වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ධනා මනාලිය කැන්දන් ආ දා

ධනා මනාලිය කැන්දන් ආ දා

ධනංජය සිරිවර්ධන එහෙමත් නැත්නම් ආදරණීය ධනා අපි හැමෝගෙම ආදරණීය හිතවතෙක්. පුංචි තිරයේ හැමදාමත් සුන්දර පෙම්වතා බවට පත් වුණු ධනාගෙ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත් වුණේ කිංග්ස්බරි හෝටලයේ. හැමෝමත් එක්ක හිතවත් ධනාගේ මංගල උත්සවයට ආශිර්වාද කරන්න එදා බොහෝ දීප්තිමත් තාරකා හෝටලයට රැස් වෙලා හිටියා. හරියට තරු වැස්සක් වගෙයි.

මේ තරු එළි අතරේ දීප්තිමත්ම තාරකා යුග්මය වුණේ ධනංජය සහ ශෂිනි. මේ මංගල උළෙලේ දෙවැනි මනාලයන් යුවල ගැන නම් බොහෝ දෙනා කතා කළා. ඇතැම් වෙලාවට මංගල යුවලටත් වඩා කතාබහට ලක්වුණේ ඔවුන් දෙදෙනා. දෙවැනි මනාලයන් ලෙස පෙනී සිටි පුබුදු චතුරංග සහ සුරාජ් මාපා ගැන කදිම කතා කිව්වේ සනත් විමලසිරි. ‘ධනාට පිස්සුවක් තියෙනවා කියලා අපි දැනගෙන උන්නා. ඒත් මුං දෙන්න දෙවැනි මනාලයෝ කියල දැක්කම ධනාට හොඳටම පිස්සු කියලා අපිට හොඳටම තේරුණා.’

තමන්ගේ සහෘදයන් ගැන හැමෝම කතා කළේ සතුට පිරි හාස්‍යයෙන්. ඒ වගේම සුරාජ්, පුබුදු එක්ව කළ රංගනයටත් මංගල සභාවේ කදිම ප්‍රතිචාර ලැබුණා. ගිහාන්ගේ නව සංගීතයටත් එහෙමමයි.

ප්‍රවීණයන්, සමකාලීනයන්, නවකයන්, මාධ්‍ය සගයන් මෙන්ම මිතුරු මිතුරියන් එක්ව සැමරූ ධනාගේ මංගල උත්සවය හැමෝටම එකතුව රස විඳීන්න හැකි සහෘද සාදයක්ම වුණා. හැමදාම විනෝදයට බර ධනා මේ සාදය හරිම අපූරුවට සංවිධානය කොට තිබුණා.

නිදහසේ සාදයේ මිහිර රස විඳි හැමෝම ධනාට සහ ශෂිනිට සුබ මංගලම් කියමින් තාවකාලිකව සමු ගත්තා.

එහෙම නම් අපි හැමෝම එකතු වෙලා ධනාට සහ ශෂිනිට සුබ පතමු . . .