ‘ෂෝලේ’, ‘අන්දාස්’, ‘ලාල්’, ‘පතාර්’, ‘සන්‍යාසි’, ‘මීරා’, ‘අසාද්’, ‘දිල්ලගී’ වැනි හින්දි චිත්‍රපටවල රංගනයන් අදටත් රසික හිත් තුළ නොමැකී නැතුවාට සැක නැත.

67 වැනි වියේ පසුවන හේමා මාලිනි ළඟදීම ගායනයට පිවිසෙන්න නියමිත බව ආරංචියි.

හේමා මාලිනි තම රංගනයට පෙම් බැඳී ආදරණීය රසික රසිකාවන් වෙනුවෙන් භජන් ගී එකතුවක් තිළිණ කිරීමට සූදානමින් සිටින්නේ.

පසුගියදා හේමා ගැයූ මේ භජන් ගී එකතුව පටිගත කළේ ලතා මංගේෂ්කාර් ශබ්දාගාරයේදීයි. පණ්ඩිත් ජස්රාජ් තනු නිර්මාණය කළ මෙම ගී රචනා කළේ නාරායන් අග්‍රවාල් විසිනි.

“මා ගයන මේ භජන් ගීත අසා ධෛර්මත් කර සහයෝගය ලබා දෙන්න” ඇය පවසවා. එසේම ගායනය අලුත්ම අත්දැකීමක් බවත් තමන් ගායනයට පිවිසීම ඉමහත් සතුටක් බවත් ඇය සිය ට්විටර් පිටුවේ සටහන් කරලා තිබුණා.