වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




හිතං ඇති අහසින් පාත් වෙලා කියලා

හිතං ඇති අහසින් පාත් වෙලා කියලා


ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

මානවී අදහා ගත නොැහැකි අන්දමින් වටපිට බැලුවාය. කාමරය කුඩා වුවත් පිරිසිදුය. එහි තිබුණේ එක ඇඳක් පමණි. අසල කුඩා මේසය ළඟ මානවීගේ පින්තූරයක් තිබිණ.
අම්මා කාමරය ලස්සනට අසුරා ඇත.

'මං ආපහු වැඩට යනවා. මේ දවස්වල අලුත් ඕඩර් එකක්. ඒ හින්දා රෑ වෙයි. ඔයා දොර වහගෙන ඉන්න.' නිර්මලා පැවසුවාය.
මානවීට දහවල් දොළහ වන විට නිර්මලා පැවසූ බස් නැවතුමේ බසින්නට හැකි විය. ඒ වන විටත් නිර්මලා බස් නැවතුමට පැමිණ සිටියාය.
'යං දරුවෝ'

නිර්මාලා මානවී ළඟට පැමිණ කතා කරන තුරුම මානවී දැක්කේ නැත. තකහනියේ දිවෙන රථ වාහනවල වේගයට නිනව්වක් නැත. නිර්මලා මානවීගේ අතින් අල්ලාගෙන කහ ඉරකින් පාර පැන්නාය. උත්තුංග ගොඩනැගිලි දෙකක් අතරින් නිරමලා මානවී කැඳවාගෙන අතුරු පාරකට වැටුණාය. එක් වරම සිරියාව අතුරුදහන් වූයේය. පල්ලමට වැටුණු පාර බොරළු පාරකි.
නිර්මලා කුඩා නිවහනක් ළඟ නතර වූවාය. අනතුරුව එහි වූ කුඩා කාමරයකට ඇතුළු වූවාය. මානවී නිසොල්මන්ව බලා උන්නාය. දෙර ඇරුණු හඬ ඇසුණු මහලු කාන්තාවක් ගෙයි පැත්තක ඉඳ එබිකම් කර බැලුවාය.

'මගේ දුව. මං කිව්වේ එනවා කියලා'
මානවීට අත්තම්මා මතක් විණි. මේ කාන්තාව කිළුටු කිමෝනාවක් ඇඳ සිටියේය.
'අම්මගේ කපාපු පළුව'
ඇය මානවීගේ මුහුණ අතගෑවාය. මාළු පිළී ගඳක් ඇය වෙතින් වහනය විය. මානවී ආයාසයෙන් සිනහවක් නඟාලන්නට උත්සාහ කළාය.

'කොච්චර දවසක් ඉන්නවද?'
මහලු ගැහැනිය ඇසුවාය.
'නෑ සිලි අක්කේ, දුව ආපහු යනවා'

ගැහැනිය ආපසු ගියාය. නිර්මලා මානවීට දහවල් ආහාරය ගෙනැවිත් තිබුණාය. නිර්මලා යළි වැඩපලට ගිය පසු දිවා ආහාරය ගත් මානවී ඉතුරු ඉඳුල් ඉවත හෙලන්නට තැනක් හෙවුවාය. මහළු ගැහැනිය ගෙයි පිටුපස පුටුවක වාඩි වී පොතක් කියවමින් උන්නාය.
'ඔන්න ඔය බාල්දියට දමන්ඩ ළමයෝ'

මානවීගේ අවශ්‍යතාව තේරුම් ගත් ඇය පැවසුවාය. මානවී ආපසු කාමරයට යන්නට සැරසිණි.
'ආපු මහන්සිය වැඩි ඇති, ඔය පළාත් වගේ නෙවෙයි මේි පළාතේ රස්නේ'

ගැහැනිය පැවසුවාය. ඇයට 'ඇන්ටි' යනුවෙන් අමතන්නට ඕනෑ යැයි මානවී ඒ අතර කල්පනා කළාය.
'මගේ ළමයි දැන් කවුරුවත් මෙහේ නෑ. උන් මාව බලන්ට එන්නෙත් නෑ'

