වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංස්ථාව අධිකාරියක් කළ යුතුයි

චිත්‍රපට සංස්ථාව අධිකාරියක් කළ යුතුයි

උදයකාන්ත වර්ණසූරිය - අසංක දේවමිත්‍ර සමඟ අරුත්බර සංවාදයක

‘මධුර චාරිකා’ අතිශයින්ම කලාත්මකයි. ‘බන්ධනය’ බිහිසුණු ගණයේ චිත්‍රපටයක්.

ත්‍රාසජනක නැතහොත් බිහිසුණු වර්ගයේ චිත්‍රපට සඳහා හොලිවුඩ් සිනමාවේ ඇත්තේ ඉහළ ඉල්ලුුමකි. අපේ ප්‍රේක්ෂකයන්ද D.V.D මාධ්‍යයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ එබඳු චිත්‍රපට නැරඹීමට දැඩි රුචිකත්වයක් දක්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් එවැනි චිත්‍රපට අපේ සිනමාවේ බිහි නොවනා තරම්ය. එසේ නිර්මාණය වූ සිංහල චිත්‍රපටයක් මෑතකදී නැරඹුවද එය මුළුමනින්ම පාහේ දමිළ චිත්‍රපටයක අනුකරණයකි. (එය තවම ප්‍රදර්ශනය සඳහා එක් වූවේ නැත).

යුගයේ Box Office සිනමාකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන ‘බන්ධනය’ ද නිර්මාණය වී ඇත්තේ එබඳු බිහිසුණු කතා පුවතක් ඇසුරෙනි. ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් ‘බන්ධනය’’ අපගේ පැරැණි ගැමි සමාජයේ බහුලව දක්නට ලැබුණු බලි, තොවිල්, යන්ත්‍ර, මන්ත්‍ර, හදි, හූනියම්, පිල්ලි යැවීම් වැනි අද්භූත ක්‍රියාදාමයන් සපිරි චිත්‍රපටයකි.

මේ ‘බන්ධනය’ හා ඔහුගේ මතු නිර්මාණ මෙන්ම වත්මන් සිනමා අර්බුදය පිළිබඳව ද අධ්‍යක්ෂවරයා සමග කළ සදංවාදයකි.

‘බන්ධනය’ වෙනස්ම තේමාවකින් යුතු චිත්‍රපටයක්?

ඔව්. මේක මගේ පමණක් නෙවෙයි සිංහල සිනමාවේම මෙතෙක් බිහි වූ වෙනස්ම කතා තේමාවකින් යුත් චිත්‍රපටයක්. මේක ඇත්තටම Horror වර්ගයේ චිත්‍රපටයක්. ඒ කියන්නේ බිහිසුණු ඝණයේ චිත්‍රපටයක්. අපේ ජන සංස්කෘතියේ තියෙනවානේ ඔය යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්, පිල්ලි යැවීම් ආදී දේවල්. මේවා හොඳ දේවල් නෙවෙයි. ඒත් ඒවා මුල් බැසගත් අද්භූත ජන සමාජයක්නේ එදා අපට තිබුණේ. පැරැණි පතපොතින් අප කියවලා රස විඳපු, අපි අසා තිබුණු එබඳු භයංකාර සිදුවීම් රූප මාධ්‍යයට නඟන්නයි මට අවශ්‍ය වුණේ.

මම හිතන්නේ මෙබඳු තේමාවක් ඇසුරෙන් චිත්‍රපටයක් තැනීම අසීරු, අභියෝගාත්මක කාර්යයක්?

රූපය පමණක් නෙවේ ශබ්දය, සංගීතය වගේ දේවලුත් නවීන තාක්ෂණය මුසු කරගෙන ප්‍රේක්ෂකයයා තුළ කිසියම් අන්දමක බීභස්‍ය රසයක් ඇති කරන චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි මගේ අදහස වුණේ. මම හිතන්නේ ඒ අදහස මේ වෙනකොට හොඳ නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා.

