වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම දෙපාරක් තුන් පාරක් නයිට් ක්ලබ් ගියා

මම දෙපාරක් තුන් පාරක් නයිට් ක්ලබ් ගියා

මම ජීවිතේට මත්පැන් බීලා නැහැ
මම එළවළු විතරක් කන කෙනෙක් නෙමේ
චිත්‍රපටයට විතරක් පේ වුණා
කට කතා හැදෙන්නේ සමාජයේ වැඩිපුර කැපී පෙනෙන අයට
නිහතමානීව ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිනවා

ඇය ප්‍රසාදි සමරකෝන්. තවත් විදිහකින් හඳුන්වා දුන්නොත් ප්‍රසාදි, සනත් අබේසේකරගේ සිරි දළදාගමනය සිනමාපටයේ හේමමාලා කුමරිය නම් ඓතිහාසික ප්‍රබල චරිතයට පණ පොවන්නියයි. ඇය පිළිබඳ නොයෙකුත් කටකතා මේ දිනවල පැතිරෙනවා. අර වගේ චරිතයක් රඟපෑවට ප්‍රසාදි සැබෑ ජීවිතයේ එහෙම නැහැ කියලයි ඒ ආරංචිවල තියෙන්නේ. එහෙන් මෙහෙන් විස්තර හොයන්නේ බලන්නේ නැතුව අපි කෙළින්ම ප්‍රසාදිගෙන් ඒ ගැන ඇහැව්වා. ඇය ඊට අපූරුවට මෙන්න මේ විදිහට උත්තර දුන්නා.

* ප්‍රසාදි ඔබටත් දැනගන්නට ලැබුණ ද ඒ කතාන්දර?

කියන්නකෝ බලන්න මටත් දැනගන්න.

* ඔයා හරියට නයිට් ක්ලබ් යනවලු.

හේමමාලා කුමරිය වගේ චරිතයක් කරපු කෙනෙක් ඒ වගේ අකටයුතුකම් අකැපයි කියලයි ඒ ආරංචිවල තිබුණේ?

පිස්සු අනේ, මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මන්දා.

* ඇත්තටම ප්‍රසාදි නයිට් ක්ලබ් යන්නේ නැද්ද?

නයිට් ක්ලබ් දෙපාරක් තුන්පාරක් ගිහිල්ලා තියෙනවා. ඒ පොඩි කාලේ.

* එතකොට දැන්?

දැන් මට වෙලාවක් නැහැ.

* ඒ කියන්නේ වෙලාවක් තිබ්බොත් නයිට් ක්ලබ් යනවා?

මං ඒ වගේ දෙයක් නෙවෙයි කලින් පිළිතුරෙන් අදහස් කළේ. නයිට් ක්ලබ් කියන්නේ කාලේ කන මිනිස්සුන්ට හොඳ තැනක්.

* ප්‍රසාදි මත්පැන් පානය කරනවා කියලත් කතාවක් තියෙනවා?

මං ජීවිතේට මත්පැන් බීලා නැහැ.

* අඩුම ගානේ වයින්වත්?

අපෝ වයින් හරි තිත්තයිනේ. ටෙස්ට් කරන්නවත් වයින් බීලා නැතෝ.

* බීලා නැත්නම් තිත්තයි කියලා කොහොමද දන්නේ?

බීපු අය කියනවා අහලා තියනවා.

* කවුද ඔබව සිරි දළදාගමනය සිනමාපටයට තෝර ගත්තේ?

ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය.

* ඔබ එතකොටත් වැඩපුර නිර්මාණවලට දායක වෙලා තිබුණේ නැහැ?

ඔව්. මම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක් තමයි කරලා තිබුණේ. ඒවා දැකලා මාව ඔවුන් තෝරාගෙන තිබුණේ.

* හේමමාලි කුමරිය කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි?

මං ඒක දන්නවා. මේක සෑහෙන්න අභියෝගයක්. මං කැමැතියි අභියෝග බාර ගන්න.

* ඒ වෙනුවෙන් පේ වුණා කියලත් ආරංචියි?

අනිවාර්යයෙන්ම, මස් මාලු කෑමෙන් වැළකුණා. පංසල් ගියා. බාරහාර වුණා.

* තාමත් ඔබ එහෙමද?

මං කොහෙත්ම එළවලු විතරක් කන කෙනෙක් නෙවෙයි. චිත්‍රපටය වෙනුවෙන් විතරයි එහෙම පේ වුණේ.

* පළමුවරට චිත්‍රපටයක රඟපාපු දවස මතකද?

ඉසුරුමුණිය විහාරයේ මගේ පළමු රූගත කිරීම සිද්ධ වුණේ. ඒ දළදා වහන්සේ ලංකාවට රැගෙන එන දර්ශනය. එදාම තමයි ඒ සුබ කටයුත්ත ඉතිහාසයේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ.

* කොහොමද සනත් අබේසේකර ඇතුළු සිරි දළදාගමනය චිත්‍රපට කණ්ඩායමත් එක්ක වැඩ කිරීම?

ගොඩක් සතුටින් මම ඔවුන් එක්ක වැඩ කළේ. කොයි වෙලාවකවත් මට ආගන්තුක බවක් දැනෙන්න ඉඩ හැරියේ නැහැ. ආයෙත් ආසයි එවන් වූ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න.

* කටකතාවලට බය නැද්ද ප්‍රසාදි?

කටකතා හැදෙන්න සමාජයේ වැඩිපුර කැපී පෙනෙන අයටනේ. ඉතින් මමත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. ඔය වගේ කතා හැදෙන්නේ.

* සිරි දළදාගමනය නැරැඹූ ප්‍රේක්ෂකයින් ඔබට මොනවද කිව්වේ?

ගොඩක් අය මට කිව්වා ඒ චරිතයට මාව හොඳීන් ගැළපෙනවා කියලා. මාව දිරිමත් වුණා ඒ ප්‍රකාශවලින්. හැබැයි මං ඒ කිසිවක් ඔළුවට ගත්තේ නැහැ. නිහතමානීව ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිනවා.

* ඔබට මඩ ගහන අය ගැන ද්වේශයක් නැතිද?

බුදුහාමුදුරුවොත් පවසලා තියෙනවානේ දෙයක් කවුරු හරි දෙයක් දුන්නොත් ඒක බාර ගත්තේ නැතිනම් එක දුන්නු කෙනාටම අයිති වෙනවා කියලා. මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි.

* ප්‍රසාදි පූර්ණකාලීන නිළියක් නෙවෙයි?

ඔව්. මම පුද්ගලික ආයතනයක වැඩ කරන ගමන් රඟපාන්නේ. රඟපෑම විනෝදාංශයක් පමණයි.

* එතකොට නිර්මාණවලට දායක වන්නේ?

තෝරා බේරාගෙන මේ වන විට චිත්‍රපටයක් විතරක් බාර ගත්තා.

* රැකියාව සමඟ කලා කටයුතු කිරීම ඔබ වැනි අයකුට අවාසියක් නෙවෙයිද?

මම එහෙම හිතන්නේ නැහැ. ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙයි.

* ප්‍රසාදිගේ පෞද්ගලික විස්තරත් කියමු?

මම ඉන්නේ කෝට්ටේ. අම්මයි අප්පච්චියි, අක්කයි, නංගියි තමයි මගේ පවුලේ පිරිවර. ඉගෙන ගත්තේ මහනුවර මහමායා විද්‍යාලයෙන්.