ගැහැනිය දිග කතන්තරයක් කියන්නට අර ඇන්දාය. මානවී බැලුවේ එයින් මඟහැර කාමරයට වදින්නටය. මේ සියල්ලම ආගන්තුකයන්ය. ගෙයි පිටුපස සිට ඈත බැලූ විට පෙනෙන්නේ මඩ වගුරකි. ඉන් එහා තැන දැවැන්ත ගොඩනැගිලි රාශියකි. යළිත් මහලු ගැහැනිය පොත අතට ගත්තාය. මානවී ඒ අවසරයෙන් කාමරයට වැදිණ. ඇය ඇඳට ගොඩ වූයේ නිදාගන්නට වුවත් කාමරයේ රස්නය ඔරෙත්තු නොදෙන තරම්ය.

මේසය මත වූ කුඩා විදුලි පංකාව ක්‍රියාත්මක කළ මානවී වට පිට බැලුවාය. පත්තර රාශියක් අම්මා ළඟ විණ. ඇය එකින් එක අතට ගත්තේ කියවන්නටය. ඒ සියල්ල කාන්තා පත්තරය. මානවි එයින් එකින් එක පෙරළා බැලුවාය. එහෙත් මඳ වේලාවකි. ඇයට තදින් නින්ද ගියේය.

කටහඬ කිහිපයක් එකවර ඇසුණෙන් මානවී නැගිට්ටාය. කෙල්ලන් කිහිප දෙනෙකුගේ කිචිබිචිය සියල්ල පරයා නැඟිණ. ඊළඟට ඇසුණේ තදබල වචන කිහිපයකි.
මානවී කාමරයේ කවුළුව අතරින් සිදු වන්නේ කුමක්දැයි බැලුවාය. වැට මායිමෙන් මෙහා සිටින යුවතියක පාර අයිනේ මෝටර් සයිකලයක් නවත්වාගෙන සිටින තරුණයෙකු සමඟ උස් හඬින් වචන හුවමාරුවකය.

තරුණයා කියන වචන කිසිවක් නොඇසේ. එහෙත් තරුණිය නම් උස් හඬින් බැන වැදුණාය.
'හිතං ඇති මේ වගේ වැටිලා ඉන්න විධිය දැක්කම අහසින් පාත් වෙලා කියලා'

තරුණයා තවත් මොනවාදෝ කීවේය. තරුණිය බැණ වැදෙමින් ආපසු හැරුණාය. මානවී කවුළුවෙන් බලා සිටිනු දුටු ඇය එය ගණනකට නොගෙන තවත් මොනවා දෝ පැවසුවාය. මානවී බියෙන් මෙන් ඉවත් බලා ගත්තාය. තවත් මොහොතකින් ඇසුණේ මහ හඬින් දොරක් වැසෙන හඬය. ඇය තවත් මොනවාදෝ කියනු මානවීට ඇසිණි. ඒ කාටදැයි අසන්නට මානවී සවන් යොමු කළේ නැත.
අඳුර වැටීගෙන එන අයුරු දුටු මානවී විදුලි පහන දල්වා තම දුරකතනය ගෙන අසල නිවෙසකට කතා කෙට තමා පරිස්සමෙන් පැමිණී වග අත්තම්මාට පැවසුවාය.

රාත්‍රිය එළැඹෙත්ම මේ කුඩා නිවහන තවත් බොහෝ දෙනෙකුට සෙවණක්ව ඇති වග මානවී වටහා ගත්තාය. ටෙලිවිෂනයක ද, අතොරක් නැතිව ගුවන් විදුලියක ද නඟන හඬ ද යාබද කඩයක කොත්තු රොටියක් තනන හඬ ද එකිනෙක මුසුව ඇසෙන්නට විය.

නිර්මලා ගෙදරට ආවේ රූපවාහිනියේ අටේ ප්‍රවෘත්ති යද්දීය. අම්මාගේ මුහුණ දකිද්දී මානවීට දුක සිතිණ. ඇය පැමිණ තිබුණේ රාත්‍රිියට බත් මුල් දෙකක් ද සමඟය.
'මං ඒත් බැලුවා ගෑස් ළිපක් තියෙන එකේ උයන්න බැරිද කියලා'
මානවී පසුතැවිලි හඬකින් කීවාය.