කොහොමද මෙබඳු කතා සංකල්පයක් ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස ඔබට ඇති වුණේ?

මේ ආකාරයේ චිත්‍රපටයක් කවදා හරි නිර්මාණය කරනවා කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. මෙතෙක් කල් මගේ සිනමා ගමන් මඟ දිහා හැරී බැලුවාම එවැනි නිර්මාණයක් මගේ අතින් කෙරිලත් නෑනේ. මීට අවුරුදු තුනකට කලින් මම එක්තරා පුවත්පතකට කියා තිබුණා මේ වගේ කතා සංකල්පයක් තියෙනවා නම් මට එවන්න කියලා. ඊට ප්‍රතිචාර වශයෙන් මට අද්භූත කතා රාශියක් ලැබුණා. ඒ අතරින් තෝරා ගත් කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. එහි කතා සංකල්පය ඉන්දික රත්නායකගේ. ඒ කතාවත් ඇසුරු කරගෙන මම අහලා තිබෙන සමහර සිද්ධීන් උපයෝගී කරගෙන තමයි අවසානයේ මේ තිර නාටකය සකස් කළේ. ඔබ කිව්වා වගේම මේක මට එක්තරා අන්දමක අභියෝගයක් වුණා.

‘බන්ධනය’ අපේ ප්‍රේක්ෂකයාටත් අලුත් අත්දැකීමක් වේවි?

මීට කලින් Horror වර්ගයේ චිත්‍රපට නිර්මාණය වෙලා තිබුණා ලංකාවේ. ඒත් ඒවා බටහිර ආකෘතියෙන් තැනුන චිත්‍රපට. අපේ ලංකාවේ ජන ජීවිතය අළලා කෙරුණ චිත්‍රපට නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස්, අපේකම ඉස්මතු වෙන ආකාරයේ චිත්‍රපටයක් හැටියට තමයි මම ‘බන්ධනය’ හඳුන්වන්නේ.

ලංකාවේ එබඳු බිහිසුණු ශානරයේ චිත්‍රපට නැරඹීමට පුරුදු වෙලා ඉන්නේ එක්තරා සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක්. දැන් ඔබ හිතනවාද මේ චිත්‍රපටය වඩා වැඩි ලාංකේය ප්‍රේක්ෂක පිරිසක් එක් රොක් වෙයි කියලා?

ඔව්, මෙහෙමයි. දැන් මේ වගේ චිත්‍රපටයක් කුඩා දරුවන්ට ඔබින්නේ නෑ. නරඹන්නත් බෑ. ඒ නිසා මෙය පවුල් පිටින් නරඹන චිත්‍රපටයක් හැටියට මම හඳුන්වන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. පවුලේ චිත්‍රපටයකින් පොඩ්ඩක් බැහැර වුණත් මෙය වෙනත් සුවිශේෂ ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කරගෙනයි මම නිර්මාණය කළේ. ඇත්තටම බිය කියන්නෙත් එක්තරා රසයක්නේ. ඒ රසයට ආසා කරන පිරිසකුත් ඉන්නවා.

නව නළු රසයන්ගෙන් එකක්?

නව නළු රසයෙන් එකක්. ඉතිං මම හිතනවා ඊට කැමැති ප්‍රේක්ෂක පිරිසක් මේක නරඹලා එය රස විඳියි කියලා. විනෝදය තිබෙන හැම අංශයක්ම මම මේ චිත්‍රපටයෙන් බැහැර කළා. ඒ කියන්නේ ග්ලැමර් එක එහෙම නැතිනම් සුන්දරත්වය කියන සංකල්පයෙන් මම සපුරා බැහැර වුණා.

මම හිතන්නේ ඔබ යක්කුන්ට විශේෂ කැමැත්තක් තියෙනවා වගේ?

