වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑම කියන්නේ Hobby එකක් නෙවෙයි

රඟපෑම කියන්නේ Hobby එකක් නෙවෙයි

සැමීගේ කතාවෙන් කලකට පසු හමු වූ වතික සමඟ කතාබහක්

මීට කලකට ඉහත දී සරසවිය කාර්යාලයේ හමු වූ මේ තරුණයා නික්ම යාමට මත්තෙන් කියූ කතාව දැනුදු මට මතකය. ‘මං ආවෙ මාතලේ ඉඳන් මාර කට්ටක් කාලා. ඒ කට්ටට උපරිම සාධාරණයක් කරන්න මං උපරිම ට්‍රයි කරනවා. හැම වෙලාවෙම මං දෙයක් ඉගෙන ගන්නවා. හැම තත්ත්පරේම මං ජීවිතේට මොනව හරි වැදගත් දෙයක් අහුල ගන්නවා. එතකොට නිතරම ඉස්සරහට යන්න මට පුළුවන්.’

එදා අප දෙදෙනා තාවකාලිකව සමු ගත්තද ඒ මිත්‍රත්වය දළුලා වැඩුණේය. ඒ නිසාම මේ තරුණයා ගැන දිනෙන් දින මට අසන්නට ලැබුනේ සුබාරංචිය. සමකාලීනයකු වූ නිසාම හෙතෙම නිරතුරුවම මා හට අමතන්නට හුරුව උන්නේය.

‘සැමීගේ කතාව කියලා මාර වැඩකට අත ගැහුවා . . .’

ඔහු කීවේ මීට වසර හයකට පෙරය. ඒ වන විට සැමී ලෙස ජගත් රඟන ආකාරය ගැන මා අසා තිබුණි. ඒ නිසාම එවැනි කලාත්මක නිර්මාණයකට අපේ කතාවේ නායකයා සම්බන්ධ වීම ගැන මම සතුටට පත්වීමි. ඒ ඔහුගේ අප්‍රතිහත ධෛර්යයට ලැබුණු අමිල ත්‍යාගයක් ලෙස මම විශ්වාස කළෙමි.

ඔහු සැමිගේ කතාවේ රඟන අයුරු මා හට දකින්න ලැබුණේ සය වසරක ඇවෑමෙනි. කලක් නිහඬව සිටි හෙතෙම දැන් නැවත කරලියට පැමිණ තිබේ.

වතික රවිනාත්.

අද මේ පිටුව වෙන් වන්නේ ඔහු වෙනුවෙනි.

අපි කලකට පසු වතිකගේ හිත කියවමු.

වතික බොහොම කාලෙකට පස්ස අපේ පාඨකයන් හමු වන්නේ?

ඔව්. පහුගිය කාලේ නිහඬව හිටියා කියලා බොහෝ දෙනා කිව්වත් මා ක්ෂේත්‍රයේ කටයුතුවල යෙදී සිටියා. නමුත් ඒ දිනවල මගේ නිර්මාණ විකාශය වුණේ නැහැ. අවසාන වශයෙන් අලි පැටියෝ ඔයයි මමයි චිත්‍රපටයේ තමයි රංගනයෙන් දායක වුණේ. ටෙලි නාට්‍ය බොහොමයක චරිත නිරූපණය කළා. ඉදිරියේදී ඒවා විකාශය වේවි. කලා ලොව සමග සිදු කළ ගනුදෙනුව බිඳකින්වත් අඩු වෙලා නැහැ. මං කලාව දේවත්වයෙන් සලකන පුද දෙන චරිතයක්. ඒ නිසා මා හැදූ කලාවට කවදාවත් පිටුපාන්නේ නැහැ.

වතික නැවත රංගනයට පිවිසෙන්නේ ඉතා ඉහළ නිර්මාණයක ප්‍රබල චරිතයක් සමඟ?

ඒ ගැන තිබෙන්නේ උතුරා පිටාර ගලන සතුටක්. මේ චරිතය ගැන හැමෝම කතා බහ කරනවා. ඒ වගේම චිත්‍රපටයේත් උප ප්‍රධාන චරිතයක්. මා හිතනවා මේ මගේ කලා ලෝකයේ හැරවුම් ලක්ෂය කියලා. මොකද ජගත් සම්මානයට පාත්‍ර වුණු අපේ ජගත් චමිල සැමී ලෙස රඟන චිත්‍රපටයේ මගේ චරිතයත් තීරණාත්මකයි. ඒ නිසාම හිතට දැනෙන්නේ විශාල සතුටක්. කලක් ක්ෂේත්‍රයේ පෙනෙන්නට නොහිඳ මෙවැනි අති සාර්ථක නිර්මාණයකින් කලඑළි බැසීමට ලැබීම වාසනාවක්.

