වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘සෙට්’ එකේ ඉන්න ආසයි ‘මේකප්’ කළේ ඒ හින්දයි

‘සෙට්’ එකේ ඉන්න ආසයි ‘මේකප්’ කළේ ඒ හින්දයි

රසික තෙන්නකෝන්

මම ලොකේෂන් එකට ආවේ රංගන ශිල්පියෙක් වෙන්න හිතාගෙන. මට ලැබුණෙ පොඩි චරිතයක් නිසා වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉන්න වුණේ නැහැ. මට ඒ වෙලාවේ හිතුනා රංගනය පැත්තෙන් ගියොත් රූ ගැන්වෙන අවස්ථාවෙ සිදුවෙන දේ දකින්න, ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි කියලා. වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉඳීමින් මෙතන සිදුවන සිද්ධාන්තමය ක්‍රියාවලිය දිහා බලා ඉන්න ඇති ආශාව නිසාම, එයට වැඩි ඉඩක් ඇති ක්ෂේත්‍රයක් ගැන හිතුවා. ඒඅනුව මම තෝරා ගත්තේ වේශ නිරූපණය.

පාදුක්ක යටවතුර ප්‍රදේශයේ දී රූ ගැන්වෙන සිහින සක්මන දර්ශන තලයේ දී අපට හමුවුණු රසික තෙන්නකෝන් පූර්ණකාලීන වේශ නිරූපණ ශිල්පියකු වුණේ අන්න එහෙමයි.

රසික ඒ සුන්දර අතීතයෙන්ම අපේ කතා බහ අරඹමු?

මම පාසල් ගියේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයට .පාසල් වේදිකාව හරහා මට අවස්ථාවක් ලැබුණා තවලම චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා මහත්තයත් එක්ක රඟපාන්න.

පාසල් අවදියේම රංජිත් සුරංග මහත්තයගෙ සිනේ මුදු කලා පර්ෂදයට සම්බන්ධවෙලා රංගනය හැදෑරුවා. ධම්ම ජාගොඩ මහත්තයගෙ නාට්‍ය වැඩ මුළු සඳහා සහභාගි වුණා. බන්දුල විතානගේ ගෙ ‘වැනීසියේ වෙළෙන්ඳා‘ මගේ පළමු වේදිකා රංගනයයි. ඊට පස්සෙ ‘සකලජන‘ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑව. නමුත් මගෙ ආශාව වුණේ හුඟ දවසක් සෙට් එකේ ඉන්න එකයි. අන්න ඒ ආශාව නිසයි රඟපෑමට සමුදීලා මේකප් පැත්තට යොමු වුණේ. වේදිකා නාට්‍යවල රඟපාන අතරේ එස්. පී. කොස්ත මහත්තයගෙන් මේකප් පිළිබඳ දැනුමක් ලබන්නට අවස්ථාවක් ලැබුණා.

මේකප් පිළිබඳ යම් හැදැරීමකින් පසුවද මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ඔව්. රඟපෑමෙ නියැළෙන අතරෙමයි මේකප් පිළිබඳ පුහුණුවක් ලැබුවෙ. 87,88 කාලෙ වැඩමුළු හරහා මේකප් කරන්න පුහුණු වුණා. මෙහිදි වැඩි හරියක් කළේ තමන් තමන්ටම මේකප් කරගන්න විදි හැදැරීමයි. ඒ ආභාසය හරහා , හෙන්රි ප්‍රේමරත්න මහත්තය යටතේ වසර 10ක් මේකප් සහායක වශයෙන් කටයුතු කළා. ඒ වකවානුවෙ‘දිම රංජිත් මතඟවීර, කුමාර ගලහිටියාව මහත්වරු සමගත් වැඩ කළා. ඉන් අනතුරුවයි මම තනියම වැඩ කරන්න පටන් ගත්තේ. මේ සැමගෙන් මට ලැබුණු පන්නරය නිසා තමයි වසර 32ක් පුරාවට මේ ක්ෂේත්‍රයෙ රැඳී ඉන්නට හැකිවුණේ. පෝය ටෙලි නට්‍යයකටයි පළමුව සහභාගි වුණේ, පළමු චිත්‍රපටය අඟර දඟර, දැනට ටෙලි නාට්‍ය 40ක චිත්‍රපට 6ක පමණ වැඩ කර තිබෙනවා. ඉදිරියටත් ටෙලි නට්‍ය කිහිපයක හා චිත්‍රපට දෙකක වැඩ බාරගෙන තිබෙන්නේ.

වේශ නිරූපණය ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?

අධ්‍යක්ෂකට අවශ්‍ය ආකාරයට රංගන ශිල්පියකුට චරිතයට අවතීර්ණ වෙන්න අවශ්‍ය රූපකාය, නැත්නම් අංග රචනය හරියට සලසා දීමෙන් තමයි රංගන ශිල්පියාට එම චරිතයට අවතීර්ණ විය හැක්කේ. මෙන්න මේ සිද්ධාන්තය තමයි වේශ නිරූපණය හෝ මේකප් කියන්නේ. මේක පුළුල් විෂය ධාරාවක්. මේ ක්ෂේත්‍රයේ මම දන්නෙ ඉඳීකටු තුඩක ප්‍රමාණයක්, ඒනිසා මම අදටත් ඉගෙන ගන්නවා. කොස්තටික් පැත්තෙන් යම් දෙයක් අහගන්නේ ජයන්ත රණවක මහත්තයගෙන්, මට ඔහු ගුරුවරයෙක් වගේ.

පළමුව මේකප් කරන්නට ලැබුණු නළුවා හා නිළිය කවුද? ඒ අයගෙන් ලැබුණු සහාය කොහොමද?

නළුවා, විනීවෙත්තසිංහ ඔහුත් මේකප් ආටිස් කෙනෙක්. නිළිය, නිලන්ති විජේසිංහ. මේ දෙන්නගෙන් මට හොඳ සහායක් ලැබුණා විතරක් නොවෙයි, හොඳ මේකප් ආටිස් කෙනෙක් වෙන්න කියන ආශිර්වාදයත් ලැබුණා.

රසික අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් අමතක නොවන සිද්ධියක් ගැන සිහියට නඟමු?

මාලනී ෆොන්සේකා නම් නිළි රැජන මේකප් කරන්න ලැබුණු එක තමයි මගෙ අමතක නොවන සිද්ධිය.

ඔබ ආ මේ ගමන් මඟ පිළිබඳ සෑහිමකට පත්වෙනවද?

මෙතෙක් ආ ගමන ගැන සතුටුයි,නමුත් අපි ගැන දන්නෙ ක්ෂේත්‍රයෙ අය පමණයි. මේ වෙලාවේ වසන්ත විට්ටච්චිව මතක් කරන්න ඕන.