වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




Editor's CUT

නර්තන රංගන ලීලා

අධික අවුරුද්දක් නොවන්නේ නම් අප්‍රේල් මස දහවැනිදා යනු ඕනෑම වර්ෂයක ආරම්භයේ සිට ගණන් බැලූ කළ ඒ වසරේ සියවැනි දිනයයි. තවත් ඉදිරියට ඉතිරිව ඇත්තේ දවස් 265 ක් පමණි. අධික අවුරුද්දක් වූයේ නම් පමණක් එය එක් දිනකින් වැඩි වනු ඇත. 1963 අප්‍රේල් දහවැනි දින අතිශය වැදගත් වනුයේ එය සරසවිය පුවත්පත මුල්වරට නිකුත් වූ දිනය බැවිනි. එයින් හරියටම 51 වසරක් පිරෙන අද එනම් 2014 අප්‍රේල් දහ වැනි දින ද සරසවිය පුවත්පත අඛණ්ඩව ඔබ අතට පත් වන්නේය.

වෙනසකට වනුයේ 1963 අප්‍රේල් දහ වැනිදා බදාදාවක් වීමය. අද බ්‍රහස්පතින්දාය. සරසවිය මුල් කාලයේ නිකුත් වූයේ බදාදාය. වසර 51 ක් යනු මිනිස් ජීවිතයකින් ගත් කළ දීර්ඝ කාල පරිච්ඡේදයකි. මගේ පාසලේ සිටි පංති සගයන් බහුතරය පනස් වසර සමරනුයේ මේ වසෙර්ය. වාසනාවකට එකී පංති සගයන් අතර ළාබලතමයා වූ මට පනස් වසර සමරන්නට තිබෙන්නේ එන වසරේදීය. එබැවින්ම සරසවිය උපදින්නේ මට කලිනි.

මා අයත් වනුයේ සරසවිය උපන්නට පසු පරම්පරාවටය. ගිය වසරේ සරසවිය පුවත්පත පනස් වැනි වසර සමරද්දී එක් විද්‍යුත් මාධ්‍ය සගයකු ඔබට කිසි කලෙක අමතක නොවන ලිපිය කුමක්දැයි ඔහු මගෙන් විමසා සිටියේය. මගේ පිළිතුර වූයේ සරසවිය පනස් වසර සමරමින් එහි කතුවරයා ලෙසින් ලියන ලද ලිපිය බවය. එය පෞද්ගලිකව මට ලැබුණු වාසනාවක් ලෙස මම සලකමි. එහෙත් සරසවිය යනු මා පමණක් නොවේ. පුරා පනස් එක් වසරක් මුළුල්ලේ සරසවිය ජාතියට දායාද කිරීමට වෙහෙස වූ අප්‍රමාණ මිනිසුන් සංඛ්‍යාවක් සිිටියහ. එකී කාලය තුළ එය මෙහෙය වන්නට නැතහොත් එහි කතු පදවිය හොබවන්නට මට පූර්වයෙන් එකොළොස් දෙනෙක් හෙබ වූහ.

ඔවුහු සිය දෑස මෙන් සලකා සරසවිය පෝෂණය කළහ. මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ. ඩී. රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ මගේ පූර්වයෝ වූහ. සරසවිය මා සමග ඉදිරියට ගෙන යන සහෘද කැල එහි භාරධූර කර්තව්‍යයට වත්මනේ උර දී සිටිති. නියෝජ්‍ය කර්තෘවරුන් වන චන්දන දයාසිරිවර්ධන, තිස්ස ධම්මික, චතුර ගීතනාත් බණ්ඩාර මෙන්ම උප කතුවරුන් වන අසංක දේවමිත්‍ර පෙරේරා, චන්දු ලියනආරච්චි, ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න, පිටු සැකසුම් ශිල්පී චක්සු වන්සිත් අබේවික්‍රම, සරසවියේ හැම කාර්යයකටම උර දෙන සුගත් ප්‍රියන්ත, පරිගණක අක්ෂර සැලසුම් ශිල්පී අප සියල්ලන්ගේම වැඩිමහල්ලා වන ගාමිණී පෙරේරා සමඟ විශේෂාංග ලේඛකයන් වන සංජීව සම්පත් බාලසූරිය, ප්‍රසාද් සමරතුංග, තිලානි ශානිකා විතානාච්චි, යතේජා ඥානරත්න සහ පරිගණක සහායිකා නදීෂා රාජවර්ධන ඇතුළු මේ සියලු දෙනාගේ සාමූහික කැපවීම නොවන්නට බ්‍රහස්පතින්දාට නිසි පරිදි සරසවිය ඔබ අතට පත් වන්නේ නැත.

නම් වශයෙන් වෙනස් වුව ද පනස් එක් වසරක් මුළුල්ලේ විවිධ වූ බොහෝ දෙනෙක් සරසවිය කතු මඩුල්ලට දායක වී සිටියහ. ඔවුන් හැම විටම නොපිරිහලා යුතුකම ඉටු නොකරන්නට නිසි පරිදි සරසවිය එළි දකින්නට නොහැක.

