වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මගෙ වයසත් එක්ක කොටට අඳිනවා

මගෙ වයසත් එක්ක කොටට අඳිනවා

නදීශානී ෆොන්සේකා

තුෂාර තෙන්නකෝන්ගේ ‘වරිග පොජ්ජ’ සිනමාපටය සමඟින් තවත් අලුත් කතා නායිකාවක් හෙළ සිනමාවට පිවිසියාය. ඇය නදීශානී ෆොන්සේකා වන්නීය. ‘වරිග පොජ්ජ’ හි හඳුනී නම් වූ ප්‍රධාන චරිතය මවමින් ප්‍රේක්‍ෂක ආකර්ෂණයට නතුව සිටින ඈ නිවේදිකාවක් ලෙසින් ද කලක් අප හමුවට ආවාය. එසේනම් තවත් පමා නොකොට ඇයත් සමඟ මොහොතක් කතාකරමු.

ඉතින් නදීශා, කොහොමද ජීවිතේ. ‘වරිග පොජ්ජ’ නිසා ඔබ දැන් ජනපි‍්‍රය චරිතයක් වෙලා?

ඒක නම් ඇත්ත. ගොඩක් දෙනෙක් මාව දැනගෙන හිටියෙ නෑ. රටපුරාම වරිග පොජ්ජ කටවුට්, පෝස්ටර් ගහලා. චිත්‍රපටයත් හොඳට දුවනවාලු. මාත් ජනපි‍්‍රය වෙලා. මේක මං ලද නොසිතූ ජනපි‍්‍රයත්වයක්. කෙටි කලකින් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් හිමිවීම මගෙ වාසනාවට වෙච්ච දෙයක්.

නදීශා නිවේදිකාවක් විදිහට කටයුතු කළා නේද?

ඔව්, හිරු නාළිකාවේ තමයි මං සේවය කළේ. මං ‘වින්දනීය උදෑසන සමඟ ජ්‍යෝතිශයට සහ ආහාර පිසීම’ සම්බන්ධ වැඩසටහන් තුනක් මෙහෙය වූවා.

ඒත් දැන් ඔබව ඒවායෙන් දකින්නට නැහැනේ?

නිවේදිකාවක් විදියට කටයුතු කරද්දියි මට වරිග පොජ්ජ සඳහා ඇරැයුම් ලැබෙන්නේ. මට සිද්ධ වුණා දෙකෙන් එකක් තෝරගන්න. මොකද ‘වරිග පොජ්ජ’ ෂූටිං එක දිගට දවස් කිහිපයක්ම තිබුණා. අනික කොළඹට ළඟ තැනකත් නෙවෙයි ලොකේෂන් තිබුණෙ. මං ඉතින් නිවේදනයට සමුදීලා චිත්‍රපයට ගියා.

ඒ කියන්නේ නදීශට කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වුණා?

නැහැ, නැහැ, මං නිවේදනයෙන් සදහටම සමුගත්තෙ නැහැ. මං හිතුවේ මෙන්න මෙහෙම. චිත්‍රපටය ප්‍රධාන චරිතයකට කෙනෙකුට ලෙහෙසියෙන් ඇරැයුම් ලැබෙන්නෙ නැහැ. අනික මං මීට කලින් රඟපාලත් නැහැනේ. ඒත් රූපවාහිනී චැනල් ඕනතරම් තියෙනවා. මට මේ දැන් වුණත් නිවේදිකාවක් වෙන්න පුළුවන්.

හඳුනී වෙනුවෙන් ඔබේ සමේ පාට වෙනස් කළා. අකැමැති වුණේ නැද්ද ටිකක් කැත වෙනවට?

මං කොහොමත් ආසාවෙන් හිටියේ මගේ සැබෑ ස්වරූපය වෙනස්කරපු චරිතයක් කරන්න. මං බොහොම කැමැත්තෙන් මගේ ශරීරයේ පැහැය වෙනස්කර ගත්තේ.

නමුත් ඔබේ කොණ්ඩා මෝස්තරය ඒ චරිතයට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් දෙනෙක් කිව්වා?