වතික සැමීගේ කතාවට සම්බන්ධ වුණේ කොහොමද?

මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක විමල් දේශප්‍රිය මහත්මයා තමයි මට කිව්වේ සැමීගේ කතාවේ නළු නිළියන් තෝරා ගැනීමේ පරීක්ෂණය ගැන. ඒ මොහොතේ හොඳ නිර්මාණයකට දායකවීමේ උවමනාව හා පිපාසය මට තිබුණා. ඒ නිසාම මමත් තිර පරීක්ෂණයට පෙනී සිටියා. කලකට පසුව ප්‍රියංකර විතානාච්චි මහතා මට කතා කළා. මෙම චිත්‍රපටයට මාව තෝරාගත් ආරංචිය හිතට ගෙනාවේ ලොකුª සතුටක්. ඉන් අනතුරුව අපි බොහෝ දේ සාකච්ඡා කරන්නට නිරතුරුවම හමු වුණා. ප්‍රියංකර විතානාච්චි කියන චරිතය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණේ මේ මොහොතේ. එතුමා චිත්‍රපටය ගැන පූර්ණ අවබෝධයෙන් කටයුතු කරන වග මට දැනුණා. ඒ නිසාම ඉතාමත් කැප වීමෙන් තමයි මේ චරිතයට අවතීර්ණ වුණේ. මේ චරිතයට මාව තෝරා ගැනීම පිළිබඳ මා අධ්‍යක්ෂතුමාට මෙන්ම සහාය අධ්‍යක්ෂතුමාට මගේ හෘදයාංගම ස්තුතිය පුද කළ යුතුයි.

කොහොමද වතික මේ චරිතයට අවතීර්ණ වුණේ?

මගේ චරිතය සාමාන්‍ය පරිසරයේ දක්නට ලැබෙන සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් කතාවෙන් එන චරිතය මම හොඳින්ම තේරුම් ගත්තා. චිත්‍රපටයේ කතා කරන පන්තියේ තරුණයන් සමග මම කතා කළා. ඉතාමත් ක්‍රමවත්ව සිංහල හා ඉංග්‍රිසි එක් කොට කතා කරන ආකාරය මා පුහුණුු වුණා. ඇත්තටම ඒ භාෂාවට කියන්නේ සිංග්ලිෂ් කියලයි. මා නිිරූපණය කරනු ලබන චරිතයට සමගාමී සැබෑ ලෝකයේ චරිතවලින් මා බොහෝ දේ ලබා ගත්තා. මගේ චරිතයේ සාර්ථකත්වයත් තිබේ නම් ඒ පිටුපස මගේ ස්වයං ඉගෙනුම් රටාවේ ප්‍රතිඵලත් තිබෙනවා.

ජගත් චමිල ගැන කතා කරමු?

පළමුවෙන් කිව යුතුයි, ඔහු මහ පොළොවේ පය ගහලා ජීවත් වන සරල මිනිහෙක්. දෙවැන්න ඔහු ලෝකයම තමා වෙත හරවා ගන්නට සමත් නළුවෙක්. තෙවැනි කාරණය ජගත් තමන්ට පැවරුණ රාජකාරිය දිවි හිමියෙන් රකින මිනිසෙක්. මට හොඳට මතකයි චිත්‍රපටයේ සැමී ලෙස ජගත් දත් ඇන්ද දාපු මුල්ම දවස. ඔහු හිටියේ ඉතා අපහසවෙන්. දර්ශනතල සබඳතාවය (ඛ්ධදබභදඪබර) නැති වී යයි කියලා ජගත් කෑමටවත් දත් ඇන්ද ගැලෙව්වේ නැහැ. බටයකින් බොන දියරමය දේවල් විතරයි බිව්වේ. ඇතැම් දවස්වල මුලු දවසම ඔහු ජීවත් වුණේ දියරමය ආහාරවලින්. ඒ කැපවීමට උපරිම ප්‍රතිඵල ලැබීම සතුටක්. ඒ වගේම එවැනි කෙනෙකු සමඟ රඟපාන්නට ලැබීම මගේ වාසනාවක්. මට මතකයි ජගත් නැවතිලා හිටියේ මගෙ කාමරේට අල්ලපු කාමරේ. බලන හැම මොහොතකම ජගත් දත් ඇන්ද දාගෙන කණ්ණාඩිය ඉදිරියේ පුහුණු වෙනවා. ඒ කැපවීමෙන් ලද විශිෂ්ඨත්වයට අප හැමෝම ආචාර කළ යුතුය.