'තේ එකක්වත් හදාගත්තේ නැද්ද දුවේ'
මානවී නැහැයි පැවසීමට හිස සැලුවාය.

'මේ දවස්වල හරියට වැඩ. ඔය මදුරු කොයිල් එකක් ඇති පත්තු කර ගත්ත නම්'
ඔවුන්ගේ කතාබහ නතර වූයේ අසල කාමරයක තරුණියක එබිකම් කිරීමෙනි. ඇය සමඟ තවත් තරුණියක ආවාය. ඒ සැන්දෑවේ තරුණයකු හා සණ්ඩු වූ යුවතියයි.
'නිර්මලාගේ කාමරේ ඉන්න මේ යාළුවා කවුද, ගමේ කෙනෙක්ද?'
ඇය ඇසුවාය.
'මේ මගේ දුව'

තරුණීය විමතියට පත් වූවාය. නිර්මලාට එතරම් වැඩුණු දියණියක් සිටිතැයි ඇයට අදහා ගත නොහැකි තරම්ය.
'මෙහෙ ෆැක්ටරියේ ජොබ් එකක් හොයලා දෙන්නද?'
ඇය ඇසුවාය. මානවී නිර්මලා දෙස බැලුවාය.

'අපොයි නෑ. කෙල්ල මාව බලන්නත් එක්ක අවේ. ආපහු යනවා'
නිර්මලා එකවරම පැවසුවාය.

'පහුගිය සතියෙනෙ ගිහිල්ලා බලලා ආවේ'
'ඔව්, මෙයාට තව බඩු වගයක් ගන්න තියෙනවා කිව්වා'
නිර්මලා පැවසුවාය. තරුණියෝ තවත් ඒ ගැන හාරා නොඇවිස්සූහ.
'අපි කෑම හදලා ඉවරයි'

තවත් යුවතියක් කෑගසනු ඇසිණි.
'මං අද කෑම පාර්සල් ගෙනාවා'

නිර්මලා පැවසුවේ ඔවුනට සමු දෙන්නට මෙනි. තවත් පැයකකින් පළාතම අඳුරේ ගිලිණ. මානවී දිගු කලකට පසු අම්මාට තුරුලු වූවාය. හතර වට සිටි මදුරුවන් දැලෙන් ආවරණය වූ ඔවුනගේ ඇඳ වට කරමින් සිටියහ. කුඩා ඇඳක් වූ එහි දෙදෙනකු නිදාගන්නේ අසීරුවෙනි.
'ඇයි පුතේ හදිස්සියේ ආවේ'

නිර්මලා ඇසුවේ කාටත් නොඇසෙන්නටය. මේ බිත්තියෙන් එහා බිත්ති ඇත. ඒ බිත්තිවලට කන් තිබිය හැකිය.
'නිකං'
ඒ උත්තරයෙන් සෑහීමකට පත්වන්නට නිර්මලාට නොහැකිය.
'නිකං වෙන්ඩ බෑ'
අම්මාට බැරි ද මට අම්ම වැඩ කරන තැන ජොබ් එකක් හොයලා දෙන්න'
'පිස්සුද කෙල්ලේ. ඔයාට මේව කරන්න බෑ. මම ඔයාට ඕනෑ දේවල් හොයලා දෙන්නම්'

නිර්මලා මානවිගේ කනට කොඳුළාය. ටික වෙලාවක් ගත විය. ඈතින් ගුවන් විදුලියක හඬ ඇසිණ. මදුරුවන් ගේ යුද්ධය මානවීට තවත් වදයක් විය. එය පුරුදු නිර්මලා නින්දෙන් ගොරවන හඬ මානවීට ඇසිණි. ඇය අම්මාගේ බඳ වටා අතක් දමා තවත් ඈ තුරුලු කර ගන්නට උත්සාහ දැරුවාය.