වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාහල ධනපති පංතියට පමණද?

සිංහල සිනමාහල ධනපති පංතියට පමණද?

අඩු ආදායම්ලාභීන්ට සිංහල සිනමාහල තහනම්ද?
 

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි

1895 දී කළු සුදු මෙන්ම, නිහඬ වූ චලන රූප පටලයකින් ආරම්භ කළ චිත‍්‍රපටය, වයස අවුරුදු 33 වන විට, එනම් 1928 වසරේ කාටුන් සිනමාකරණයෙන් වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ STEAM BOAT WILLY සිනමාපටය ලොව ප්‍රථම ශබ්දපථය සමඟ 'ශුද්ධ වූ සරණ මංගල්‍යයට' ඇතුළත් විය.

එනම්, ශබ්ද නෙගටිව් පටයත්, දෘශ්‍ය නෙගටිව් පටයත් එකට එකතු කර මුද්‍රණය කරගත් ප්‍රදර්ශක පටයට MARRIED PRINT යනුවෙන් නම තබා එම මංගල මොහොතින්, ලොව කථානාද සිනමාව අරඹන ලදී'.

සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක සිද්ධාන්ත මත උත්පාදනය වී කාර්මීකරණය මඟින් පෝෂණය වෙමින්, අවුරුදු 120 ක් නොකඩවා තාක්ෂණිකව හරඹ පාමින් ඉදිරියට පැමිණි සිනමාව සරල විනෝදාස්වාදය පිණිස බිහි වුව ද, ලෝක සිනමාවේ පියා යන විරුදාවලිය ලත් ජී. ඩබ්. ග්‍රිෆිත් සිනමාව නඟා සිටුවීමට රීති සම්පාදනය කර එමගින්, නරඹන්නාගේ හදවතට මනසට ඇමතීමට පෙළඹවීමත්, සිනමාවට වෘත්තීමයව මුහුණුවරක් ලබා දී සිනමා ව්‍යාකරණය ද ගලපා දිමෙන් සිනමා භාෂාව අරබයා, ඔහු කළ මෙහෙය අපිරිමිතය - අති විශිෂ්ටය.

ආරම්භක සඳහන් කරුණෙන්ම හැඟී යන්නේ, සිනමාව නමැති බටහිර ප්‍රතුල විෂය නම් අපට අයිති දෙයක් නොවන වගය.

ලොව වටා ඉමහත් ජන සන්නිපාතයක් වැලඳගත් ඒ අපූරු වින්දන මාධ්‍යය යමෙකු විසින් 'ලෝකයේ ප්‍රබලතම කලා මාධ්‍යය' යනුවෙන් හැඳින්වීම ඉතා නිවැරැදි යැයි මට ද සිතෙයි.

එමෙන්ම, අප සිංහල චිත්‍රපටය හදා දුන් ඉන්දියානු ශිල්පියාට ද අප සදා ණය ගැති බව, අපට නිතර - නිතර සිහි වන්නේ නම්, එය ද වඩා වැදගත් කාරණයක් බවට පත් වන්නේය.

ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වන ' කඩවුණු පොරොන්දුව' නිර්මාණය කළ ජේ සිං හෙවත්, 'ජ්‍යෝතීෂ් සිං' නමැති ෂික් ජාතික ඉන්දියානු සිනමා ශිල්පියා අපගේ ප්‍රථම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයාය.

සිංහල සිනමාවේ ජන්මය පිළිබඳ ආවර්ජනයක් එවන් කෙටි සටහනකින් කළ නොහැකි බැව් මා නොදන්නවා නොවේ.

ඇරත්, සිනමාවේ ආරම්භය සහ ආගමනය පිළිබඳව නොදන්නා සිනමාකරුවෙක් ද අප රටේ නැති තරම්ය. අතීතය අමතක කර දමා අනාගතය මෙල්ල කළ නොහැකි බැව් මා තදින් විශ්වාස කරන හෙයින් මෙම ලිපිය ලිවීමේදී ද එම පරිකල්පනය මතු වීම වැලැක්විය නොහැකිය.

දේශීය සිනමා කර්මාන්තය බාගෙට කඩා වැටී මේ වන විට මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්ත්වය අබියස, ඉතිරි භාගය කඩා වැටීමට මත්තෙන් නිවාගත යුතු දැවෙන ප්‍රශ්න දෙකක් විය.

* පළමු ප්‍රශ්නය - සිංහල සිනමාහලට පැමිණීම, උග්‍ර ලෙස ප්‍රතික්ෂේප කිරිමට තරම් - ප්‍රේක්ෂක ජනතාව මුහුණ පා ඇති ගැටලුව කුමක් ද යන්නයි?

* දෙවෙනි ප්‍රශ්නය - සිනමාහල් වත්මන් ඩිජිටල් ප්‍රක්ෂේපණය 4K n - 2Kn - BLU-RAY ද නැතිනම් 1K ද යන්න පැන නැඟී ඇති තාක්ෂණික ගැටලුවයි.