සැමීගේ කතාවට ලංකාවේප්‍රේක්ෂකයා සාධාරණයක් ඉටු කරයි කියලා වතික හිතනවාද?

ඔව්. මේ වන විට රහක් තියෙන හැමෝම චිත්‍රපටය බලලා ඉවරයි. සැමීගේ කතාව දෙසැරයක් තුන් සැරයක් බලපු අයත් මට හමු වුණා. ඇත්තටම මෙවැනි චිත්‍රපට නරඹන්නේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්. ඔවුන් ලබා දෙන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්.

සැමී සහ ඔබ හමුවන අවසන් දර්ශනය ඉතාමත් සංවේදීයි?

ඒ දර්ශනයේදී අප හැබෑවටම නැවත හමු වුණා වගේ හැඟීමක් තමයි ආවේ. මං වෙනුවෙන් මඟ බලන් හිටිය සැමී මට හමු වුණා නේද කියලා ඒ මොහොතේ දැනුණා.

වතික ඔබ වෘත්තීයමය නළුවෙක්ද?

නැහැ. මගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා. හැබැයි මං විනෝදයට රඟපාන කෙනෙක් නෙවෙයි. මොකද කලාව කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක් මිසක් හොබි එකක් නෙවෙයි.

මේ ගමන ගැන තෘප්තිමත්ද?

ඔව්. මං මාතලේ ඉපදිලා කොළඹ ඇවිත් ජීවිතේ හොයපු කෙනෙක්. මට ජීවිතේ ලැබුණේ කලාව අස්සේ. ඒකට මං ගොඩක් ගරු කරනවා. මේ ලැබුණු හැම දේම ගැන මට තියෙන්නේ සදකාලික තෘප්තියක්.

ඔබ චරිත තෝරා බේරා ගන්නවාද?

ඒක මෙහෙමයි. ලැබෙන හැම චරිතයක්ම කරන්න, නිතරම ටී වී එකෙ ඉන්න මට උවමනා නැහැ. නමුත් ඉඳල හිටල හරි හොඳ නිර්මාණයකට දායක වෙන්න මං කැමැතියි. චරිත තෝරන්නේ නැහැ. හැබැයි මගේ ස්වයං කොන්දේසිවලට යටත්ව තමයි රඟපාන්නේ.

කොහොමද ඉදිරිය?

ටෙලි නාට්‍ය කිහිපයක තිරගතවීමට නියමිතයි. ඒ වගේම චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා.

දැන් තාවකාලික සමුගැනීම?

මේ ගමනට මට දිරිය දුන්න අම්මා, තාත්තා, අයියා හා අත්තම්මා මතක් කළ යුතුමයි. ඒ වගේම මේ වන තෙක් මට චරිත ලබා දුන් අධ්‍යක්ෂවරු ලබා දුන් දිරිය ඉතාමත් වැදගත්. හැම නිර්මාණයකම අධ්‍යක්ෂවරයාගේ ඉඳලා තේ හදන මල්ලි දක්වා මට උදව් කළා. ඒකට ස්තුතියි. හැමදාම මාව දකින ප්‍රේක්ෂකයන්ට හැමදාම මං ළෙන්ගතුයි. මං තවමත් හැම තත්පරේම ජීවිතේට මොනව හරි වැදගත් දෙයක් අහුල ගන්නවා. එතකොට නිතරම ඉස්සරහට යන්න මට පුළුවන්.

නැවතත් වතික මාව රැගෙන ගියේ හමු වූ මුල්ම දවස අතරට. ‘මට ඉස්සරහට යන්න පුළුවන්’ ඒ නිසා වතික අපට ඉදිරියේදී වෙනස්ම කෙනකු විදියට හමු වේවි.