මගේ පසුගිය චිත්‍රපට දෙක තුනකම යක්කු දෙතුන් දෙනෙක් හිටියා. ‘රන්කෙවිට’ චිත්‍රපටයේ ‘පන්සලේ යකා’ එතකොට ‘ගොපළු යකා’ වගේ යක්කු. බහුබූතයෝ, ගින්දරී චිත්‍රපටවලත් යක්කු හිටියා. මට යක්කු ගැන එහෙම විශේෂ කැමැත්තක් නෑ. නමුත් යක්කු කියන සංකල්පය අපේ ඔළුවේ අපි වෙන විදිහකට මවාගෙන තියෙනවානේ. බෞද්ධ ඉතිහාසයේත් ‘ආලවක යක්ෂයා’ ගැන සඳහන් වෙනවා. එක්තරා විදිහක මිථ්‍යා සංකල්පයක් මේ යකා කියන්නේ. ඒ සංකල්පය අද තියෙන තාක්ෂණය උපයෝගී කරගෙන රූප මාධ්‍යයෙන් මැව්වහම ඒක හරි අමුතු අත්දැකීමක් වෙනවා නේද?

කිසියම් අපූර්වත්වයක් තියෙනවා?

ඔව්. ඒ නිසාම තමයි මම මේ චිත්‍රපටයටත් අමුතුම යකෙක් ගෙනාවේ. දැන් ‘රන්කෙවිට’ චිත්‍රපටයේ ගොපළු යකාගේ කෙස් ගහක් පවා අපි තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කළේ. ත්‍රිමාණ සජීවිකරණ්‍ය ඔස්සේයි අපි ඒක කළේ. දැන් මේ යකා එහෙම නෙවෙයි. මේ යකා තනිකරම අපි නිර්මාණය කළේ බද්ධ අංග රචනයෙන්.

ඒකියන්නේ ප්‍රොස්තටික් මේකප්?

ඔව්. මුලින්ම අපි ප්‍රොස්තටික් මේකප් එක අත්හදා බැලුවේ ‘රන් කෙවිට’ චිත්‍රපටයේ ‘පන්සලේ යකා’ට. මේක දෙක. අපි නළුවෙක් යොදවලා මුළුමනින්ම බද්ධාංග රචනය කළා මේ යක්ෂයා වෙනුවෙන්.

ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණය ඔස්සේ යකෙක් නිර්මාණය කරන්නට පුළුවන්කම තිබියදී ඇයි ඔබ මෙවැනි බැරෑරුම් කර්තව්‍යයකට අත ගැහුවේ?

යකාගේ සටනක් තියෙනවා එක තැනක අපේ ප්‍රධාන නළුවාත් එක්ක. 3ච් තාක්ෂණයෙන් ඒක කළා නම් මම එතනදි සෑහෙන අපහසුතාවයකට පත් වෙන්න තිබුණා. ඒ නිසා තමයි මම මේ යකා මේ විදිහට නිර්මාණය කළේ. ඇත්තටම මේ යකා නිර්මාණය කරන්න සෑහෙන මුදලක් වගේම කාලයකුත් වැය වුණා. යකා නිර්මාණය කළේ වේෂ නිරූපණ ශිල්පී ජයන්ත රණවක. මම හිතනවා ඔහු අද ලංකාවේ මේ ප්‍රොස්තටික් මේකප් කලාවේ ප්‍රධාන හා මූලිකව ඉන්න කෙනෙක්. මම සෑහීමකට පත්වන ආකාරයට ඔහු යකා නිර්මාණය කළා. අද අපට තිබෙන පහසුකම් හා මෙවලම් උඩ යකා ඔය තරමින් නිර්මාණය කිරීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.

දැන් මේ ‘මහසෝනා’ගේ සංකල්ප රූපය කොහොමද ඔබේ හිතට ආවේ. ඔබේ හිතළුවක් අනුව ද මේ යකා නිර්මාණය වෙන්නේ?

