වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




විවාහය දවසේ එයා මාව බඳින්න බෑ කිව්වා

විවාහය දවසේ එයා මාව බඳින්න බෑ කිව්වා

පුංචි තිරයේ රුවැත්තිය මල්කි නතාෂා අවංක කතාබහක...
 

මේ ඉන්නේ ‘මොනර කිරිල්ලි‘ නාට්‍යයේ හිමාෂි. ඒ වගේම ඇය ආටක නාටක කතාංග මාලාවේද විවිධ චරිත මවනවා. මේ සුරූපිණියගේ සැබෑ නම මල්කි නතාෂා. ඉන්නේ නුගේගොඩ. ගම නම් නුවරඑළිය. වයස අවුරුදු 25 යි. මේ වන විට මල්කි රංගන ශිලිපිනියක් ලෙස ඉදිරිය දකින්නට සැලසුම්කොට හමාරයි. ඉතින් අප අසා දැනගමු ඇයගේ තවත් විස්තර ටිකක්.

මල්කි, හිමාෂි හින්දා හුඟක් ජනප්‍රිය වෙලා නේද දැන් ඉන්නේ?

ඒකනම් ඇත්ත. හිමාෂි කියන්නෙ තමන්ගෙ ආදරය වෙනුවෙන් නොයෙක් දේ කරන ගැහැනු ළමයෙක්. වෙලාවකට ඇය කරන දේවල් වැඩිදෝ මන්දා. මං මට හැකි පරිදි උපරිම සාධාරණය ඒ වෙනුවෙන් කළා. ඒ හින්දා වෙන්න ඇති මිනිස්සු මෙච්චර ඒ චරිතයට ආදරේ.

හිමාෂි ටිකක් ඔයා වගේ?

ඔව්. හැබැයි සියයට පණහයි. ඉතුරු සියයට පණහ මම නෙවෙයි.

ඒ කියන්නෙ ඔබ, ඔබේ ආදරය වෙනුවෙන් ඕනෑවට වැඩිය වැඩි දේවල් කරනවා?

නැහැ. නැහැ. මං කොහෙත්ම ඒ වගේ දෙයක් කරන්නෙ නැහැ. මං හිමාෂිට සමාන දඟකාරකමින් විතරයි.

සාමාන්‍යයෙන් මල්කිට නිර්මාණයකට කතා කළොත් ඔබ මොන මොන දේවල් ගැනද සැලකිලිමත් වෙන්නෙ?

මං මුලින්ම බලන්නෙ ඒ නිර්මාණයෙ අධ්‍යක්ෂ සහ කැමරා අධ්‍යක්ෂ කවුද කියලා.

ඒ කියන්නෙ ඔබ තෝරාගත් කිහිපදෙනෙක් එක්ක පමණයි වැඩ කරන්නෙ?

හරියටම හරි.

ඇයි ඒවගේ ප්‍රතිපත්තිවලට කොටුවෙලා ඉන්නෙ?

මට විඳින්න සිදුවූ අත්දැකීම් එක්ක එහෙම ප්‍රතිපත්ති දාගන්න සිද්ධවුණා.

මොනවගේ අත්දැකීම්ද ඔබට විඳින්න සිද්ධවුණේ?

ඩිරෙක්ටස්ලා ඉන්න ඕන ඩිරෙක්ටස්ලා විදිහට. එයාලා නිර්මාණයකට කතාකරන්න ඕන යම් පිළිවෙළකටනෙ. සාමාන්‍යයෙන් ප්‍රඩක්ෂන් හවුස් එකක් තුළදී ප්‍රඩක්ෂන් කෲ එකේ අයත් ඉන්න තැනනෙ නිර්මාණයක් ගැන කතා කරන්න ඕන. නමුත් මට සමහර ඩිරෙක්ටස්ලා එන්න කිව්වා ගෙස්ට් හවුස්වලට නිර්මාණ ගැන කතා කරන්න. ඒවවලට එන්න කියන්න ඕන නැහැනෙ ඒවගේ වැඩවලට. මට එහෙම සිදුවීම් කිහිපයක්ම වුණා. ඉතින් මං තීරණය කළා ඒ ඩිරෙක්ටස්ලගෙ කිසිම නිර්මාණයකට දායකවෙන්නෙ නැහැ කියලා.

මල්කිට නොයෙක් දෙනා සෑහෙන්න අයුතු යෝජනා කරල තියෙනවා වගේ.

