වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවත්ව සිටියදීම අම්මා මරණයට සූදානම් වුණා

ජීවත්ව සිටියදීම අම්මා මරණයට සූදානම් වුණා

මෙරට මහා සිනමා විචාරක ජයවිලාල් විලේගොඩට මාතු භාර්යාව වූ දයා විලේගොඩ ගැන දියණිය කියයි

ලාංකේය සිනමා විචර කලාවේ අදීන සිනමා විචාරකයකු වු ජයවිලාල් විලේගොඩයන් අප අතරින් වියෝ වී ගොස් හතළිස් හතර වසරක් පිරුණේ ඉකුත් වසරේ අගෝස්තු 4 වැනිදාටය. වසර තිස් හයක් වැනි ඉතා කෙටි ආයු කාලයකට හිමිකම් කියූ විලේගොඩයන්ට එදා ජීව ශක්තියක් වූයේ ඔහුගේ ප්‍රිය බිරිය දයා විලේගොඩයන්ය. ඇයද ඉකුත් දෙසැම්බර් 27 වැනිදා සදහටම දෙනෙත් පියාගනු ලැබුවෙ අවුරුදු අසූ එකක් ආයු වළඳමිනි. දියණියන් තිදෙනෙකුග් මවක වූ දයා මහත්මිය මෙරට කාන්තාවන් අතරේ සුවිශේෂී කාන්තාවක වූයේ ඇය තුළ තිබූ එක්තරා මුනුෂික ගුණයක් හේතුවෙනි.

විලේගොඩයන්ට ඉමහත් ශක්තියක් වූ ඈ විලේගොඩයන් හා විවාහ වෙද්දී විලේගොඩයන් සුව කළ නොහැකි රෝගයකින් පෙළෙණ බව දැන සිටිය ද ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරමින් ඈ විලේගොඩයන් හා අතිනත ගැනීම ඇගේ මානුෂික ගුණයන් කියා පෑ එක් සිදුවීමක් පමණක් විය. එවන් පරිත්‍යාගයක් කරමින් සිය ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි මේ දිරිය මාතාව තමන්ගේ මරණය වෙනුවෙන් ද සූදානම් වූ අපූරු කතාන්දරය සමාජයට සුවිශේෂී වූවකි. ඒ නිසාම අපි ද ඒ දිරිය මාතාවගේ අපූරු කතාන්දරය අසනු කැමැත්තෙන් ජයවිලාල් විලේගොඩයන්ගේ වැඩිමල් දියණිය චායා ප්‍රහර්ශී විලේගොඩයන් සමඟ කතාබස් කළෙමු.

1934 ඉපදී ඇති මගේ අම්මා එවක ජන්ම ලාභය ලබා ඇත්තේ ද ඇගේ රාජගිරියේ නිවහනේ බව මා වෙත නිතර කියනු මට ඇසී තිබුණි. සතුන්ට පුදුම විධියට ආදරය කළ ඈ සතෙකු වෙනුවෙන් පිහිට වනුයේ ඇගේ අනෙකුත් වැඩ රාජකාරි පසෙකලා බව මා හොඳාකාරවම දනිමි. ඇගේ ඒ ආශාව පුරුද්ද අප තුළ ද පිහිටියේ ජන්ම ගත පුරුද්දක් නිසාදැයි මට විටෙක සිතුණු වාර අනන්තය. මටත් නංගිලා දෙන්නාටත් මේ පුරුද්ද අදටත් පිහිටා තිබෙන බව කාටත් සැඟවිය නොහැක. අම්මාගේ සත්ව කරුණාව නිසාම ඇයට කුඩා කළ පිස්සු බල්ලන් තුන් දෙනෙකු සපා කා ඇති බව ඈ මට පවසා තිබිණි. එවක පිස්සු බල්ලන් කෑ විට ඇයට තොවිල් පවා කළ බවත් අලුතින්ම ලිඳක් කපා ඇයට එයින් ගත් වතුරෙන් නෑවූ බවත් මට කියා තිබිණි.