මුද්‍රිත මාධ්‍යය තුළ මම දැකලා තියෙනවා මහසෝනාගේ රූපය. මිනිස් ශරීරයක් තියෙන, වලස් හිසකින් යුත් අද්භූත සත්වයෙක් විදියට තමයි අපි මහසෝනාගේ රූපය දැකලා තියෙන්නේ සහ මම හඳුනාගෙන තිබුණේ. ඉතින් ඒ විදිහට තමයි අපි ඒ රුව නිර්මාණය කළේ.

රන්කෙවිට චිත්‍රපටයේ ‘ගොපළු යකා’ බලන්න අපේ ළමයි කැමැති වුණානේ. එතකොට ඔවුන් මේ අලුත් යකාට ආකර්ෂණය වෙන එකක් නැද්ද?

යක්කු බලන්න ළමයි කැමැතිද? හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් ‘රන් කෙවිට’ කියන්නේ ළමා චිත්‍රපටයක්. මුළුමනින්ම ළමා චිත්‍රපටයක්. ඒ සංකල්පයත් එක්ක තමයි මම නිර්මාණය කළේ ඒ ‘ගොපළු යකා’ව. ‘රන් කෙවිට 01’ චිත්‍රපටයේදී ඇත්තටම ළමයි ටිකක් බය වුණා මේ ගොපළු යකාට. මම ඒක හඳුනගෙන ‘රන් කෙවිට 02’ චිත්‍රපටයේදී ඒ යකා පොඩ්ඩක් සුන්දර කළා. ළමයි එක්ක සමීප සම්බන්ධයක් ඇතිවෙන විදිහට තමයි ඒ චරිතය ගොඩ නැගුවේ. එතකොට ‘බහුබූතයේ 01’ සහ ‘බහුබූතයෝ 02’ කියන්නේ තනිකරම විමෝදාත්මක චිත්‍රපට. එතනදි මේ ටිකිරි කියන සුන්දර යුවතිය එක්වරම යක්ෂාවේෂයක් ලබනවා. ඒත් සුළු මොහොතකට පමණයි ඒ යක්ෂ රුව මැවෙන්නේ.

කිසියම් හාස්‍යයකුත් මුසු කරමිනුයි ඔබ ඒ අවස්ථාවන් පේ‍්‍රක්ෂකයාට ඉදිරිපත් කරන්නේ?

ඔව්, නමුත් ‘බන්ධනය’ යක්ෂයා එහෙම නෙවේ. මුල සිට අග දක්වාම බිය දනවන ආකාරයෙන් තමයි මෙහි රූප රාමු පෙළ ගැස් වී තිබෙන්නේ. ඒ කියන්නේ බිය මූලික කරගෙන. ඒ නිසා ළමයි මේ චිත්‍රපටය දැකලා සතුටු වෙයි කියලා මම හිතන්නේ නෑ.

මේ චිත්‍රපටය සඳහා ඔබ අපේ ප්‍රවීණ හා නව පරපුරේ දක්ෂ නළු, නිළියන් පිරිසක් දායක කරගෙන තිබෙනවා. මේ සුසංයෝගය මම හිතන්නේ විශේෂත්වයක්?

මේ, මේ නළු නිළියන් තෝරා ගන්නවා කියන පදනමේ ඉඳන් මම කවදාවත් තිර පිටපතක් ලියන්නේ නෑ. තිර පිටපත ලිව්වට පසුවයි මම තීරණය කරන්නේ මේ මේ චරිතවලට ගැළපෙන්නේ අසවල් නළු, නිළියන් කියන කාරණය. මෙහි ප්‍රධාන නළු චරිතය ලියැවුණාට පස්සේ මුලින්ම මගේ හිතට නැඟුණේ සිරිල් වික්‍රමගේ මහත්මයා. අපේ පෙර පරපුරේ දක්ෂ නළුවෙක්. ඉතිං ඒ අනුව මම ඔහු සම්බන්ධ කර ගත්තා. ඒ වගේම සුවිනීතා වීරසිංහ. ඇය මේ චිත්‍රපටයක රඟපාන්නේ සෑහෙන කාලෙකට පස්සේ. එතකොට නව පරපුරේ හේමාල් රණසිංහ සහ දුලානි අනුරාධා මම මේ චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තා. ඒ වගේම ළමා නිළි සහේලි සතරසිංහත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.

