වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට නිර්මාණයේදී අපි හිතන්නේ තුනයි කියලා ඒ වුණාට හයක් තියෙනවා

චිත්‍රපට නිර්මාණයේදී අපි හිතන්නේ තුනයි කියලා ඒ වුණාට හයක් තියෙනවා

ෂර්ලි අල්විස්

ෂර්ලි අල්විස් නාමය ඔබ මින් පෙර අසා තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන. කෙසේ වුව ද අපේ කලා ලොවේ කලක් ඔහු ප්‍රකටව සිටියේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසිනි. එහෙත් ඔහුගේ මෙහෙවරට සාපේක්ෂව බලන විට ෂර්ලි අල්විස්ට හිමි විය යුතු සමාජමය වටිනාකම නිසි අයුරින් ඔහුට ලැබුණාදෝයි කුකුසක් මසිත උපදී. ඒ ඔහු විශිෂ්ට සිනමා හා ටෙලි නාට්‍යය කෘතීන් කිහිපයකම දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ සහාය අධ්‍යක්ෂවරයකු වන බැවිනි.

මේ වන විට ඔහු පදිංචිව සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. එහෙත් ඔහු කිසි විටෙකත් සිය උපන් බිම හා කලාව අමතක කළේ නැත. වර්තමානයේ තවත් සුවිශේෂී නිර්මාණ කටයුත්තකට අත ගසා සිටින ෂර්ලි අපට හමු වූයේ එකී කාර්යයට මෙරටට පැමිණි විටෙකය.

කීප අතකින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් අප ඔබ හඳුනා ගන්නේ සහාය අධ්‍යක්ෂවරයකු හැටියට. කොහොමද ඔබේ කලා දිවියට මුල් අඩිතාලම වැටුණේ?

මුලින්ම මම මේ ක්ෂේත්‍රයට ආවේ ‘සෙලීනාගේ වලව්ව’ චිත්‍රපටයේ ප්‍රොඩක්ෂන් බෝයි කෙනෙක් විදිහට. මගේ අයියා නිශාන්ත අල්විස් තමයි එහි අධ්‍යක්ෂ පතිරාජ එල්. එස්. දයානන්දගේ කෝඩිනේටර් හැටියට වැඩ කළේ. මම එතකොට පාසල් යනවා. ඊට පස්සේ ‘දොළොස් මහේ පහන’ චිත්‍රපටයේ ආර්ට් ඇසිස්ටන්ට් හැටියට වැඩ කළා.

ඒ තමයි ආරම්භය?

ඔව්, ඊළඟට මම සම්බන්ධ වෙනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට. අපේ අයියා අධ්‍යක්ෂණය කළ ‘පහන් තරුව’ ටෙලි නාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. මතක හැටියට ඒ තමයි රූපවාහිනියෙන් විකාශය වුණ හතර වැනි ටෙලි නාට්‍යය. අයියා නිසා ඒ විදිහට කලාවට සම්බන්ධ වුණත් ඇත්තෙන්ම නිලෙන්ද්‍ර දේශප්‍රිය ගේ මඟ පෙන්වීම මත තමයි මම වෘත්තීය සහාය අධ්‍යක්ෂවරයකු බවට පත් වෙන්නේ.

කොහොමද නිලේන්ද්‍ර හඳුනගන්නේ?

‘දොළොස් මහේ පහන’ චිත්‍රපටයේදී. ඔහු එහි සහාය අධ්‍යක්ෂවරයා. එතනදි නිලේන්ද්‍ර මට ආරාධනා කළා ‘එන්න අපි දිගටම වැඩ කරමු’ කියලා. නිලේන්ද්‍ර සමඟ මම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අවසන් වරට අධ්‍යක්ෂණය කළ ‘අන්තිම රැය’ චිත්‍රපටයේ වැඩ කළා. ඒ අත්දැකීම මගේ නිර්මාණ දිවියට ලොකු ශක්තියක්, පිටිවහලක් වුණා.

එතනින් පස්සේ?