ඇය කුඩා කළ පටන් විවිධ වූ රෝගාබාධයන් සඳහා ප්‍රතිකාර ලබා ගත් බව ද මට කියා තිබිණි. ඒ නිසාමද කොහේදෝ ඈ විටෙක මට පැවසුවේ දුවේ මම ඉපදුන දා ඉඳලා ලෙඩෙක් කියාය. කෙසේ හෝ ඇය 2006 වසරේදී හෘද සැත්කමකට භාජනය වූ අතර එයින් ද ඇය බොහෝ සේ දුක් පීඩා විඳිනු ලැබීය. දියවැඩියාව, අධික රුධිර පිඩනය ඉහළ යාම හේතුවෙන් ඇගේ සැත්කම් තුවාල පැසවීම නිසා ද ඇය බොහේ විට පීඩා විධි අවස්ථා තිබිණි. කොතෙකුත් ඇය අප ගැන සොයා බලමින් කටයුතු කරනු ලැබුව ද ඈ බොහෝ විට ලෙඩ දුක්වලින් පීඩා විඳිනු ලැබුවාය. විවිධ රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය සෝමසුන්දරම්, වෛද්‍ය අල්මේදා, වෛද්‍ය මොහාන් ජයතිලක ආදීන්ගෙන් ඈ විවිධ රෝග සඳහා බෙහෙත් ගනු ලැබීය. තාත්තා මිය යන කොට අම්මාට වයස අවුරුදු තිස් හයක් විය.

ඇගේ තරුණ අවධියේම වාගේ තාත්තා මිය ගිය නිසාම අපේ සියලු වගකීම් අම්මාගේ කර පිට වැටුණේ ඇගේ පවුලේ පිරිමියකු කියා කිසිවකුත් නොවූ නිසාය. අපේ පවුලේ වැඩිමල් දරුවා වූ මගේ ඒ වන විට වයස අවුරුදු දහයකි. තාත්තා මිය යන විට ලොකු නංගී නිලීමාගේ වයස වූයේ අවුරුදු 3 1/2 කි. මගේ බාලම නංගී තරිකාට ඒ වන විට වයස අවුරුදු 2 1/2 කි. තාත්තා නොමැතිව මේ ලෝකයේ අප තිදෙනා සමඟ තනි වූ අම්මාට තාත්තා මිය ගිය අවධියේ කඩයකට ගොස් බඩුවක් ගෙන ඒමට තරම්වත් හැකියාවක් නොවිණි. අතට පයට වැඩකාරයන් අතැතිව සිටි අම්මාට අකමැත්තෙන් වුව ද මේ හැම දුෂ්කර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු විය.

චායා ප්‍රහර්ශී විලේගොඩ

අම්මා අධ්‍යාපනය ලබා තිබුණේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. ඇයට චිත්‍ර ඇඳීම මෙන්ම රූප අඹන කටයුතු හරි අපූරුවට කිරීමේ දක්ෂතාවයක් ති'බුණේ ඈ හේවුඩ් ආයතනයෙන් ද අධ්‍යාපනයක් ලබා තිබූ නිසාය.

1962 පටන් අප පදිංචිව සිටියේ කොහුවලය. එහි සිට කළුබෝවිල රත්නාවලී පාරේ අපි පදිංචිව සිටින මේ ගේ සෑදීම ඇරැඹියේ තාත්තා ජීවත්ව සිටින අවධියේමය. 1971 ජනවාරි 28 වැනිදා මේ නිවසට අපි මුල්වරට පදිංචියට ආවා මට හොඳට මතකය. පුරා වසර හතලිහකටත් වැඩි කලක් අම්මා දිවි ගෙවනු ලැබුවේ මේ කළුබෝවිල නිවසේය. එදා මෙදාතුර අම්මා මේ ගමේ කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත් විය. විලේගොඩ නෝනා ලෙස කවුරුත් ඈව හැඳින් වූයේ ඈ තුළ තිබූ දයාබරත්වය නිසාමය. මේ ප්‍රදේශයේ ඈ ප්‍රධාන පෙළේ සමාජ සේවිකාවක් වූවාය. පින් දහම් කටයුතුවලට ඈ පුදුම විධියට ඇලුම් කළාය. කිසියම් අයකුගේ සුබ කටයුත්තකදී ඈ ඔවුන්ට දෙනු ලැබුවේ පිරිත් වතුර, පිරිත් නූල්ය. ඈ විසූ නිවසේ කාමරයේ ඈ නැවුම් කලයකට වතුර රැගෙන එය දවස ගානේ පිරිත් කිරීම සිරිතක් කොට තිබිණි. අද ද ඇය මිය ගිය ද ඒ පුරුද්දක් ලෙස සිදු කළ පිරිත් කළ වතුර හා පිරිත් නූල් අදත් ඇගේ කාමරයේ එලෙසම තැම්පත්ව ඇත.