ඒ ඒ චරිත සඳහා හරියටම ගැළපෙන නළු, නිළියන් තෝරා ගන්නට පුළුවන් වුණා කියා ඔබ සිතනවාද?

ජනප්‍රියත්වය නෙවෙයි මෙතනදි මම සළකා බැලුවේ. දක්ෂතාවය. ඒ නිසා නිවැරදිව නළු, නිළියන් තෝරා ගන්නට මට පුළුවන්කම ලැබුණා. එහෙම තෝරාගෙන බලපුවාම තමයි මටත් තේරුණේ මේක පෙර පරපුරේ සහ නව පරපුරේ සුසංයෝගයක්ය කියන කාරණය. මම ඒ ගැනත් සතුටු වුණා. ලියෝනි කොතලාවල, නිල්මිණි තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, නෙතලි නානායක්කාර, සෝමවීර ගමගේ, විල්මන් සිරිමාන්න, රංජිත් රූබන්, සිසිර කුමාරතුංග, කුමාර වඳුරැස්ස, කීර්ති රංජිත් පීරිස්, ජනක හාල්පන්දෙනිය, රංජිත් සිල්වා වැනි දක්ෂ නළු, නිළියන් රැසක් මෙහි රඟපානවා. ඔවුන්ගේ උපරිම සහයෝගය මට ලැබුණා.

නළු, නිළියන් වගේම කාර්මික ශිල්පින්ගෙන් ඔබට සුවිශේෂ දායකත්වයක් ලැබෙන්නට ඇති?

ඇත්තෙන්ම. කැමරා ශිල්පී කේ. ඩී. දයානන්ද, සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, නිෂ්පාදන කළමනාකාර අශෝක ආරියරත්න, අරුණ ඩයස්, ඇතුළු පිරිසගෙන් මට ඉහළම දායකත්වයක් ලැබුණා. ‘බන්ධනය’ සාර්ථක ලෙස රූගත කිරීමට ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය ඉතා ඉහළයි.

‘බන්ධනය’ මා දන්නා තරමින් මේ වසරේ ප්‍රදර්ශනයට එක්වෙනවා?

එහෙම තමයි සැළසුම් කර තියෙන්නේ. එහි සියලු විස්තර ‘සරසවිය’ පාඨකයන්ට මම කලින්ම දැනුම් දෙන්නම්. කෙසේ හෝ මගේ ‘මධුර චාරිකා’ චිත්‍රපටයට ප්‍රථම ‘බන්ධනය’ ප්‍රදර්ශනය කිරීමට තමයි සැළසුම් කර තියෙන්නේ.

නමුත් ඔබ මුලින්ම වැඩ කටයුතු අවසන් කළේ ‘මධුර චාරිකා’ චිත්‍රපටයනේ?

මෙතෙක් මා අතින් නිර්මාණය වූ චිත්‍රපට විස්සක ප්‍රමාණය අතරෙන් වඩාත්ම කලාත්මක නැඹුරුවක් තිබෙන චිත්‍රපටය ‘මධුර චාරිකා’යි. ඒ නිසා එය ජාත්‍යන්තර සිනමා උලෙළ කිහිපයකට යොමු කර තිබෙනවා. ඉන් පසුව තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට එම චිත්‍රපටය මුදා හැරෙන්නේ.

ඔබම කියන පරිදි මේ චිත්‍රපට දෙකම ඔබ නිර්මාණය කළේ වාණිජ පරමාර්ථයන්ගෙන් බැහැරව. ඇයි ආයෙත් Box Office චිත්‍රපටයක් කරලා කට්ටියට බෝනස් දෙන්න කල්පනා නොකළේ?

