වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




විමලවීර පෙරේරා මා දිවිය රැක දුන්නේය

විමලවීර පෙරේරා මා දිවිය රැක දුන්නේය

තැනින් අප දෙදෙනා යන්නේ ලේක්හවුසියටය. එකල 'නවයුගය' සඟරාව නව මුහුණවරකින් නිකුත් විය. එහි කර්තෘ විමලසිරි පෙරේරා වුව ද අප වඩාත් සමීප වූයේ උප කර්තෘ ආදී ආනන්දීයකු වූ රාජා ටී. බස්නායකටය. ඔහු ලියූ කොටස් වශයෙන් පළ වූ 'රෝස මල' නවකතාවත්, කෙටි කතාවල නව ආකෘතියට කෙටි දෙබස්වලට අපි ආසක්ත වී සිටියෙමු. ඔහු සඟරාවේ ලිපි තීරු කථා ගම්වලින් අලවන අයුරු ද අපි බලා සිටියෙමු. අප දුන් නිසදැස් කවි රාජා පළකර දුන්නේ විශේෂ තැන්වලය. විශාඛා විද්‍යාලය ගැන තිබූ පිටු 4 ක විශේෂ ලිපිය මැදින් මගේ නිසඳැස් කවි පළ කිරීම විශේෂයක් විය. රාජා මටත් කුලේටත් දුන් අනුග්‍රහය කිසිදා අමතක නොවේ.

'සරසවිය' පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ හා උප කර්තා සෝමවීර සේනානායක 'නිම්වළල්ලේ' ඡායාරූප පමණක් නොව විශේෂාංග ද පළ කර දුන්නේය. ඒ අතරම 'දවස' නිවසින් නිකුත් වූ 'ශ්‍රී' සඟරාව එකල තරුණ පරපුර අතර ජනප්‍රියව තිබුණි. කුමාර කරුණාරත්න, නිව්ටන් ගුණසේකර, ජයකොඩි සෙනෙවිරත්න, ලක්ෂ්මන් මල්ලවාරච්චි (පසුව 'සරසි' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හා දැනට ශ්‍රී ජ් ර් නියාමක නිලධාරි) ලග්ගල එස්. රත්නායක, සමරසේන කළුගම්පිටිය යනාදීහු මේ සඳහා ලිපි සැපයූහ.

ශ්‍රී සඟරාවේ සංස්කාරිකා ශ්‍රියා රත්නකාර මහත්මිය මාත්, කුලේත් කිසිවෙකුගේ හඳුනාදීමක් නැතිවම අපේ ලිපි පළ කර දුන්නාය. ඇයට අප ආදරයෙන් ආමන්ත්‍රණය කළේ 'ශ්‍රියා අක්කා' කියාය. අපේ ලිපි පළ කොට දී රුපියල් 15 ක චැක් පතක් එවීමෙන් ද ඇය අපට උදව් කළ බව කෘතඥතා පූර්වකව මතක් කළ යුතුය. 'දවස' නිවසින් නිකුත් වූ ළමා පුවත්පත වූ 'ටිකිරි' සංස්කාරක සිරිපාල තිලකසේන හා 'රස කතා' කර්තෘ ම. ආ. විමල් යන මහත්වරු ද අපට අත හිත දුන්හ.

'විසිතුර' පත්‍රයේ කොටස් වශයෙන් පළ වූ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක නිව්ටන් ගුණසේකර ලියූ 'සමනලයෝ' නවකතාව එකල බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.

ඔහු 'දවස', 'රිවිදින' පුවත්පත්වලට ලියූ මතවාද අවුස්සන සාහිත්‍ය ලිපි ද අපි ආසාවෙන් කියවීමු. එපමණක් නොව ඔහු ලියූ නිර්මාණාත්මක කෙටිකතා තරඟවලින් ජය පිට ජය ගත්තේය. අපට ඔහු හඳුනා ගැනීමට අවශ්‍ය විය. එක් දිනක ඔහු 'දවස' පඩිපෙළ බසිමින් සිටියේය. අප අප ගැනම හඳුන්වා දුන් පසු 'යමු තේ එකක් බොන්න කැන්ටිමට' ඔහු කීවේය. එය කිට්ටු ඇසුරකට මුල පිරීය.

දිනක් 'දවස' නිවසේ මා පඩි පෙළ නගිත්ම ඔහු පඩි පෙළ බසිමින් සිටියේය.

'මම හම්බවෙන්න හිටියෙ. මගේ අලුත්ම නවකතාව ප්‍රේම කතාවක් නෙවෙයි. නම 'මරු කතරක උපන් පුතේ'. මගේ නවකතාවේ පිටකවරය අඳින්න ඕනෑ රංජිත්. ඔයා කරුණාරත්න සපුතන්ත්‍රිගේ නවකතාවට ඇඳපු පිට කවරයට මම කැමතියි.'