කිසියම් හෝ කටයුත්තක් ඉහළ මට්ටමින් කිරීමේ සුවිශේෂී කැමැත්තක් ඈ තුළ තිබුණු ලක්ෂණයක් විය. ලස්සන ඇඳුම් ඇඳීම, පිළිවෙලට හැම වැඩක්ම කිරිම හා නිතර පිනට දහමට ලැදි වීම ඈ තුළ තිබූ තවත් සුවිශේෂ ලක්ෂණයක් විය. තාත්තා ජීවත්ව සිටි කාලයේ පටන් කළුබෝවිල සුනන්දාරාමය සමඟ සමීපව කටයුතු කිරීමට පටන්ගෙන තිබුණි. ඒ පන්සල සමඟ සමීප ඇසුර ඇය මිය යන තුරුම අඛණ්ඩව පවත්වාගෙන ආවේ බෙහෝ සැදැහැ සිතිනි. ඈ තුළ තිබූ පුණ්‍යවන්තකම නිසාම දෙවරක් ඈ පන්සලට ධර්මාසන පූජාවක් සිදු කරනු ලැබිණි. මේ පූජාව මෙනෙහි කරමින් තමන් පූජා කළ ධර්මාසනය මත හිඳ ස්වාමීන් වහන්සේ අන් අයට ධර්මය දේශනා කරන හැටි බාල ඈ අපමණ සතුටක් භුක්ති වින්දා මට හොඳට මතකය.

තාත්තා හදිසියේ මිය යන විට මම වයස අවුරුදු දහයක දැරියක්මි. එවක මම පාසල් යනු ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයටය. පසු කලෙන මාගේ වැඩිමල් නංගී නිලීමා ද ඉගෙන ගනු ලැබුවේ අනුලා විද්‍යලයේය. බාල නංගී තරිකා ශිෂ්‍යත්වයක් ලැබ කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීය. අපි පුංචි අවධියේම තාත්තා නැති වුව ද ඒ තාත්තා නැති අඩුව අම්මා කිසි විටකත් අපිට දැනෙන්නට ඉඩ තිබ්වේ නැත. අපේ සියලු බර කරට ගත් ඈ නොසැලී දිරිය මවක් වන්නට පටන් ගත්තේ තාත්තාගේ මරණෙන් පසුවය. තාත්තා නැති වූ මුල් දිනවල අපිට දැනුණේ පුදුම පාලුවකි. නිතර විවිධ පුද්ගලයන් නිතර ආ ගිය මේ ගෙදර තාත්තාගේ මරණෙන් පසු ඒ අයගේ නොපැමිණීමත් සමඟ පාලුවට ගොස් තිබිණි. තාත්තාගේ අඩුව නිසා කියා ගන්න බැරි පාලුවකින් සිටි අපිට නැඟී සිටින්න වචනයෙන් පවා ශක්තියක් එක් කළේ අම්මාය.

තාත්තාට වඩා අපි තිදෙනාම බය පක්ෂපාතබවක් දැක් වූයේ අම්මාටය. ඇය අපිව හැදුවේ වැඩුවේ තරවටු කරමින් නොවූව ද නිතර අපේ වැරැද්දකට ඈ අපිට පෙන්නුවේ සැර පරුෂ බවකි. ඒ තත්ත්වය අපි කුඩා කාලයේ ඇරුණු කොට අපි තේරෙන වයසට ආ විට අපිට කිසි විටෙක තහංචි දැම්මේ නැත. ඒ තරමට ඈ අපි තිදෙනා ගැන විශ්වාසයක් තිබිණි. අපි තිදෙනා එදා මෙන් අදටත් පුදුම සහෝදර බැඳීමකින් පසු වෙමු. ඒ බව දත් අම්මා අපමණ සතුටක් ලැබුවේ අපි තිදෙනාගේ තිබෙන එකමුතු බව දැක දැකය. අපි තිදෙනාම අම්මාට දුන් සැනසිල්ල නිසාම ඈ අප ගැන බැලුවේ අපමණ විශ්වාසයකිනි. අපි කවදාවත් වැරැදි වැඩක් කරන් නෑ කියන තද විශ්වාසය ඈ තුළ තිබූ නිසාම ඇයට අපි තිදෙනා ගැන අන් අයගෙන් ලැබුණේ ප්‍රශංසාමය.