ඊළඟට මම විජය ධර්ම ශ්‍රීී ගේ ‘ගුරු ගෙදර’ට සම්බන්ධ වුණා. එතනින් ජැක්සන් ඇන්තනි ගේ ‘ජුලියට්ගේ භූමිකාව’ට. මේ වෙන කොට මම නිලේන්ද්‍ර ගේ දෙවන, නැතිනම් තුªන්වැනි සහායකයා. ජැක්සන්ගේ ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම පළමු සහාය අධ්‍යක්ෂවරයා හැටියට වැඩ කළේ. ජයන්ත චන්ද්‍රසිරිගේ ’අග්නි දාහය’, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පුරහඳ කළුවර’ සහ ලින්ටන් සේමගේ ගේ ‘පාදඩයා’ චිත්‍රපටවලටත් සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. තිස්ස අබේසේකරයන් සමඟ ඔහුගේ වාර්තා චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතුª කිරීමට ලැබීමත් මගේ වාසනාවක්.

සහාය අධ්‍යක්ෂණය කියන ටයිට්ල් එකට අපේ රටේ පැහැදිලි නිර්වචනයක් නැහැ. ඇත්තටම මොකක්ද මේ සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය හා වගකීම වෙන්නේ?

සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය මෙන්න මේකයි කියලා මට නිශ්චිතව කියන්න බැහැ. නමුත් සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ අධ්‍යක්ෂවරයාගේ ගෝලයා නෙවෙයිනේ. නැතිනම් මල්ලි කෙනෙකුත් නෙවෙයි. එයා තවත් ඩිරෙක්ටර් කෙනෙක්. අධ්‍යක්ෂවරයාගේ සිතුම් පැතුම් හඳුනාගෙන, තමන්ගේ අදහසුත් එකතුª කරලා තමයි මේ ඩීල් එක කරන්න ඕනෑ. නැතුව අධ්‍යක්ෂවරයා කියන කියන දේ කරන කෙනා නෙවෙයි සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ.

දෙතුන් දෙනෙක් හැරුණ විට අද මේ වෘත්තියේ නියැළෙන බොහෝ දෙනෙකුට තමන්ගේ කාර්යභාරය ගැන අවබෝධයක් නැති වගයි පෙනෙන්නේ?

ඒක ඇත්ත. අපි ඒ වගකීම සහ වැඩ කොටස හරි හැටි හඳුනාගන්න ඕනෑ. ෂූටිං ෂෙඩූල් එකක් හැදුවාම, නළු, නිළියෝ කෝඩිනේට් කළාම ඒක තමයි සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යය කියලා සමහරු හිතනවා. නමුත් ඒක ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. සහාය අධ්‍යක්ෂවරයා ඒ කාර්යය කරන්න ඕනෑ අධ්‍යක්ෂවරයාගේ රිදම් එක හඳුනාගෙන, මෙයාට මේ වැඩේට කොච්චර කාලයක් යනවද? ඒ වගේම මේක මොන වගේ ප්‍රොඩක්ෂන් එකක් ද? කියලා සහාය අධ්‍යක්ෂවරයාට හොඳ වැටහීමක් තියෙන්න ඕනෑ. ඒ වගේ තව කරුණු රාශියක් තියෙනවා.

එයින් වඩාත් වැදගත්, සුවිශේෂ කාර්යභාරයක් අවධාරණය කළොත්?

සමහරු හිතනවා චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක ප්‍රධාන අංග තුනයි තියෙන්නේ කියලා. ඒ තමයි ෆ‍්‍රී ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන් කියන කාරණා තුන. ඒක වැරැදියි. මේක අංශ හයක් යටතේ තමයි ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන්නේ. අමෙරිකාවේදී මම වසර හතරක් සිනමාව හැදෑරුවා. එතනදි සිනමාකරණය පිළිබඳ වගේම නිෂ්පාදන කටයුතුª පිළිබඳත් පුළුල් අවබෝධයක් මට ලැබුණා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී ඊට ප්‍රධාන අංග හයක් ඇතුළත් ;වන බව ඔබ පැවසුවා. සැකෙවින් ඒ දැනුම අවබෝධය කොහොමද ඔබේ වෘත්තීය සගයන්ට ලබා දෙන්නේ?

ෆ‍්‍රී ප්‍රොඩක්ෂන් එකට කලින් තියෙනවා ඩිවලොප්මන්ට් පීරියඩ් එක කියලා. එතනදි තමයි අපි අදාල නිර්මාණයේ පදනම දාගන්නේ. අපි යොදා ගන්නා නළු නිළියන්, එතකොට කොයි නිෂ්පාදන ආයතනයත් එක්ක ද අපි වැඩ කරන්නේ ආදී වශයෙන්. ඒවා ර්‍ණ. ම්. වුණාට පස්සේ තමයි අපි ෆ‍්‍රී ප්‍රොඩක්ෂන් එකට එන්නේ. එතනදි තමයි අපි ටෙක්ෂීනියන්ස්ලාව තෝරා ගන්නේ. එතකොට ලොකේෂන් තීරණය කරන්නේ. එතනින් අපි එනවා ප්‍රොඩක්ෂන්වලට. ඒ තමයි මූලික වශයෙන්ම ෂූටිං පීරියඩ් එක.