ඒක මට අදාළ කාරණයක් නෙවෙයි. කොණ්ඩා මෝස්තර ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ප්‍රඩක්‍ෂන් එකේ අදාළ පාර්ශවයන් අතේ. ඒ අය මට මුකුත්ම කිව්වේ නැහැ. මාත් ඇහැව්වේ නැහැ. මං හිතුවා මේ ස්ටයිල් එක ගැලපෙනවා ඇති කියලා.

‘වරිග පොජ්ජ’ කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

වරිග පොජ්ජෙ තියෙන්නේ එකම එක සින්දුවයි. ඒකෙ රූගත කිරීම් තිබුණෙ සිංහරාජයේ ගල්කුළක් උඩ. ඒ ගල අයිනේ ලොකු හෙළක්. උඩට නැග්ගට පස්සෙ පොඩ්ඩක් හරි එහාට වුණොත් වැටෙන්නේ ඒ හෙළට. මං ඒ දර්ශනය ගන්න කලින් දෙවියන්ට යාඥා කළා. මට කිසිම අනතුරක් වෙන්න එපා කියලා. ඊට පස්සේ වැඩිය හිතන්නේ නැතුව ගල උඩට නැගලා රඟපෑවා. රඟපෑවා විතරක් නෙවෙයි නැටුවා. දෙවියන්ගේ පිහිටෙන් මුකුත් වුණේ නැහැ. මම නැටුවේ ජීවිතයත් මරණයත් අතර නැටුමක්.

සිංහරාජයේදී ඔබ සෑහෙන්න බයෙන්ලු හිටියෙ. ඇඟේ කූඩැල්ලෝ එල්ලේවි කියලා?

අම්මෝ ඔව්, මං ලෝකෙ ඉන්න බයම සතා තමයි කූඩැල්ලා. වෙලාවට කිසිම කූඩැල්ලෙකුට බැරුවුණා මගෙ ලේ උරා බොන්න. මං හිතන්නේ කූඩැල්ලොත් මට බය වෙන්න ඇති.

නදීශා වැඩිපුර කොටට අඳින්න පි‍්‍රය කරනවාලු. ඇත්තද ඒක?

මගේ වයසත් එක්ක එහෙම ඇන්ඳට කමක් නැහැ. වයසට ගිහිල්ලා කොටට අඳින්න බැහැනේ.

ඔබේ පෙම්වතා කැමැතිද ඔබ එහෙම විලාසිතා කරනවට?

එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. අනික මමනෙ කොටට අඳින්නේ එයා නෙවෙයිනේ.

නදීශා ටිකක් හිතුවක්කාරියක් වගෙයි?

ඔව්, මං හිතුවක්කාරයි තමයි. හැබැයි මං හිතුවක්කාරකමින් කරපු වැඩනම් එකක්වත් වැරදිලා නැහැ.

නදීශගෙ පැසල කොහේද?

පානදුර සෙන්ට් ජෝන්ස් විද්‍යාලය.

උපන් දිනය?

06 / 12.

මොකක්ද නදීශගෙ සුරතල් නම?

නිලූ.

පවුලේ විස්තරත් කියමු?

අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි.

නදීශගෙ ඉදිරි නිර්මාණ මොනවද?

චිත්‍රපටයකට කතාකළා. ඒ අතරෙදි ජැක්සන් ඇන්තනි මහත්තයගේ අලුත් චිත්‍රපටයවන ‘ඇඩ්‍රස් නෑ’ හි රඟපෑවා.

නදීශා රංගනය හදාරා තියෙනවද?

නෑ අයියේ, රංගනය තියා, නිවේදනයවත් හදාරා නැහැ. මං කාලෙකට කලින් මෝස්තර නිරූපණය කළා. ඒකවත් හැදෑරුවෙ නැහැ.

කිසිම හැදෑරීමක් නැතුව ඉදිරියට යන්න පුළුවන්ද?

ඉගෙන ගන්න ඕනෙ තමයි. ඒ ගැන අනිවාර්යයෙන්ම හිතලා බලනවා.