තාත්තා පෙරළිකාර සිනමා විචරකයකු වුව ද ඒ ගැන ආඩම්බරයක් අම්මා තුළ මෙන්ම අප තුළ ද තිබුණේ නැත. මිනිසුන් රට තුළ අපේ පියාණන්ට ගෞරවයක් කරනවා දැක අම්මාත් අපත් සතුටු වූවා හැරෙන්න තාත්තාගේ නාමය අපේ වාසියට කිසි විටෙකත් භාවිත නොකළෙමු. තාත්තා සමඟ අපිට ඉතා කෙටි කලක් ජීවත්වීමේ වරම ලැබුණ ද මට තාත්තා මිය යාමට පෙර ඔහුත් සමඟ එක් චිත්‍රපටයක මංගල දර්ශනය නැරැඹීමේ භාග්‍යය ලැබුණි. එක් පූල් දෝ මාලි චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා මා කැඳවාගෙන තාත්තා ගියේ පාසල් වේලාවෙන් පසු බව මට අද මෙන් මතකය. එදා ඒක් පූල් දෝ මාලි චිත්‍රපටය බලා ගෙදර එමින් සිටි තාත්තා මට ඉදිරියේදී තිරගත වීමට තිබූ ආරාධනා චිත්‍රපටය නැරැඹීමට ද එක්කන් යන බව පොරොන්දුවක් ද දුනෙමි. එහෙත් ඒ පොරොන්දුව ඉටු කරන්නට තරම් තාත්තා වැඩි දවසක් ජීවත් වූයේ නැත.

ආරාධනා ලංකාවේ තිරගත වන විට තාත්තා මිය ගොස්ය. මම වඩාත් එවක ප්‍රිය කළේ සිංදු ඇසීමටය. ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් තීරය ඇසීම මගේ විනෝදාංශයක් විය. එවක අපේ නිවසේ තිබූ ගුවන් විදුලිය තාත්තා අසනු ලැබුවේ රාත්‍රී කාලයටය. රැකියාවට ගොස් නිවසට පැමිණෙන තාත්තා නිතර ප්‍රිය කළේ ගීත ඇසීමටය. මම ද එයට මහත් ඇල්මක් දැක් වූ හෙයින් තාත්තා ද ඒ සඳහා මහත් උනන්දුවක් දක්වන ලදී. තාත්තා අසන්නට වඩාත් ආශා කළ ගීත දෙකක් විය. එක් ගීතයක් වූයේ නාරද දිසාසේකරයන් ගායනා කරන ආදර නිල් දෑසේ . . . ගීතයයි. අනෙක් ගීතය වූයේ අමරදේවයන් සත් සමුදුර චිත්‍රපටයට ගායනා කළ සිනිදු සුදු මුදු තලාවේ . . . ගීතයයි. මේ ගී දෙක තාත්තා බොහෝ දිනවලදී රැකියාවට ගොස් ගෙදර පැමිණ නිතර ශ්‍රවණය කරනවා මා කොතෙකුත් දැක ඇත්තෙමි.

බොහෝ දවල් වී රැකියාවට යාම තාත්තාගේ පුුරුද්දක් විය. උදේ පාන්දර සිට එක දිගට දහවල් වනතුරු ලිපි ලිවීම තාත්තාගේ දින චරියාව විය. මම ද තාත්තා ළඟට වී එවක මට හැකි අයුරින් ඒ මොහොතේ තාත්තා එක කොලයක් ලියන විට මම කොල දෙකක් කුරුටු බලි අඳිමින් ඔහේ අකුරු ලියමින් තාත්තාට දුන්නා මට හොඳට මතකය.