ඊළඟට පෝස්ට් ප්‍රඩක්ෂන් එක?

ඔව්. එතනදි තමයි අපි නිර්මාණයේ අවසාන කටයුතු ටික කරන්නේ. ඩබිං, එඩිටිං, මික්සින්, රී රෙකෝඩින් මේ සියලුම දේවල් එක්ක මදර් ප්‍රින්ට් එක ගන්න තැනට එනකල් ක්‍රියාවලිය තමයි පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කියන්නේ. දැන් හතරවැනි කාරණය. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ප්ලෑනින් කියන එක. චිත්‍රපටයේ පිටපත් කීයක් මුද්‍රණය කරනවාද? මොන ස(ර්)කිට් එකේ ද ප්‍රදර්ශනය කරන්නේ? මේ සියල්ල තීරණය කරන්නේ මේ ප්‍රොඩක්ෂන් ප්ලෑනින් එකේදි. එකත් හරිම වැදගත් අංශයක්.

දැන් අවසන් අදියර?

අවසන් අදියර තමයි ප්‍රදර්ශනය, එක්සිබිෂන්, ඒ කියන්නේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත මුදා හැරීම. මෙන්න මේ කරුණු හය හරිහැටි ප්ලෑන් කළාම චිත්‍රපටයක් සාර්ථක වෙනවා. ඒත් අපේ සිනමාවේ මෙකී ක්‍රමවේද නිසි විදිහට ක්‍රියාත්මක වන්නේ නෑ. මෙහේ ලයින් ප්‍රොඩියුසර් කවුද, ඇසිස්ටන් ප්‍රොඩියුසර් කව්ද කියලා කියන්නට හා ඔවුන්ගේ කාර්යභාරයවත් බොහෝ අය හඳුනාගෙන නෑ. ඔහේ අඳුරේ අතපත ගෑමක් තමයි සිදු වෙන්නේ. හැබැයි ඒ වරද ඔවුන් පිටම පටවන්න බැහැ.

ඒ කියන්නේ?

සිනමාව හදාරන්න අපේ රටේ සිනමා පාසලක් නැහැ. යම් යම් ආයතනවලින් විවිධ පාඨමාලා තිබුණත් ඒවායින් නිසි විදිහට එකී කර්යයභාරය සිදුවන බවත් පෙනෙන්නට නැහැ. ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු තිබෙනවා.

සහාය අධ්‍යක්ෂවරයකු විදිහට ස්ථාවරත්වයක්, නමක් හදාගෙන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන අවධියේ තමයි ඔබ අමෙරිකාවට යන්නේ?

ඔව්. ඔයා හරි. මම ප්‍රොඩක්ෂන් පහක් අතහැරලා තමයි අමෙරිකාවට ගියේ. එතරම් කාර්යබහුල අවධියක්. මගේ අයියා කෙනෙක් හිටියා අමෙරිකාවේ. අහම්බෙන් මට අවස්ථාව ලැබුණා ගිහින් එන්න. ඒ ගිය වෙලාව් මම ලොස් ඇන්ජලීස් ෆිල්ම් ස්කූල් එක ඉස්සරහා ඉඳගෙන පින්තූරයක් අරගෙන ආවේ. අන්තිමට මම ඒ ෆිල්ම් ස්කූල් එකේම අවුරුදු හතරක් සිනමාව හැදෑරුවා. අද මම වෘත්තීය කරන්නේ හොලිවුඩ්වල.

මොකක්ද ඔබේ වෘත්තීය?

මෙහෙමයි, මූලිකව මම කාස්ටින් ඔෆිස් එකක වැඩ කළා. ඊට පස්සේ ග්‍රොසරි ස්ටෝර්ස් එකක වැඩ කළා. දැන් මම ව්‍යාපාර කටයුතුවල නියැළිලා ඉන්නවා.

ෂර්ලි අල්විස් නාමය ලොස් ඇන්ජලිස් පුරවරයේ ශ්‍රීී ලාංකිකයන් අතර ඉතා ප්‍රචලිත බව දැනගන්න ලැබුණා එහිදීත් ඔබ විවිධ කලා කටයුතුවල නිරත වෙනවා?