ඔව් අනේ. ඒ අය අතර විජය - මාලනී කාලේ ඉඳලා හිටපු ඩිරෙක්ටර් කෙනෙකුත් ඉන්නවා. එයාගෙ ටෙලි නාට්‍යයක් එහෙම මේ දිනවල විකාශය වනවා. එයා මට සෑහෙන්න කරදර කළා මානසිකව. අයුතු යෝජනාවකුත් දැම්මා. මං ගානට ලිස්සලා ආවා.

එතකොට කැමරා අධ්‍යක්ෂවරුන් පිළිබඳ හොයලා බලන්නෙ ඇයි?

ඔය මට අයුතු යෝජනා දැම්ම අයත් සමඟ වැඩකරන කැමරා අධ්‍යක්ෂවරුන් පිරිසකුත් ඉන්නවා. එයාලත් ඒවගේ. අර කතාවක් තියනවනෙ කුණු ඇති තැන්වලටම කුණු වැටෙනවා කියලා. ඒක තමයි සිද්ධ වෙන්නෙ.

ඔබ ඔයවගේ කතා කියද්දි මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න නවක ගැහැනු ළමයි බය වෙන්න පුළුවන්?

නැහැ. නැහැ. මේක එච්චරටම නරක ක්ෂේත්‍රයක් නෙවෙයි. අනික මොළේ පාවිච්චි කරලා දන්න ශිල්ප ඔක්කොම දාලා ඒවායින් ගැලවෙන්න පුළුවන්. හැබැයි මේ ක්ෂේත්‍රයේ වෘත්තිය මට්ටමෙන් නම් කරගෙන යන්න බැහැ.

ඇයි එහෙම කියන්නෙ?

ඇයි අනේ. අපි රඟපාල සල්ලි ඉල්ලගන්න පස්සෙන් යන්න ඕනනෙ. වෘත්තිය මට්ටමින් දෙයක් වෙනවානම් එහෙම වදකරකර පස්සෙන් යන්න ඕන නැහැනෙ. ඒකයි මං එහෙම කිව්වෙ.

ඔබට රඟපාලා හම්බකරන සල්ලි මදිද?

බොරු කියන්න ඕන නැහැනෙ. මටනම් හොඳටම මදි.

ඇයි එහෙම වෙලත් ඔබ මේ ක්ෂේත්‍රයෙම ඉන්නෙ?

දැන් මං මේක මගෙ වෘත්තිය කරගෙන ඉවරයි. දිගටම දැන් මං මෙහිම රැඳී සිටිනවා.

ඔබ ක්ෂේත්‍රයට පිවිසි අයුරු මට අහගන්නට බැරිවුණා?

මං මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ මෝස්තර නිරූපිකාවක් විදිහට. ඊට පසුව අහම්බෙන් රංගනයට යොමුවනවා. බාඳුරා දේශය, අදිසි, මේඝා, කෝපිකඩේ ඇතුළු නාට්‍ය ගණනාවකට මං එකතු වනවා. මියුසික් වීඩියෝ එහෙමත් කළා.

කෝපිකඩේ ඔබ කාටද ඉන්නෙ?

මං එහි විනීතා. ඒ චරිතයනුත් ප්‍රේක්ෂකයො හුඟක් මාව හඳුනගත්තා.

මේ වන විට ඔබ කොපමණ කල්ද ක්ෂේත්‍රයට ඇවිත්?

අවුරුදු තුනක් විතර.

මේ කාලය අතරතුර ලබාගත් ජනප්‍රියත්වය පිළිබඳ මොකද කියන්නට තියෙන්නෙ?

මටනම් මේ ලැබුණු ජනප්‍රියත්වය හොඳටෝම ඇති.

ඔයාගෙ ප්‍රේමවන්තයා පිළිබඳ විස්තර කියන්න දැන් තමයි වෙලාව?

මට ප්‍රේමවන්තයෙක් නැහැ. ආදරය සම්බන්ධ අමිහිරි අත්දැකීමක් තියනවා. ඒ ගැන ඕනනම් කියන්නම්.

කියන්න.

මං විවාහවෙන්නට ඔන්න මෙන්න තියෙද්දි, ඒ කිව්වෙ විවාහ මංගල දිනයේදී මාව බඳින්න බැහැ කිව්වා මගෙ හිටපු බෝයිෆ්‍රෙන්ඩ්. මං ඒ වෙලාවෙ මඟුල් ඇඳුමත් ඇඳගෙනයි හිටියෙ. අන්තිමේ නොසිතූ අන්දමට ඔක්කොම ඉවරවුණා.

ආයෙත් ඔබ පෙම්වතියක් නොවේවිද?

කවදාවත්ම නැහැ. මේ විදිහට තනිකඩව මං මගේ ජීවිතය ගෙවා දමනවා.

මල්කි ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

කාටවත්ම කරදරයක් නැති අහිංසක කෙනෙක්.