දැන් චිත්‍රපට දෙකකින් මම බෝනස් දුන්නානේ. ඇත්තටම මේ චිත්‍රපට දෙකම නිෂ්පාදනය කරන්නේ මම. අර චිත්‍රපට තරම් ප්‍රේක්ෂකයා මේ චිත්‍රපට නරඹාවිද කියලා මට ගැටලුවක් තියෙනවා. කලාත්මක චිත්‍රපටවලට ප්‍රේක්ෂකයන් අඩුවීමේ අවදානමක් තියෙනවානේ. ඉතින් ඒ අවදානම වෙන කෙනෙකුට බාර දෙන්නේ නැතිව මම විසින්ම නිෂ්පාදනය කළා මේ චිත්‍රපට දෙක. එහෙම කළේ අර චිත්‍රපට දෙකෙන් මට ලැබුන බෝනස් මුදලින්.

ඒ කියන්නේ ඔබේ බෝනස් මුදල යෙදුවේ එක්තරා විදිහකින් අවදානම් සහගත වැඩකට?

අවදානම් සහගත බවක් නැත්තේම නැහැ. නමුත් මා වටා යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා ඒ අවදානම ඉතා අඩු මට්ටමක රැඳේවි කියා මා විශ්වාස කරනවා. එය මට දරා ගත හැකියි.

උදයකාන්ත කියන්නේ වාසනාවන්ත අධ්‍යක්ෂවරයෙක්. මම එහෙම කියන්නේ ඔබේ චිත්‍රපට කඩිනමින් ප්‍රදර්ශනය වන නිසා. සමහර අධ්‍යක්ෂවරු තමන්ගේ චිත්‍රපටය වසර පහ, හයක් තිස්සේ ප්‍රදර්ශනය කරගන්නට බැරිව ළත වෙනවා. මෙය නිර්මාණකරුවකු අත් නොවිඳිය යුතු ඛේදවාචකයක්?

ඒ ගැන මටත් හරි කනගාටුයි. විශේෂයෙන්ම අද තරුණ පරපුරේ විශාල පිරිසක් ඉන්නවා තමන්ගේ කුලුඳුල් චිත්‍රපටය පෙන්වගන්න බැරිව. ඇත්තටම ඔවුන් විශාල මුදලක් වියදම් කරලා, බරපතළ ගැටලු රාශියකට මැදි වෙලා තමයි මේ අවස්ථාවේ ඉන්නේ. මේක ඔබ කිව්වා වගේ හරිම ඛේදවාචකයක්. අනිවාර්යයෙන්ම රජය මැදිහත් වෙලා කිසියම් වැඩි පිළිවෙලක් මේ සඳහා දියත් කරන්න ඕනෑ.

ප්‍රවීණ සිනමාවේදියකු හැටියට ඔබේ යෝජනාව?

මම යෝජනා කරන්නේ රජය මැදිහත් වෙලා පුද්ගලික මණ්ඩලවලට කිසියම් බලපෑමක් කරන්න ඕනෑ. අඩු ගානේ ඔවුන්ගේ අභිමතය පරිදි තේරා ගත් කලාත්මක චිත්‍රපටයක් වාණිජ චිත්‍රපට දෙකකටවත් පස්සේ ප්‍රදර්ශනය කරන්න කටයුතු යොදනවා නම් ඒක හරි වැදගත්. ඒක තමයි මගේ යෝජනාව. වෙන විකල්පයක් ඒ ගැන මට හිතන්න බෑ.

කලින් තිබුණ ප්‍රදර්ශන මණ්ඩල පහ දැන් ධාරා තුනකට බෙදලා තියෙනවානේ, නව සභාපතිතුමාගේ තීරණයක් අනුව. එය හොඳ දෙයක් බව බොහෝ දෙනා පවසනවා?