මම අන්දමන්ද වීමි. වයස අවුරුදු 14 දී මම ප්‍රථම වරට සපූගේ 'පව් පඳුරු' නවකතාවේ පිට කවරය ඇන්දෙමි. ඒ 1964 වසෙර්ය. එයින් වසර 4 කට පසු එවැනිම ආරාධනයකි. නිව්ටන් මා කැන්ටිමට කැටුව ගොස් 'කෑම ටිකක් කමු' ආරාධනා කොට තම නවකතාවේ තේමාව විස්තර කළේය. ඊළඟ සතියේ පිට කවරය ඇඳගෙන මම 'දවස' නිවසේදී ඔහු හමු වීමි.

'ෂා මරු. මේ තියෙන්නේ මම බලාපොරොත්තු වුණු කවරය.' නිව්ටන් ප්‍රසංශාත්මක මුවින් පැවසුවේය. දයාවංශ ජයකොඩි විසින් ප්‍රකාශයට පත් කළ මේ නවකතාවෙන් මගේ පොත් කවර නිර්මාණයේ පුනරුත්පත්තිය සිදු විය.

1990 වසරේ මා එවකට 'සරසවිය' පුවත්පතේ කතුවරයාව සිටියදී නිව්ටන් ගුණසේකරට පුවත්පතේ පළ කිරීමට කොටස් වශයෙන් නවකතාවක් ලියන මෙන් ඉල්ලා සිටි අතර මා වෙනුවෙන් ඔහු සියලු වැඩ නතර කොට 'තහනම් ගෙඩි' නමින් නවකතාවක් ලියා දුන්නේය. මම චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ ලවා චිත්‍ර අන්දවා එය ඔප කඩදාසියේ මුද්‍රිත 'සරසවිය' කවරයේ පසු පිටක විශේෂ තැනක පළ කර දුනිමි.

විමලවීර පෙරේරා යනු 'සරසවිය', 'නවයුගය' හා පසුව 'සිළුමිණ' පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වූ විමලසිරි පෙරේරාගේ එකම සොහොයුරාය. මහ කවි බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ බාල පුතා වූ විමලවීර 'ලංකාදීප' හා 'දිනමිණ' කර්තෘ මණ්ඩලවල සේවය කළ අතර ඔහු කවියෙක්, ගීත රචකයෙක් මෙන්ම වේදිකා හා චිත්‍රපට කතා රචකයකු ලෙස ප්‍රතිභාව පෙන් වූ කලාකරුවෙකි. 'පුංචි බබා' චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියූ ඔහු කේමදාසයන්ගේ 'කැලෑමල්' ගීත නාටකයට ලියූ ධර්මදාස වල්පොල ගැයූ 'සිරිකත එන මඟ' ගීතය ද රචනා කළේය. ලංකාවේ ප්‍රථම විරිදු නාටකය වූ ධර්ම ශ්‍රී කල්දේරා නිෂ්පාදනය කළ 'මදුමතී' වේදිකා නාට්‍යයේ ද රචකයාය. විමලවීර පෙරේරාට මා කතා කළේ 'විමල් අයියා' යන ආදර නමිනි.

විමල් අයියා ගැන මෙතරම් විස්තර සඳහන් කළේ ඔහු මගේ ජිවිතය වරක් බේරා ගත් උත්තමයකු නිසාය. ඔහු නොවෙන්නට මගේ ආයු කාලය විසර විස්සකට සීමා වෙන්නට තිබුණි. කොස්ගස් හන්දියේ ග්‍රෑන්ඩ්පාස් පාරේ පදිංචිව සිටි කිංස්ලි දිසානායක කවියෙකි. තැපැල් ස්ථානාධිපතිවරයෙකි. වේදිකා නාට්‍ය හා චිත්‍රපට නළුවෙකි. මගේ පියාගේත්, මාමාගේත් මිතුරෙකු වුව ද වඩාත් සමීප වූයේ මටය.

මේ නිසා ඔහු හාපුරා කියා තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමයට ආධාර පිණිස වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. 'නටත් අයෙක් සුරා මතින්' නම් මේ නාට්‍යයේ පිටපත ලිව්වේ විමල් අයියාය. මේ නාට්‍යයේ වේදිකා සැරසිලි භාර වූයේ මටය. නාට්‍යය ගැන කතාබස් කිරිමට කිංස්ලි අයියාත්, විමල් අයියාත් යන්නේ කොටුවේ වයි. එම්. සී. ඒ. ගොනැගිල්ලට යාබදව පිහිටි හිටපු හමුදා නිලධාරින්ගේ සුබසාධක නිලධාරීන්ගේ අවන්හලටය. බීර බොමින් අපි නාට්‍යයේ පිටපත සකස් කළෙමු. ඇතැම් දවසක හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ රඟපෑ තැපැල් ස්ථානාධිපතිවරයකු වූ චූලා කාරියවසම් අපට හමු වේ. ඒ වන විට චූලා, කිංස්ලිගේ නාට්‍යයට තෝරා ගෙන සිටියේය.