ඉන් දෙවෙනි ප්‍රශ්නය සුළු තාක්ෂණික ගැටලුවක් නිසා කෙසේ හෝ විසඳුම් සොයා ගත හැකිය.

පළමුවෙනි ප්‍රශ්නය නිරාකරණය නොවන්නේ නම්, දෙවැනි ප්‍රශ්නයේ විසඳුමෙන් සිනමාවට කිසිදු පලක් නොවන බව ඒකාන්තය. එබැවින් අප පළමු ප්‍රශ්නය ඉලක්ක කොට එදෙසට අවධානය නමැති කාචය නාභි ගත කළ යුතුව ඇත.

1947 ජනවාරි 21 වැනිදා තිරගත කළ පළමු කථානාද 'කඩවුණු පොරොන්දුවේ' සිට 80 දශකයේ අවසන් අදියර දක්වා වරින් වර ඇති වූ ප්‍රාථමික තත්ත්වයේ අර්බුදකාරී අවස්ථා හැරුණු කල ඉතා සශ්‍රීක කාලයක් අප ප්‍රේක්ෂකාගාරය තුළ තිබූ බව කිව යුතුය. ඒ දක්වා අපව රැගෙන ආ ප්‍රේක්ෂක ජනතාවට, මා හද පිරි සතුට සහ ප්‍රණාමය පිරිනමන්නේ දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙනි'.

එදා 1977 වන විට ශ්‍රී ලංකාවේ චිත‍්‍රපට නැරැඹූ ප්‍රේක්ෂක ජනතාව, ඩී. බී. නිහාල්සිංහ මහතාගේ සමීක්ෂණයට අනුව අවුරුද්දකට ලක්ෂ 700 ක් බව සඳහන් වන්නේ එක්කෝටි අසූ ලක්ෂයක ජනතාවක් අතිනි.

ඒ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හිංදි චිත්‍රපට නැවත නැවත නරඹන ප්‍රේක්ෂකයින් ද ඇතුළුවය. එයින් ද බහුතර තිර කාලයක් ලබා දී තිබුණේ ද සිංහල චිත්‍රපට සඳහා බව කිව යුත්තේ නිහාල්සිංහ මහතා දේශීය සිනමාව අරබයා කළ සිනමා සේවය අගයමිනි.

අප රටේ අවසන් වරට කළ සංගනනය අනුව, ශ්‍රී ලංකාවේ ජනතාව කෝටි දෙකයි දශම දෙකකි. (එනම් දශ ලක්ෂ විසි දෙකකි).

එහෙත් වැඩි වී ඇති ජනගහනයට අනුව චිත්‍රපට නරඹන්නන් වැඩි වීද? කොහෙත්ම නැත. එන්න - එන්නම ප්‍රේක්ෂකයින් අප ඇස් ඉදිරිපිටම අඩු වී යනු ඇත.

අවුරුද්දකට ලක්ෂ 700 ක් චිත්‍රපට නැරඹූ අප ප්‍රේක්ෂකයාගෙන් අද ඉතිරිව ඇත්තේ 25% කි. එනම් 1972 සිට 1977 දක්වා ඩී. බී. නිහාල්සිංහයන් විසින් දැඩි පරිශ්‍රමයකින් වර්ධනය කරගත් ප්‍රේක්ෂක ජනතාවගෙන් 75% ක්ම මර්ධනය වෙමින් ඒ සියලු දෙනා අද 'සිංහල සිනමාහල' අතහැර ගොස් ඇත.

අද වසරකට චිත්‍රපට නරඹන මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 175 කි. එවන් ප්‍රේක්ෂක පසුබෑමකට ලක්ව ඇත්තේ පැහැදිලිවම 80 දශකයේ අවසානයේ පටන් අඩු ආදායම්ලාභීන්ට 'සිංහල සිනමාහල' වසා දමා ඔවුන්ව අසරණ කොට සිනමාහලෙන් පන්නා දමා ඇති බැවිනි. සිනමාහල් හිමියාටත්, චිත්‍රපට නිෂ්පාදකයාටත් අත්‍යවශ්‍ය වන්නේ ඉක්මන් ඉහළම ආදායමක් පමණි. එහෙත් සමස්ත සිනමා කර්මාන්තය රැක ගැනීම් වස්, අවැසි වන්නේ දිනෙන් දින වර්ධනය විය යුතු ප්‍රේක්ෂක සහභාගිත්වයයි. ප්‍රවේශ පත්‍ර මිල අධික ලෙස ඉහළ දැමීමෙන් සැබෑ ප්‍රේක්ෂක ජනතාවට ඉන් ඇති වන අගතිය පිළිබඳ ඔවුන් දෙපළ මොහොතකට හෝ සිතා බලන්නේ නම් සිංහල සිනමාවට යහපතකි.

සිංහල සිනමාහල
අපට අහිමි වූ සිනමා ශාලා ගණන 325 යි

02 වැනි කොටස ලබන සතියේ