ඉස්සර සමහරු තමන්ගේ චිත්‍රපට හිතුමනාපෙට ප්‍රදර්ශනය කර ගත්තා. ලොකු බජට් කියලා හරි මොනවා කියලා හරි. හොඳම සිනමා ශාලා එක මණ්ඩලයකට අරගෙන කිසියම් ඒකාධිකාරියක් පිහිටුවා ගෙන තිබුණා. නමුත් දැන් ඇත්තටම ඒක නැහැ. චිත්‍රපටයක් නැති අවස්ථාවක සිනමා ශාලාවක් ලබා ගන්න එක වෙනම කාරණාවක්. ඒත් පහුගිය කාලේ වුණේ එහෙම නෙවෙයිනේ. දැන් ඒක නෑ. නව සභාපතිතුමා කරපු හොඳ ක්‍රියාවක් ඒක. සිනමාවේ අර්බුදය විසඳන්න ඔහු බොහෝ උත්සාහයන් ගන්න බව පේනවා.

ඔබ මණ්ඩලවල ඒකාධිකාරී බලයට අභියෝග කළ සිනමාවේදියෙක්?

මේ වෙනකොට මම චිත්‍රපට විස්සක් හදලා තියෙනවානේ. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් සාර්ථකයි. කිසියම් ගැටලු සහගත තත්ත්වයකට මුහුණපෑවේ චිත්‍රපට කිහිපයයි. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට මා ගැන විශ්වාසයක් තිබෙන බව මේ මණ්ඩලවල ඉන්න අය දන්නවා. ඔවුන්ටත් මේ නිසා මා සාර්ථක අධ්‍යක්ෂවරයෙක් කියන විශ්වාසය ගොඩ නැඟී ඇති. මාත් වැඩිපුර හදලා තියෙන්නේ ජනප්‍රිය චිත්‍රපට නිසා මගේ ඊළඟ නිර්මාණය ගැන ඔවුන් ඉන්නේ දැඩි අවධානයකින්. මම මොන වර්ගයේ චිත්‍රපටයක් හැදුවත් ඕනෑම මණ්ඩලයක් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සූදානමින් ඉන්නවා. ඒක මටත් ලොකු සතුටක්. මම එහෙම තත්ත්වයක් හදාගෙන තියෙනවා.

ඩිජිටල්කරණය පිළිබඳ තියෙන අර්බුදකාරී තත්ත්වය තමයි අද අපේ සිනමාවේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ?

35M.M. දළ සේයාපට ප්‍රක්ෂේපණය මේ වෙන කොට ලෝකයේ බොහෝ රටවල්වලින් තුරන් වෙලා ගිහින්. වහාම ඩිජිටල් ප්‍රක්ෂේපණය ලංකාවේ ස්ථාපනය වුණේ නැතිනම් අපේ සිනමා කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දෙනවා. අද 35M.M. කොපියක් මුද්‍රණය කරන්නට ලක්ෂ එකසිය පනහක පමණ මුදලක් වැය වෙනවා. ඉතින් මේ වගේ මුදලක් දරා ගන්න බෑ නිෂ්පාදකවරුන්ට. ඒ නිසා මේ ඩිජිටල් ප්‍රක්ෂේපණය අප විසින් වහා ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය අනුග්‍රාහයක්, මැදිහත්වීමක් ඒ සඳහා අවශ්‍යයි කියා තමයි බොහෝ සිනමා ශිල්පීන් පවසන්නේ?

රජයෙන් මේ සඳහා කිසිම මැදිහත්වීමක් හෝ අනුග්‍රහයක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම මේ බෙදා හැරීම පුද්ගලීකරණය වීම තුළ ඔවුන්ගේ ආධිපත්‍යය තමයි තිබෙන්නේ. නමුත් එහෙම කියලා බෑ. මේ සඳහා රජයේ අනුග්‍රාහයත් ලැබිය යුතුයි. නැතිනම් මේක ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. රජයට මේ වෙනුවෙන් යම් ණය මුදලක් හරි ප්‍රදානය කළ හැකි නම් ඒක තමා හොඳම දේ මේ අවස්ථාවේ. මේ අවුරුද්දේ ඒ සඳහා යම් වැඩ පිළිවෙලක් දියත් වෙයි කියා සිතනවා. නැතිනම් ලබන අවුරුද්ද වෙන කොට මේ සිනමාවේ කඩා වැටීම අපට නවත්වන්න බෑ.

