වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලන්ඩනයේ හිපි පරපුරට බැල්ම හෙලූ ඩ්‍රැකි්‍යුලා
ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාව

ලන්ඩනයේ හිපි පරපුරට බැල්ම හෙලූ ඩ්‍රැකි්‍යුලා

දුර්ග මාර්ගය ඔස්සේ දූලි වලාවන් නංවමින් ඇදී එන අශ්ව කරත්තය මත නළියන කළු පැහැ සෙවණැලි දෙකකි. රථය මෑතට එත්ම ඒ රථය මත දරුණු සටනක යෙදෙන පුද්ගලයන් දෙදෙනකු ගේ රූප කායන් දෙකක් බව පැහැදිලි වෙයි. එකිනෙකාට නොදෙවෙනි වන සේ, වේගයෙන් ධාවනය වන අස්රියක් මත මාරාන්තික සටනක යෙදෙන මේ දෙදෙනා අන් කිසිවකු නොව අන්ධකාරයට අධිපති ඩ්‍රැකි්‍යුලා සහ ඔහුගේ සදාතනික ප්‍රතිවාදියා වූ වැන් හෙල්සින්ය.

සටනෙහි ජය පරාජය තීරණය වන්නට මොහොතක් තිබියදී ගල්කුළක වැදී රෝදයක් බිඳී යන රථය දෙදෙනාටම දරුණු තුවාල සිදුකරමින් පෙරළී යයි. හිසෙහි ලේ වැගිරෙන තුවාලයකුත් සමඟ හිස ඔසවා ඈත මෑත බලන වැන් හෙල්සින් හට දක්නට ලැබෙන්නේ රථයේ සුන්බුන් අතර සිරවී දඟලන ඩ්‍රැකි්‍යුලා ගේ මාරාවේශ වූ මුහුණයි. අසීරුවෙන් නැගිට ගන්නා ඔහුගේ ළය හරහා රථයේ රෝදයක් බිඳී ගිය ගරාදි ලීයක් කිඳා බැස ඇත. අහම්බෙන් හෝ සිදුවී ඇති දෙයින් ඩ්‍රැකි්‍යුලාට ගැලවීමක් නොමැති බව වටහාගත් වැන් හෙල්සින් සැනසුම් සුසුමක් හෙලත්ම නුදුරින් ඒ දෙසට ගමන් ගන්නා අසරුවකු ඔහුගේ දසුනට ලක්වෙයි. එහෙත් ඊළඟ තත්ත්පරයේ දී අනතුරින් සිදුවූ කම්පනය හේතුකොට ගෙන ඔහු සිහිසුන් වෙයි.

එතැනට ළඟා වූ පුද්ගලයා ඩ්‍රැකි්‍යුලා ගේ සිරුර අළු බවට පත්වන අයුරු නිරීක්‍ෂණය කරයි. අවසානයේ ඉතිරිවන අළු ස්වල්පයක් මංජුසාවකට එකතුකර ගන්නා ඔහු අළු ගොඩේ දිළිසෙමින් තිබෙන මුදුව ගෙන ඇඟිල්ලක පැලඳ ගනී.

ඩ්‍රැකි්‍යුලා ඒ. ඩී. 72 චිත්‍රපටය ආරම්භ වන්නේ ඉහත සඳහන් අයුරුනි. ලන්ඩනයේ ‘කැවර්න්’ සමජ ශාලාවේ විනෝද වන යොවුන් තරුණ තරුණියන් අතරට ඩ්‍රැකි්‍යුලා පිවිසෙන්නේ ඔහුගේ භෂ්මාවශේෂ රැගෙන එන පුද්ගලයා හරහා ය. රොක් සංගීතයෙන් සහ මත්ද්‍රව්‍ය වලින් ජීවිතයේ සැනසුම සොයා යන තරුණ තරුණියන් ට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබාදීමට ඔහු සැලසුම් සකස් කරන්නේ ලන්ඩනයේ පැරැණි සුසාන භූමියක වූ සොහොන් ගෙයක් තුළදී ය. අමු ලේ වගුරුවමින් සිදුකරන එම යාගයේ දී ජීවමාන වන ලේ පිපාසිතයාට එක් රූමතියක් බිලිවන අතර සංත්‍රාසයට පත්වන සෙස්සෝ පළා යති. ඔවුන් අතර සිටින වැන් හෙන්සින් ගේ මිනිබිරිය වන ‘ජෙසිකා’ වසඟයට ගැනීමට ඩ්‍රැකි්‍යුලා මාන බලන්නේ ඇගේ පෙම්වතා හරහාය. ඩ්‍රැකි්‍යුලා ලන්ඩනයට පැමිණි බව ඉව වැටෙන වැන් හෙල්සින් වහා සුරූපී ජෙසිකා ගේ ගෙලෙහි රත්‍රන් කුරුසයක් පලඳවා ඇය ආරක්‍ෂා කිරීමට පියවර ගත්තද පෙම්වතාගේ බහට රැවටෙන ‘ජෙසිකා’ ඩ්‍රැකි්‍යුලා වෙත රැගෙන යනු ලබයි. මෙවර ඩ්‍රැකි්‍යුලා විනාශ කිරීමට අපූරු ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන වැන් හෙල්සින් හට තම ආදරණීය මිනිබිරිය ලේ පිපාසිතයා ගෙන් ගලවා ගැනීමට හැකිවේද යන්නට පිළිතුර ඇත්තේ, ඩ්‍රැකි්‍යුලා ඒ. ඩී. 72 චිත්‍රපටය තුළයි.