නාට්‍යයේ පුහුණුවීම් තිබුණේ අද ටෙලිකොම් ගොඩනැගිල්ලේ (එදා එය තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයයි) උඩු මහලේය. නාට්‍ය පුහුණුවීම්වලට නිබඳව සහාය වන මා එදා පැමිනියේ මඳක් වේලාසනය. මා යන විට විමල් අයියා පැමිණ සිටි අතර ඔහු පොතක් කියවමින් සිටියේය. උඩු මහලේ කොණක පිහිටි දොරක් දැක එය ඇරීමට උත්සාහ කළෙමි. දොර ඇරිණ. මම එහි ඇතුළුවීමට එක අඩියක් තිබ්බා පමණි. විමල් අයියා අඩියට දෙකට දුව විත් මගේ අතින් අල්ලා ගත්තේය. ඉවතට ඇද ගත් පුටුවක හිඳුවා ඔහු හිසට අත තබා ගත්තේය.

'තව පොඩ්ඩෙන් ජූලි හතයි. ඔතන කුණු දාන තැන. තට්ටු ගාණකින් බිමට වැටිලා ඔයා මැරෙනවා තව පොඩ්ඩෙන්'

මට කතා කර ගැනීමට නොහැකි විය. උඩුමහල භාරව සිටි අපට තේ සාදා දුන් සිරිසේන නම් මුරකාර අයියා පැමිණ කාරණය දැනගත් පසු 'තව පොඩ්ඩෙන් මහත්තයාත් ඉවරයි, මගේ රස්සාවත් ඉවරයි' කියා ඔහු ඒ කාමරයට සීල් තැබුවේය. එදා මගේ ජීවිතය බේරා ගත් විමල් අයියා අද ජීවතුන් අතර නැත. 1979 නොවැම්බර් 08 වෙනිදා විමල් අයියා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 42 ක් වූවා පමණි.

විමල් අයියා 'කැලෑ මල්' ගීත නාටකයට ලියූ 'සිරිකත එන මඟ ලා තණ ගොබ මත පිණි කැට අතුරා' (ගායනය ධර්මදාස වල්පොල) ගිතයක් ලතා ගැයූ 'සීගිර ගල මුසපත් කළ කැටපත් පවුරේ' ගීතය ඉඳහිට ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන විට ඔහු මතක් වී කඳුළක් දෑසට නැඟේ. එදා 'නටත් අයෙක් සුරා මතින්' නාට්‍යයෙන් පසුව 'බිනරී සහ සුදු බණ්ඩා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කිංස්ලි අයියා ද අද ජීවතුන් අතර නැත.

කිංස්ලි අයියා මට ලේක්හවුසියටම ගොස් මිතුරෙකු හඳුන්වා දුන්නේය. ඒ 'බුදුසරණ' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ දයා සිරිවර්ධන මහතාය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම 'මහත්මයෙකු' වූ ඔහු මගේ ලිපි 'බුදුසරණ' පත්‍රයේ පළ කර දුන්නේය. ඔහු 'සරසවිය' පුවත්පතේ නියෝජ්‍ය කතුවර චන්දන දයාසිරිවර්ධනගේ පියාය.

'කවුද ආනන්දයේ බෞද්ධ සංස්කෘතිය උගන්වන්නේ' දිනක් සිරිවර්ධන මහතා මගෙන් ඇසීය.

'කොටගම වාචීස්සර හාමුදුරුවෝ'

'එහෙනං අහන්න ඕනෑද? ඒකයි මේ ලිපි සාරගර්භ'

'සිරිවර්ධන මහත්තයා වාචිස්සර හාමුදුරුවන්ගෙන් 'ටියුටෝරියල්' (නිබන්ධනයකට)එකකට 'ඒ' අකුර ලැබුණා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. මේ සේරම ලිපි 'ඒ' ලැබුව ඒවා'.

දයා සිරිවර්ධන මහතා වරෙක 'බුදුසරණ' ප්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක මහතාට මාව හඳුනා දුන්නේය.

'නිශ්ශංක මහත්තයා මේ ආනන්දයේ ශිෂ්‍යයෙක්. හොඳට ලියනවා'.

'මමත් ආනන්දේ ආදි ශිෂ්‍යයෙක්.' නිශ්ශංක මහතා තම සුදු රැවුල පිරිමදිමින් කීවේය.

නිශ්ශංක මහතා ප්‍රධාන කර්තෘ වුව ද 'බුදුසරණ' සම්පූර්ණයෙන්ම කළේ සිරිවර්ධන මහතාය. ගෞරව උපාධිධාරියකු වූ ඒ මහතා පසු කලෙක මා ලේක්හවුසියේ සම්මුඛ පරික්ෂණයකට එන බව අසා නිශ්ශංක මහතාගෙන් අගනා සහතිකයක් ලබාදීමට තරම් නිහතමානී විය. පුවත්පත් කලාවේදියකු වීමට මට මුල්ගල තැබූ එවැනි මිනිසුන් අද සොයා ගත හැක්කේ නිකිණි සොයා ගන්නවාටත් වඩා අමාරුවෙනි.