සරසවිය නිකුත් කිරීම එහි කතු මඩුල්ලේ වගකීමක් වුව ද ලේක්හවුස් ආයතනය නමින් ප්‍රචලිත ලංකාවේ සී/ස. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නමැති ජාතියේ පත්තර මහ ගෙදර ජීවත්වන හා ජීවත් වූ සියලු දෙනාම සරසවිය එළි දැක්වීමෙහි වගකීමෙහි කොටස්කරුවෝ වූහ. වර්තමානයේ ආයතනයේ සභාපති ධුරය දරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් ඇතුළු ආයතනයේ සියලු දෙනාගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම සරසවියට ආලෝකයක්ව ඇත්තේය. සරසවිය සිනමා පුවත්පතක් ලෙස බොහෝ දෙනා සැලකුවත් එය සිනමාවට පමණක් වෙනුවෙන් නොව ජාතියේ කලා පුවත්පතයි. එහි ප්‍රාණ වායුව වන්නේ කලාකරුවන්ය. කලා නිර්මාණයන්ය. එබැවින් කලාකරුවන් සමඟ සරසවියට ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ඇතැම් කලාකරුවකු සරසවිය සමඟ ඇතිවන අමනාපය කුස්සියේ බතක් ඉෙඳන තුරු ඇතිවන පුංචි නෝක්කාඩුවක් හැටියට අප සළකන්නේ එබැවින්ය.

එයට හේතුව කවර කලෙක වුව ද ඔවුන්ගේ සතුටට මෙන්ම දුකට ද සරසවිය ළඟින් සිටින බැවිනි. පසුගිය වසර 51 මුළුල්ලේ මෙරට කලා පුවත්පත් රැසක් බිහි වුව ද ඒ කිසිවක් හෝ දීර්ඝායුෂ විඳින්නට වරම් ලැබුවේ නැත. සරසවිය චිරාත් කාලයක් වැජඹෙන්නේ කාලයත් සමඟ සිදුවන්නා වූ වෙනස්කම් හැඳීන ඉදිරියට යන බැවිනි. කලාවන්ගේ රිද්මය පිළිබඳ වගකීම දැරීමත්, හණමිටිය අතහැරීමටත් ඇති හැකියාවෙන් සරසවිය හැම විටම සහෘද පාඨකයා ඇමතුවේය.

එම පාඨක සමූහයා අති විශාල සංඛ්‍යාවකි. ඔවුහු පරම්පරා ගණනක් එක දිගට සරසවිය කියවති. සරසවිය ජීවිතයේ කොටස්කරුවකුª නැතහොත් පංගුකරුවකු බවට පත් කරගෙන සිටින සංඛ්‍යාව අති විශාලය. එය සරසවියේ ශක්තියක්ව ඇත්තේය. එදා සරසවිය මුල්වරට නිකුත් කළ යුගයට වඩා ලෝකය අද හාත්පසින්ම වෙනස්ය. අන්තර් ජාලය භාවිතය දිනෙන් දින ඉදිරියට එයි. එකල සරසවිය කියවන විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයෝ එය කිය වූයේ සතියකට පමණ පසුවය.

එහෙත් දැන් අපේ මෙරට පාඨකයන්ටත් කලින් අන්තර් ජාලය හරහා ඔවුහු සරසවිය කියවති. මේ වෙනස්කම අවබෝධ කොට නොගෙන යහපත් අනාගතයක් ගැන සිතීම නිෂ්ඵල කරුණකි. පසුගිය වසර කිහිපය තුළ අප උපන් රට ද ලෝකය හමුවේ දියුණු වෙමින් පවතී. සරසවිය යුගයට ගැළපෙන ආකාරයට පරිවර්තනය විය යුතුය. මේ පරිවර්තනය හඳුනා ගන්නා බැවින් දිනෙන් දින වැඩිවන පාඨක සමූහයා සරසවියට ආශිර්වාදයක්ව ඇත්තේය.

වෙනස් වන ලෝකය හමුවේ සරසවිය ඉදිරියට යන්නේ එබැවිනි. සරසවිය සම්මාන උළෙල මෙරට සිනමා සම්මාන සම්ප්‍රදායක් බිහි කළේය. ඒ වෙනුවෙන් රචනා කළ සරසවිය ගීතය මුළු මහත් දේශයම සරස්වතිය අභිනන්දනය උදෙසා වන්දනීය ලෙස ගායනා කරති. සරසවිය කර්තෘ මණ්ඩලය සමඟ සරස්වතිය හමුවේ මම ඒ සියල්ලන්ටම කෘතවේදී වන්නට කැමැත්තෙමි. සරසවිය 51 වසක් මුළුල්ලේ ජාතියට දායාද කරන්නට මඳක් හෝ උපකාර කළ ඔබ සියලු දෙනාට පින් සිදු වේවා!