D.C.P. සිනමා ශාලා අපට තිබෙන්නේ අතලොස්සක් පමණයි’?

ඒ ප්‍රමාණය අපට මදි. දැන් අලුතින් බිහිවෙන සිනමා ශාලාවල නම් D.C.P. තාක්ෂණය තිබෙනවා. නමුත් ඒ වර්ධනය මදි මේ අවස්ථාවේ.

මේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල ප්‍රමිතිය ගැනත් ලොකු අවුලක් තියෙනවා නේද?

ඔව්. ඒ පිළිබඳ තීරණයක් ගන්න සමීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුයි. කාටවත් ඕනෑ විදිහට බාල විදිහේ ප්‍රක්ෂේපන යන්ත්‍ර ගෙන්නුවොත් තවත් අර්බුදයක් වේවි. ඒ නිසා හොඳ අධීක්ෂණයක් යටතේයි එය කළ යුත්තේ. ඇත්තටම ප්‍රදර්ශන මණ්ඩල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා 10% ක මුදලක් ගන්නවානේ නිෂ්පාදකවරුන්ගෙන්. ඒක නිෂ්පාදකවරුන්ට දරන්නට වෙන අනවශ්‍ය වියදමක් විදියට තමයි මම දකින්නේ. ඒ ක්‍රමය වහා වෙනස් විය යුතුයි. ඇත්තටම චිත්‍රපට සංස්ථාවෙන් වෙන කාර්යභාරය මොකක්ද කියන ගැටලුව අපට ඇති වෙලා තියෙනවා මේ වගේ දේවල් නිසා. ඊට වඩා හොඳයි සංස්්ථාව අධිකාරියක් බවට පත් කරන එක. පුද්ගලික මණ්ඩල මීට වඩා විධිමත් ලෙස පාලනය කළ හැකි, දැඩි නීති රීති සහිත අධිකාරියක් බවට පත් කිරීම තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ තිබෙන හොඳම විකල්පය.

‘කොස්තාපල් පුඤ්ඤාසෝම - 02’ චිත්‍රපටය නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව තාම ඔබේ සිතේ තිබෙනවා?

අනිවාර්යෙන්ම.

ඒත් මෑතකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණා පොලීසිය හා පොලිස් නිලධාරින් සම්බන්ධ කරගෙන සිදු කරන කිසිදු කලා නිර්මාණයකට අවසර ලබා නොදෙන බව?

චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ බලතල අනිකුත් දෙපාර්තමේන්තු, සංස්ථාවලින් පාලනය වෙන්න අවශ්‍ය නෑ. පොලිස් නිල ඇඳුම් අඳින්න බෑ කියලා ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. මම හිතන්නේ ඒක තීරණය කරන්න ඕනෑ වාරණ මණ්ඩලය. මේ විදිහට අනෙක් දෙපාර්තමේන්තුත් නීති රීති පැනෙව්වොත් අපට චිත්‍රපට කරන්න හම්බ වෙන්නේ නෑනේ. කලාකරුවාගේ නිදහසට ඉඩ දෙන්න ඕනෑ. එය සිනමා නිර්මාණයක් පමණයි. එයින් වෙනත් අංශවලට බලපෑම් වෙනවා කියලා කියන්න බෑ ඉතින්. කලා නිර්මාණ එහෙම තමයි. එක එක දෙපාර්තමේන්තුවලට සුදුහුණු ගාන්න චිත්‍රපට හදන්න බෑනේ.

ඒ කියන්නේ ‘කොස්තාපල් පුඤ්ඤසේම 02’ අනිවාර්යයි?

මම ඉස්සර වෙලා ඒ බව ඔබට කිව්වා.