1972 වසරේ දී නිෂ්පාදනය වන හැමර් චිත්‍රපට සමාගමේ 7 වැනි ඩ්‍රැකි්‍යුලා චිත්‍රපටය වන මෙය ඇලන් ගිබ්සන් ගේ අධ්‍යක්‍ෂණයකි. එම වකවානුවේ ලන්ඩනය පුරා වසංගතයක් සේ පැතිර යන ‘හිපි සංස්කෘතිය’ රොක් සංගීතය හා මුසුවුණ මත් උවදුර, ඊ ටයිප් ජගුවර්, මිනි කූපර්, මොරිස් මරීනා වැනි නවීන කාර් හා බැඳුණු වාහන උන්මාදය පාදක කොට ගනිමින් තිර රචනා කළේ ඩොක් හියුටන් විසිනි. නිෂ්පාදනය ජොසපින් ඩග්ලස්, වෙස් ගැන්වීම ජිල් කාපෙන්ටර් ගෙනි. මයිකල් විකර්ස් චිත්‍රපටය සංගීතවත් කළේය. ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකි්‍යුලා ලෙස රඟ පෑ අතර පීටර් කුෂින්, වැන් හෙල්සින් ගේ චරිතය නිරූපණය කළේය. ස්ටෙෆනි බීචම් සුරූපී ජෙසිකා වැන් හෙල්සින් ලෙසත් කැරොලින් මුන්රෝ ඩ්‍රැකි්‍යුලා ගේ ප්‍රථම බිල්ල බවට පත්වන ලෝරා බෙලෝස් ගේ චරිතයත් රඟ පෑවේය. සෙසු චරිත ජෙනට් කීස්, ක්‍රිස්ටෝපර් නියාම් සහ මාෂා හන්ට් විසින් නිරූපණය කෙරිණි.

1971 සැප්තැම්බර් 28 දා චෙල්සී සහ හාට්ෆෝඩ්ෂයර් නගරයන් හි දර්ශනතල වලදී ප්‍රථම රූ ගත කිරීම් ආරම්භ වූ අතර චිත්‍රපටය මුලින් නම්කර තිබුණේ ‘ඩ්‍රැකි්‍යුලා ටුඩේ’ යනුවෙනි. චිත්‍රපටය තිරගත වීමෙන් පසු එහි රඟපෑ නළු නිළියන් හතර දෙනෙකුටම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල රඟපෑමේ වරම් හිමිවිය. ක්‍රිස්ටෝපර් ලී 1974 නිපැයූ ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටයේ ස්කැරමන්ගා නමින් ද, කැරොලින් මුන්රෝ 1977 ‘ස්පයි හූ ලව්ඩ් මී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ද, මයිකල් කීට්න් 1995 දී ‘ගෝල්ඩන් අයි’ චිත්‍රපටයේ ද, ක්‍රිස්ටෝපර් නියාම් 1999 ‘ලයිසන්ස් ටු කිල්’ චිත්‍රපටයේ ද රඟපෑමේ වරම් උදා කරගත්තෝය.

1972 සැප්තැම්බර් 28 දා තිරගත කිරීම් ආරම්භ වූ අතර බෙදා හැරීම සිදුකළේ ඇමෙරිකාවේ කොළොම්බියා වෝනර් සමාගම විසිනි. 2005 දී වෝනර් හෝම් වීඩියෝ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ‘ඩ්‍රැකි්‍යුලා ඒ. ඩී. 1972 ච්ඍච් තැටිය වෙළෙඳ පොළට නිකුත් කරන ලදී.

ලබන සතියේ
‘සැටනික් රයිට්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’