ජයවිලාල් විලේගොඩ

තාත්තාගේ හදිසි අභාවයත් සමඟ තාත්තා ළඟ තිබූ සියලු ලිපි ලේඛන අම්මා සුරක්ෂිත කොට කාලයක් රැකගෙන ආවත් ඒ ලිපිවලින් දරුවෝ තුන් දෙනා හැටියට අපි කවුරුවත් ප්‍රයෝජනයක් නොගන්නා නිසාම අවසානයේදී අම්මා ඒ සියල්ල අපේද කැමැත්ත ඇතිව මේ රටේ ඉගෙන ගන්නා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජාතික කතෝලික සිනමා පර්ෂදයට පරිත්‍යාග කෙරිණි. අද වනතුරුත් තාත්තාගේ ලිපි පිළිබඳ අපෙන් විමසන කාට වුව ද අප පවසා සිටිනුයේ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ පුස්තකාලයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි කියන පණිවිඩයයි.

මගේ ජීවිතයේ ඇරැඹුමට මුදලක් මා අතට පත් කළේ මගේ මෑණියන්ය. ඒ මා කරන්නට යන ව්‍යාපාරය සාර්ථක වේදැයි කියාවත් නොසිතමිනි. එහෙත් සිදු වූයේ මාද නොසිතන අයුරින් මගේ උත්සාහය මල්ඵල ගැන්වීමය. ඒ පිළිබඳ අම්මා පසු වූයේ ද මහත් වූ සතුටකිනි. මගේ නංගිලා වූ නිලීමා අද ජ්‍යෝතිෂවේදිනියකි. තරිකා දෘෂ්්ටි විශේෂඥ වෛද්‍යවරියකි. අපි තිදෙනාට අම්මාට සලකනු ලැබුවේ එකම විධියටය. අම්මා මා ළඟ සිටියද නංගිලා දෙන්නා අම්මා ගැන සොයා බැලුවේ මටත් වඩා සැලකිල්ලකින් කියා මට විටෙක සිතෙන තරම්ය. අපි තිදෙනාටම අම්මා ඇය සතු සියල්ල වෙන්කර තිබුණ ද අද වනතුරුත් අපි එකිනෙකාට ඒවා වෙන්කර ගන්නට තරම්වත් අවශ්‍යතාවක් නොමැති තරමට අප අතර ඇත්තේ ද කියාගන්නට බැරි සහෝදරත්වයේ බැඳීමකි.

අම්මා ඇගේ මරණයට ලක ලෑස්ති වූයේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටය. එවක පටන් ඇගේ අවසන් කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳ අපට නිතර මතක් කළ අවස්ථා තිබිණි. ඇය නිතර රෝගී තත්ත්වයෙන් පෙලුණ නිසා එවැන්නකට සූදානම් වූවාදැයි මම නොදනිමි'. මීට වසර පහළොවකට පෙර ඇය ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩම්වා ජීව පාංශුකූලය දෙනු ලැබිණි. එසේ කර ඈ අපෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ තමන් මියගිය පසු පාංශුකූලය නොදෙන ලෙසය. තවද ඇය අපට කියා තිබුණේ තමන් මියගිය පසු තමන්ගේ මිනිය ගෙදරට ගෙන ඒමෙන් වලකින ලෙසයි. ඒ වගේම පැය විසි හතරක් ඇතුළත තමන්ගේ මලකුණ පොළවට පස් වී සතුන්ට ආහාරයක් වන විධියට වලදමන ලෙසත් ඇය මට පවසා තිබිණි. තවද ඈ අපූරු අදහසක් අප වෙත කියා තිබිණි. ඇය මියගිය පසු මිනියට ඇන්දිය යුතු සුදු සාරිය, කණට දැමිය යුතු සුදු කරාබු දෙක අතට දැමිය යුතු මුතු වළල්ල, කරට දැමිය යුතු මුතු මාල මේ හැම දෙයක්ම තමන් ලකලෑස්ති කර තබන බවකි. මෙවැනි දේ ඈ මට පවසන විට මා නිතර ඇයට කියනුයේ අම්මා කොහොම කිව්වත් මම පැයකට හරි මිනිය ගෙදර ගේනවා කියලාය.