‘ආසියානු සිනමා හා නාට්‍ය පදනම’ කියා සංගමයක් අපි පිහිටුවාගෙන තියෙනවා. ඒක එහේ හඳුන්වන්නේ ‘Asia Film and Drama Foundation’ කියලා. ඒකේ සභාපති හැටියට මම වැඩ කරනවා. 2000 වර්ෂයේදී මම හොලිවුඩ්වල ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙලක් සංවිධානය කළා. ඊට පස්සේ සැන් ෆ‍්‍රැන්සිස්කෝවල කළා. එහේ තියෙන කලබලකාරී වාතාවරණයත් එක්ක ඒක හරි අසීරු කටයුත්තක් වුණා. ඇත්තටම දැන් මම කරන්නේ ඉවෙන්ට් කෝඩිනේටර් කෙනෙක් විදිහට අපේ ශ්‍රීී ලාංකික කලාකරුවන් එහෙට ගෙන්වලා ඔවුන්ට උපහාර දක්වන එක.

ආචාර්ය, පණ්ඩිත් අමරදේවයන් ලොස් ඇන්ජලීස් පුරවරයට කැඳවා ඔහුට උපහාර පිදීමක් හා ගී ප්‍රසංගයක් මෑතකදී ඔබ පැවැත්තුවා?

2013 මැයි 05 වැනිදා තමයි අපි ‘අමරදේව ප්‍රතිභා ප්‍රණාම’ උළෙල පැවැත්තුවේ. එකසිය තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ කාර්යයට එකතු වුණා. ඉන්දියානු නැටුම් ශිල්ප, ශිල්පිනියන් පවා, විශේෂයෙන්ම ඇමෙරිකාවේ වෙසෙන ලාංකේය දරු දැරියන්ගේ නර්තන හැකියාවන් එළි දක්වන්නත් අපි ඒ වේදිකාව සකස් කර දුන්නා.

මම හිතන්නේ වේදිකා නාට්‍යය කලාවටත් ඔබේ සුවිශේෂ ලැදියාවක් තිබෙනවා?

ඇත්තෙන්ම, මම එහෙදි ‘මූසිල’ කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. සොමී රත්නායක, ලින්ටන් සේමගේ වගේ මෙහෙ ඉන්න කලාකරුවන් තිහක පිරිසක් මෙහි රඟපෑවා. දර්ශන වාර දෙක තුනක් අපි කළා. ඒ වගේම අපි ලාංකික කලාකරුවන් මෙහෙට ගෙන්වීමේ වැඩ පිළිවෙල ඇරැඹුවේ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයෙන්. මාර්තු මාසයේ ‘රඟපෑම ඉවරයි’ නාට්‍යයත් එක්ක ශ්‍රියන්ත, කමල් මෙහෙ ආවා.

ඉදිරියේ සංවිධානය කරන කලා කටයුතු මොනවාද?

ටී. එම්. ජයරත්න, ප්‍රදීපා ධර්මදාස යුවළගේ ගී ප්‍රසංගයක් අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආචාර්ය ප්‍රේමසිරි කේමදාස උපහාර උළෙලක් පවත්වන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කොහොමත් වසරකට මෙවැනි ප්‍රසංග හෝ උපහාර උළෙල දෙක තුනක්වත් සංවිධානය කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඵලදායි යමක්. අර අපි කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යනවා කියලා. එවැනි දේවල්.

තවත් සුවිශේෂ කටයුත්තකට ඔබ මුල පුරා තිබෙනවා?

දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරන ‘නොනිමි චාරිකා’ අර්ධ වෘත්තාන්ත ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාලා නාටකය ජාතික රූපවාහිනිය හා එක්ව ආසියානු සිනමා හා නාට්‍ය පදනම මඟින් නිෂ්පාදනය කරනවා. මෙවැනි දෙයක් ලංකාවේ කෙරෙන්නේ මුල්වරට. ටෙලි නාට්‍යයක් ඇතුලේ වාර්තා චිත්‍රපටයක් යන්නේ කොහොමද කියලා අපි මේකෙන් ඉදිරිපත් කරනවා. ලංකාවේ බොහෝ ශිල්පීන් ශිල්පිනියන් මීට දායක වෙනවා. මගේ බිරිය පියුමි වර්ණපුරගේ සංකල්පයක් මේක.