මීට මාස දෙක තුනකට පෙර අම්මා බලන්නට කළුබෝවිල සුනන්දාරාමයේ විහාරාධිපති ලංකානන්ද හිමියන් නිවසට වැඩම කරනු ලැබිණි. එදින අම්මාට යළිත් ජීව පාංශුකූලය දීමට අවශ්‍ය බව හිමියන්ට පවසා සිටිනු ලැබිණි.

එවිට ස්වාමීන් වහන්සේ විලේගොඩ නෝනා ඔය දේවල් කරන්න හදන්න එපා. දුවලා අවශ්‍ය වෙලාවට ඒ දේවල් කරයි කියලත් පවසා සිටිනු ලැබිණි.

ඉකුත් දෙසැම්බර් 24 වැනිදා නත්තල් පාටියකට ඇඳුම් ගැනීම සඳහා යාමට නිලීමා නංගි ගෙදර පැමිණියේ අම්මාත් සමඟ ඇඳුම් ගැනීමට යාමටය. අපේ අම්මාට අපිට ගැළපෙන ඇඳුම් තෝරා දීමේ අපූරු හැකියාවකුත් තිබූ හෙයින් ඇයත් සමඟ වෑන් රථයෙන් නුගේගොඩ බලා යන විට අම්මා කොහුවල මිනී කනත්ත දෙස බොහොම ආශාවෙන් බලමින් තව ටික දවසකින් මාත් මෙතනට එනවා කියා නංගීට පවසා තිබිණි. ධනසිරි අමරතුංග මහතා කනත්ත නවීකරණය කර එයට නිසල අරණ ලෙසින් නම් කර ඇති හෙයින් අම්මා මේ ගැන කීප විටක් මා සමඟ ද කියා තිබුණා මට මතකය.

දෙසැම්බර් 27 වැනිදා වෙනදා මෙන් අම්මා තමන්ගේ වැඩ කටයුතු කරමින් පසු වුව ද එදින ඇය උණ රෝගයෙන් පෙලෙමින් සිටියේ තමන්ගේ අතපය වේදනාවක් ගැන කියමිනි. කෙසේ හෝ එදින දහවලේ ඇය හදිසියේ අපෙන් වෙන් වී ගියේ අපි ද නොසිතූ ලෙසිනි. ඇගේ හදිසි අභාවය ගැන දැනගත් විගස මගේ නැඟණියන් හා ඥාති පිරිස් අප නිවසට එක් රොක් වන්නට විය. අම්මා ජීවත්ව සිටි කාලයේ අපට කියා තිබූ අයුරින් මමත් නංගිලා දෙන්නාත් අම්මාගේ අල්මාරිය විවෘත කොට බැලීමි. එහි වූයේ ඇගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහාත්, පිංකම් කටයුතු සිදු කිරීම සඳහාත් වෙන් කළ මුදල් ද ඇගේ දේහය සඳහා ඇන්ඳිය යුතු ඇඳුම් ආයිත්තම්ය. ඈ විසින් වෙන් කර තිබූ සාරිය අපි ඇයට ඇන්දුවේ නැත. අනෙකුත් පලඳනා අපි ඈ වෙනුවෙන් ඒ ඉල්ලීම පරිදි ඉටු කළෙමු. ඇගේ මරණය අන් අයට දැන ගැනීම සඳහා ඇගේ අතින්ම මසන ලද කොඩි හතරක් ද පාරේ හා නිවස අසල දමන්නට ඈ සූදානම් කොට තිබිණි. අපි එය ද ඇගේ ඉල්ලීම පරිදි එල්ලනු ලැබිණි. අම්මාගේ ඇස් දෙක ද අපි දන් දෙනු ලැබුවෙමු. යම් තරමකින් හෝ ඇගේ කැමැත්ත පරිදි අපි අවසන් කටයුතු සැලසුම් කළද පැය කිහිපයකට හෝ ඇගේ දේහය නිවසට ගෙනවිත් පසුදා 28 වැනිදා සවස අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ දරුවන් හැටියට අපිට ද ඇගේ කැමැත්තටම ඉඩ දෙනු වාවනු බැරි නිසාමය. නිසළ අරණේ අදත් අම්මා නිසලව මිහිදන්ව සිටිය ද ඈ අපට ඉතිරි කර ගිය ගුණ සුවඳ සදා අනුස්මරණීයයි. අම්මේ ඔබට නිවන් සුවම අත්වේවා!